කොරෝනා වසංගතය අතරතුර දුම්වැටි හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන අලෙවිය තහනම් කරන්නැයි ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය හා මහජන සෞඛ්‍යය පිළිබඳ පාර්ශවකරුවන් රැසක් ජනාධිපතිගෙන් ඉල්ලයි
කොවිඩ් -19 වසංගතය අතරතුර දුම්වැටි හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන භාවිතය නිසා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට හා ආර්ථිකයට සිදුවන බරපතල හානි නිසාවෙන් මෙම නිෂ්පාදන විකිණීම තහනම් කිරීම පිළිබඳව සළකා බලන මෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය හා මහජන සෞඛ්‍යය පිළිබඳ පාර්ශවකරුවන් රැසක් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

‘දුම්පානය‘ මෙම වෛරසය වැළදීමේ අවදානම වැඩි කරන අතර දුම් බොන්නන් හට මේ රෝගය හේතුවෙන් විවිධ සංකුලතා ඇති වීමට හා එම්ගින් මරණයට පත් වීමේ වැඩි ඉඩක් පවතින බවද ඔවුන් ජනාධිපතවරයා වෙත යවන ලද ලිපියේ සදහන් වේ.

දුම්කොල කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසුරිය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක , ශ්‍රී ලංකා ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වැඩ බලන සභාපති සහ උප සභාපති මහාචාර්ය කුමුදු විජේවර්ධන, ශ‍්‍රී ලංකා විශෙෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ෂෙහාන් විලියම්ස්, ශ්‍රී ලංකා ශ්වසන පිළිබඳ රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නන්දික හරිස්චන්ද්‍ර , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙණිය, මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පුබුදු සුමනසේකර, ජාතික අමද්‍යප ව්‍යාපාරයේ උප සභාපති වෛද්‍ය අනුලා විජේසුන්දර සහ , සෞඛ්‍ය ප‍්‍රවර්ධන පදනමේ සභාපති වෛද්‍ය ජයමාල් ද සිල්වා යන ආයතනවල ප්‍රධානීන්ගේ අත්සනින් යුතුව ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඔව්හු ඉල්ලීම කළහ.

එම ලිපියේ මෙසේ ද සදහන් වේ.

දුම්කොළ හැපීම සහ මහජනයා ගැවසෙන ස්ථානවල කෙළ ගැසීම
නිසාවෙන් කොවිඩ් රෝගය පැතිරීමේ අවධානම ඉහළ යයි. මෙම තත්ත්වය තුළ දුම්වැටි හා ඒ
ආශ‍්‍රිත නිෂ්පාදන අළෙවිය තාවකාලිකව නතර කරන ලෙසට දුම්කොළ හා මධ්‍යසාර
පිළිබඳ ජාතික අධිකාරිය විසින් රජයෙන් කරන ලද ඉල්ලීම බෙහෙවින් අගය කළ යුතු ය. එම උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, මෙම වසංගතය
අවසන් වන තුරු දුම්වැටි හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන විකිණීම තහනම් කිරීම ගැන සළකා
බලන ලෙස අපි ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

කොවිඩ් 19 රෝගයේ ප්‍රධානතම අවදානම් සාධක අතුරින් එකක් වන දුම්වැටි හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන වෙළෙදාම තහනම්
කිරීම වැනි මහජන හිතවාදී තීරණ තුළින් මේ රෝගය පාලනයට මෙන්ම අපේ රට නැවත
යථා තත්ත්වයට පත්වීම වේගවත් කිරීමට ද විශාල දායකත්වයක් දක්වනු ඇත.

දුම්වැටි වෙළෙඳාම තහනම් කිරීම වක‍්‍රාකාරයෙන් රටේ ආර්ථිකය පුනර්ජීවනයට ද දායක වනු ඇත. මෙම තීරණය තුළින්
කොවිඩ් -19 රෝගීන්ගේ සංඛ්‍යාව අවම වීම, රෝගය උත්සන්න වීම අවම වීම වැනි ප‍්‍රතිඵල
රටේ ආර්ථිකයට යහපත් ලෙස බලපානු ඇති අතර ඒ හරහා ඇතිවන රෝග සහ
දුම්වැටි සඳහා වන වියදම් අවම වීම හේතුවෙන් ගෘහස්ථ වියදම් අඩුවීම නිසා ගෘහස්ත
ආර්ථිකය ද ශක්තිමත් වනු ඇත. ඔබ දන්නා පරිදි දුම්වැටි භාවිතය නිසා වාර්ෂිකව සිදුවන වාර්ෂික මරණ ගණන 20,000 කි.
දුම්වැටි නිසා දිනකට සිදුවන මරණ ගණන 55 ක් වන අතර රු. බිලියන 214 ක ආර්ථික පාඩුවක් සිදුවේ.

ශ‍්‍රී ලංකාවේ දුම්වැටි නිෂ්පාදන සමාගමෙහි සියයට 90 කට වැඩි කොටස් ප‍්‍රමාණයක් විදේශීය ආයෝජකයන් සතු
වේ. දුම්වැටි වෙළෙඳාම නැවැත්වීමෙන් ඒ හරහා සිදුවන මරණ වළක්වා ගත හැකි
වනවා මෙන්ම අපේ රටේ විදේශ සංචිත වැඩි කර ගැනීමටත් විශාල මුදල් ප‍්‍රමාණයක්
විදේශ ආයෝජකයන්ට ගලා යාම වළක්වා ගැනීමටත් හැකි වනු ඇත. රටේ ජනතාවට
, රටේ සෞඛ්‍යට හා ආර්ථිකයට හිතකාමී මෙම මුලපිරීම නිසා සෞඛ්‍ය, සමාජ හා
ආර්ථික ගැටළු අවම වනු ඇති අතර එය ශ‍්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට හා ජාතික
ආර්ථිකයට දිගු කාලීන ප‍්‍රතිඵල ලබා දෙනු ඇත.

ඒ අනුව අපගේ ඉල්ලීම සළකා බලා, දකුණු අප්‍රිකාව , ඉන්දියාව වැනි දැනටමත් මේ
සම්බන්ධව මහජන හිතකාමී ක්‍රියාමාර්ග ගෙන ඇති රටවල් සමඟ අත්වැල් බැඳ ගනිමින් ,
සමාජය තුළ වඩාත්ම අවදානමට ලක්විය හැකි නමුත් ඒ පිළිබදව ඉතා අඩු අවබෝධයක්
සහිත දුම් පානය කරන පිරිස් මෙම කොවිඩ් -19 උවදුරෙන් ගලවා ගැනීමට පියවර ගන්නා මෙන්
කාරුණිකව ඉල්ලා සිටිමු. ශ‍්‍රී ලංකා රජය විසින් මෙතෙක් ක‍්‍රියාත්මක කර ඇති
සාර්ථක කොවිඩ් -19 පාලන ක‍්‍රියාමාර්ගවල තවත් එක් වැදගත් අංගයක් ලෙසට මෙම
තීරණය ක‍්‍රියාත්මක කිරීම සඳහා අපි සුබවාදී ප‍්‍රතිචාරයක් අපේක්ෂා කරමු.

- ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
252
2020-04-27 09:55:54
කාලීන පුවත්