කොරෝනා වෛරසය : මවකගේ කාර්යභාරය - ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම
මවක ලෙස අපගේ කාර්යභාරය විවිධය. ප්‍රධාන වශයෙන් පවුලක සමගිය සාමය සහ සාර්ථකත්වය රඳා පවතින්නේ මවකගේ ඉවසීම සහ කැපවීම මතය.
මවක් ලෙස එක් අතකින් තම දරුවන්ගේ පෝෂණය රැකගත යුතුය. අනික් අතින් ඔවුන්ගේ සෞඛ්‍යය, ගුණ නැණ, හොද ගති පැවතුම් , අධ්‍යාපනය රැකබලාගෙන තම කාර්යාලයෙහි රැකියාවද කළ යුතුය. තම ස්වාමිපුරුශයාගෙන් සහයෝගය ලැබුනත් නැතත් මේ කර්තව්‍යන් ඉටුකළ යුතුය. ඒ සදහා ඉවසීම හා කැපවීම අත්‍යාවශ්‍යය.
මේ සියල්ලම සිදු කිරීම සදහා සොභා ධර්මයෙන් කාන්තාව ජෛව විද්‍යාත්මකව සැකසී ඇත. ඒ සදහා අවශ්‍ය හෝමෝන තුලින් කාන්තාවට ඒ උරුමය සතුවී ඇත. අසීමිතවූ ශක්තියකට උපතින්ම උරුමකම් කියන කාන්තාව මවක් වූ පසු තවත් කායිකව මෙන්ම මානසිකවද ශක්තිමත් වේ. නිරායාසයෙන්ම මවක් සතුවූ විශිෂ්ඨ ගුණාංග දරුවන්ටද සොභා දහම විසින් දායාද කරනු ලබයි. එබැවින් යහපත් දරුවන් ලෝකයට දායාද කිරීම සදහා දරුවන්ගේ මානසික සෞඛ්‍ය රැකගැනීමේ වගකීම පැවරී ඇත්තේද ආදරණිය මවුවරුන්ටමය. වක්‍රාකාරව ගත්කල සමාජයේ කුඩාම ඒකකය වන පවුලේ ශක්තිමත් පදනම වන “අම්මා” අවසානයේ ගමේද රටේද පමණක් නොව ලෝකයේම ශක්තිමත් පදනමයි.
මේ දිනවල කාන්තාවකගේ මවකගේ කාර්යභාරය අතිමහත්ය. එක් අතකින් දරුවන් නිවස තුලය. අනික් අතින් ස්වාමිපුරුශයාද මුළු දවසම නිවාසය තුලය. තවද තමාගේ රාජකාරි කර්තව්‍යන්ද ඉටුකළ යුතුය. ඒ සියල්ලම හොදින් ඉටු කිරීම සදහා කාන්තාවට ශක්තියක් ඇත. ඉවසිලිමත්ව සහ බුද්ධිමත්ව කාලය කළමනාකරණයෙන් කටයුතු කළ යුතුය.
මේ දිනවල මවට වාසිද ඇත. උදේ පාන්දර හතරට පමණ නින්දෙන් නැගිටිය යුතු මව දැන් එය කළ යුතු නැත. බස් කෝච්චිවල එල්ලී යායුතු නැත. මවක් මේ දිනවල කටයුතු කළ යුත්තේ ඉවසිලිමත්ව ගෙදර සාමය ආරක්ෂා කර තම ස්වාමිපුරුශයාට සහ දරුවන්ට සාමකාමී පරිසරයක් ඇති කිරීමය. එය නොකළ හොත් ස්වාමිපුරුෂයාට සහ දරුවන්ට ගෙදර සිටීම පවා එපාවිය හැකිය. එබැවින් මවකගේ කර්තව්‍යය මේ දිනවල අතශයින් වැදගත්ය. ඉවසීමෙන් සහ තම කාලය පාලනය කිරීමෙන් නිවසෙහි සාමය, සතුට සහ සාර්ථකත්වය ආරක්ෂාවේ. එමගින් ගම ආරක්ෂා වේ සහ මුළු රටම ආරක්ෂා වේ. ස්වාමිපුරුශයාගේ වගකීම වනුයේ ඒ සදහා උපරිම සහයෝගය ලබා දීමය. දරුවන්ද ඒ සදහා සහයෝගය දැක්විය යුතුය.
පවුලේ කාර්යන් නොපිරිහෙලා ඉටුකරමින් දහවල් කාලය නිවසේ තනිවම කාන්සියෙන් ගෙවන මවුවරුන්ටද මෙම කාලයේදී සිය පවුලේ සියලුම සාමාජිකයන් සමග සතුටින් කාලය ගත කිරීමටද අවස්ථාව උදාවී ඇත.
මේ දිනවල සිදුවිය යුත්තේ මව උදෙන් නැගිට ස්වාමිපුරුෂයා සහ දරුවන්ගේ ආහාර සකස් කර තම දරුවන් පොත්පත් කියවීමට යොමු කර තම කාර්යාලීය වැඩ සදහාද පැය 2 – 3ක් ගත කිරීමය. ස්වාමිපුරුෂයාට කාර්යාලීය රාජකාරි සදහා ඉඩහැර දරුවන්ගේ අධ්‍යාපනය සහ වෙනත් ක්‍රියාකාරකම් සදහාද සහභාගී විය හැකිය.
කාලය කළමනාකරණය කිරීම මවකගේ අත්‍යාවශ්‍ය කාර්යයකි. එමගින් තම නිවසේ සාමය සතුට සහ සාර්ථකත්වය පැවතේ.
අද අප ජිවත්වන සමාජයේ මව්පිය දූ දරු සබදතා මවුපියන්ගේ කාර්යබහුලත්වය නිසා දුර්වල වී ඇත. විශේෂයෙන්ම තරුණ දියණිවරුන් සිටින මවුවරුන්ට ඔවුන් සමග වඩාත් කුළුපග වී ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු හදුනාගෙන නිසි අවවාද දීම සදහාද මෙම කාලය ප්‍රයෝජනයට ගත හැකිය.
තරුණ පිරිමි දරුවන් නිවස තුළ තබා ගැනීමට තරමක් අපහසු වුවත් ඔවුනට ඒ ගැන පහදා ඔවුන් සමග නිවාස තුළ කළහැකි මනස වර්ධනයවන ක්‍රීඩා ටෙලිවිෂන් යනාදියට මේ දිනවල යෙදවිය හැකිය. තවද යු ටියුබ් (you tube) හරහා මෙන්ම අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු සිදු කිරීමට මාර්ගගත වේදිකාවක් (online platform) සකසා දරුවන්ගේ නිපුණතා (Skills) වර්ධනය කිරීමටද මවුවරුන් විසින් මෙම කාලය බුද්ධිමත්ව පාවිච්චි කලයුතුය.
මවක් ලෙස සිටින වෛද්‍ය වරියන් , හෙද සේවිකාවන් සහ රෝහල් අනෙකුත් සේවිකාවන්ට අපගේ ප්‍රණාමය එක්සිතින් පුද කරමු.
අප රටෙහි සෞඛ්‍ය තත්ත්වය කවදත් ඉහළ මට්ටමක පැවතිනි. අතිගරු ජනාධිපති තුමාත්, හමුදාපති, ත්‍රිවිධ හමුදාව ගන්නා තීරණ මගින් අප රටෙහි වෛරස රෝගය හොදින් පාලනය කර ඇත. ඒ පිළිබඳව අප එක්සිතින් කෘතඥ වන අතර මවුවරුන්ගේ කාර්යය වනුයේ නිවාස තුල තම පවුල රැකගෙන ඒ සදහා උපරිම සහයෝගයක් ලබා දීමය. එමගින් ගම සහ මුළු රටම මේ රෝගී තත්ත්වයෙන් අපට මුදවා ගත හැකිය.
රජය මගින් ලබාදෙන නීති රීති එපරිද්දෙන්ම ඉටුකර රෝග පාලනයට අප මවුවරුන් ලෙස දියයුතු උපරිම සහයෝගය මෙකල ලබා දිය යුතුය. ගුණවත් නැණවත් බුද්ධිමත් වූ විහාරමහා දේවි පරපුරෙන් පැවත එන එඩිතර කාන්තාවන් වන ශ්‍රී ලාංකික මවුවරුන්ගේ කැපවීම හා අධිෂ්ඨානය හේතුකොටගෙන මුළු ලෝකයටම ප්‍රථමයෙන් ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන අප රටෙන් කොරෝනා වෛරසය මුලිනුපුටා දැමිය හැකිය. එසදහා මවක් වශයෙන් මේ දිනවල තම කර්තව්‍යයන් එකහෙලා ඉටුකළ යුතුය.