මාස තුනකට පුද්ගල ණයවල වාරික සහ ණයපත්වල අවම මුදල ගෙවීමට සහන සැලසීමට රජයේ අවධානය



බැංකුවලින් ලබා ගත් පුද්ගල ණයවල (personnel loan) වාරික ගෙවීමට සහන සැලසීමට රජයේ අවධානය යොමු කර ඇත.

දිවයින ජෙය්ෂ්ඨ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර මහතාට වට්ස්ඇප් පණිවිඩයක් මගින් අවධානය යොමු කිරීමෙන් පසු ආචාර්ය ජයසුන්දර මහතා දුරකතනයෙන් ශ්‍යාම්ව අමතමින් රජය මේ සහනය ලබා දීමට අවධානය යොමු කරන බවත් දනු දී ඇත.

එම දැනුම් දීමෙන් ටක වෙලාවකට පසු මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා ද මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතාට දැනුම් දී ඇත්තේ මාස තුනක කාලයකට මේ සහනය ලබා දීමට සලකා බලාගෙන යන බවයි.

මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ ජෙය්ෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහතාද සදහන් ශ්‍යාම්ට සදහන් කර ඇත්තේ රජය තීරණය කරනවානම් මාස තුනකට මේ සහනය ලබා දීම ප්‍රශ්නයක් නොවන බවයි.එහෙත් අදාළ සහන කාලයෙන් පසුව එම වාරික මුදල් අදාළ පොළිය සමග නැවත බැංකුවට ගෙවිය යුතු වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහන මෙසේය.

බැංකුවලින් ලබා ගත් පුද්ගල ණයවල වාරික ගෙවීමට සහන සැලසීම
++++++++++++++++++++++++++++++++++++++++++
මාගේ දැනුම්දීමෙන් සහ යෝජනා කිරීමෙන් විනාඩි කිහිපයක් ඇතුළත මට දුරකතනයෙන් කතා කළ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා බැංකුවලින් ලබාගත් පුද්ගල ණය සදහා ද අප කියන පරිදි සහනයක් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් එම සහනය වැඩි පිරිසකට ලබා දීම සදහා ඒ සදහා අවම ණය සීමාවක් තීරණය කළ යුතු බවත් සදහන් කළා. ඒ සදහා මා යෝජනා කළේ ලක්ෂ 10 ක් හෝ හැකි නම් 20 ක් දක්වා වන පුද්ගල ණය සහ ණයපත් වල මාසික අවම ගෙවීම ( credit card minimum payment ) මාස කිහිපයකට නොගෙවා සිටීමට සාමාන්ය ජනයාට සහන සලසන ලෙසයි. ව්යාපාරිකයන් හැම විටම කතා කරන්නේ ව්යාපාර ණය ගැන පමණයි. එහෙත් මේ දිනවල ඉතා අසරණ වී සිටින සාමාන්ය ජනයාට මේ ඉල්ලීම ඉතා සහනයක් වනු ඇතැයි සිතමි. ඒ සදහා වහා පුද්ගලිකවම දුරකතනයෙන් අමතා පියවර ගන්නා බව පැවසු ආචාර්ය ජයසුන්දර මහතාට මේ අවස්ථාවේ විපතට පත්ව සිටින මහජනයා වෙනුවෙන් ස්තුතිය පුද කරමි . එසේම මහ බැංකුවේ ජෙය්ෂ්ඨ නියෝජ්ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද මට දුරකතයෙන් කතා කර ඔහුගේ වටිනා අදහස් දන්වා සිටියේය. එදිනෙදා අදායම් උපයන අය තම ආහාර පාන පවා සපයා ගැනීමට නොහැකිව ඉතාමත් අපහසුවට පත්ව සිටින බැවින් ඔවුන්ට ද සහන සැලසිය යුතු බව ඔහු කියා සිටියේය. අනිවාර්යෙන්ම එය සත්යයකි. අප පසුගිය දිනවල රත්රන් උකස් කඩවල ද පෝලිම් දුටුවා. බොහෝ අය කඩවලින් පසුගිය දිනවල අහාර ද්රව්ය මිලට ගත්තේ මෙසේ කණකර උකස් තැබීමෙනි. ඒ නිසා ඒ අයටත් වහා සහන සලසන්න.එසේම මගේ යෝජනාව අගය කරමින් අදහස් දැක්වූ මහා බැංකුවේ හිටපු නියෝජ්ය අධිපති සීජේපී සිරිවර්ධන , මහාචාර්ය නලින් අබේසේකර සහ ඕෂදී විතානවසම ඇතුළු අනෙකුත් මුහුණු පොතේ මිතුරන් සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි. මේ යෝජනාව කවරාකාරයෙන් ක්රියාත්මක වේද යන්න නොදනිමි.මට කළ හැකි දෙය කලෙමි.අපි සුබ පණිවිඩයක් ලැබෙන තෙක් බලා සිටිමු. හැකි නම් මේ පොස්ටුව ශෙයා කර මෙය ජනයා වෙනුවෙන් ඉටු කර දීමට ඔබත් ශක්තියක් දෙන්න.
මේ ජාතික උවදුරුන් රට ඉතා ඉක්මණින් මුදා ගැනීමට රජය සෞඛ්ය අංශ සහ ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනාටම ශක්තිය ලැබේවා. මගේ රටට දළදා හිමි සරණයි. සියලු දේශපාලන භේද පසෙකලා ජනයා එකමුතුව මේ කොරෝනා වෛරසය පරදවමු.

තෙරුවන් සරණයි .

ශ්යාම් නුවන් ගනේවත්ත
Views
561
2020-03-22 09:39:46