‘කොරෝනා’ පරදමු ආර්ථිකය ජයගමු
අප රටේ ද කොරෝනා වසංගතය පැතිර යෑමට පටන් ගැනීමත් සමග මේ වන විට රටම බොහෝ දුරකට අකර්මණ්‍ය තත්ත්වයකට පත්ව තිබේ. ඒ කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග හේතුවෙනි. මේ ක‍්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වුවත් එම ක‍්‍රියාමාර්ග ගන්නා අවස්ථාව සහ එම ක‍්‍රියාමාර්ගවල ප‍්‍රමාණය සම්බන්ධයෙන් විවිධ මත තිබේ. මේ වසංගතය ව්‍යාප්ත වීම ගැන හරියටම කිසිවෙකුටත් පුරෝකථනය කිරීම දුෂ්කර නිසා මේ වසංගතය පැතිර යෑමේ අවදානම ගැන නිවැරදි පෙර සූදානමකින් යුතුව මීට මුහුණ දීම සඳහා අවශ්‍ය ප‍්‍රමාණවත් මට්ටමට ක‍්‍රියාමාර්ග ගැනීම සුදුසුය. මේ සම්බන්ධයෙන් ඇතැමුන් කියන්නේ රටම දින 14 කට ‘ලොක් ඩවුන්’ කළ යුතු බවය. එහෙත් අප නම් සිතන්නේ මෙය පැතිර යන මට්ටමට අනුව දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යෙන්ම සිදු විය හැකි වුවත්, ඒ අනුව යම් යම් අවදානම් ප‍්‍රදේශ එලෙස කිරීමට දැනටමත් අවශ්‍ය විය හැකි වුවත්, තවමත් රටම ‘ලොක් ඩවුන්’ කළ යුතු මට්ටමට මේ ප‍්‍රශ්නය උග‍්‍ර වී නැති බවය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේදා (17) ජාතිය අමතමින් කළ විශේෂ ප‍්‍රකාශයේදී කීවේ ද එයයි. එම ප‍්‍රකාශයේදී ජනාධිපතිවරයා මෙසේ කීවේය.

‘මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසිලෙස පවත්වාගෙන යෑමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළහොත් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක‍්‍රියාකළ යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුළ අනිසි බියක් ඇති නොකළ යුතුයි.

අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල් වීමට හා එය රට තුළ පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කළ යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක‍්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබාදී තිබෙනවා.’

දැනටමත් මේ වසංගතය රට තුළට පැමිණ හමාරය. දැන් එය ගුවන් තොටුපොළ හරහා මෙරටට ගෙනා අයගෙන් වෙනත් අයට ව්‍යාප්ත වෙමින් තිබේ. මුල සිටම කළ යුතුව තිබුණේත් තවදුරටත් කළ යුතු දෙයක් වන්නේත් මේ වසංගතය මෙරටට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා ගත හැකි උපරිම පියවර ගැනීමයි. ඒ අනුව ප‍්‍රමාද වී හෝ රජය ඊයේ (18) මධ්‍යම රාත‍්‍රියේ සිට මෙරටට ගුවන් මගීන් පැමිණීම දින 14 කට නැවත්වීමට පියවර ගෙන තිබේ. එය ඉතා හොඳ තීරණයක් වන අතර එම තීරණය මීට තරමක් පෙර සිටම ගත්තා නම් වඩාත්ම හොඳ බව අපට සිතෙන දෙයකි. මුලින්ම චීනයේ මෙය දරුණු ලෙස පැතිර යමින් තිබෙන අවස්ථාවේ මෙන්ම මෙරටින් කොරෝනා වෛරසය අසාධනය වූ චීන කාන්තාවක් හඳුනා ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුවලදී මාධ්‍යවේදීන් ලෙස අප ඇසුවේ ප‍්‍රධාන අවදානම් රටවලින් හෝ සංචාරක පැමිණීම් තාවකාලිකව නැවැත්වීමට පියවර නොගන්නේ මන්ද යන්නයි. එහෙත් ඒ අවස්ථාවේ අපට රජයේ බලධාරීන්ගෙන් මෙන්ම සෞඛ්‍ය අංශවලින් ද කියා සිටියේ තවමත් එවැන්නක් අවශ්‍ය නොවන බවයි. මේ නිසා ඊයේ සිට ගුවන් මගීන් පැමිණීම නැවත්වීමට මේ රජය ගත් තීරණය හොඳ තීරණයක් වුවත් එය කිසියම් දුරකට අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමකට සමානය. මේ නිසා ගුවන් තොටුපොළ හරහා රට තුළට මේ වෛරසය ඇතුළු වීම වැළක්වීමට මුල සිට නිසි ක‍්‍රියාමාර්ග නොගැනීමේ විපාක දැන් අප අත්විඳිමින් සිටී. කෙසේ වෙතත් තවදුරටත් රටට වෛරසය ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා මේ පියවර ගැනීම අත්‍යවශ්‍යම වේ. දැන් අවශ්‍ය කරන්නේ රටට පැමිණි මේ වෛරසය තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමයි. ඇතැමුන් රටම ‘ලොක් ඩවුන්’ කළ යුතු බව කියන්නේ මේ සඳහාය. ඔවුන් එය අවංකව කියනවා විය හැකි වුවද එය මේ අවස්ථාවේ ප‍්‍රමාණය ඉක්මවා ගිය දරුණු අහිතකර තීරණයක් විය හැකි බවයි. එහෙත් ඇත්ත වශයෙන්ම මේ වන විට රටම කිසියම් දුරකට ‘ලොක් ඩවුන්’ කර ඇති බවයි. එනම් ආණ්ඩුව අපේක්ෂා කරන පරිදි මේ වෛරසය පැතිර යෑම වළක්වා ගැනීමේ අවශ්‍යතාවේ මට්ටමට රට දැන් ‘ලොක් ඩවුන්’ කර ඇත. අපේ ජනයා අතර තවදුරටත් මෙය ව්‍යාප්ත වීමේ ස්වභාවය සහ මට්ටම අනුව මේ ‘ලොක් ඩවුන්’ කිරීමේ ඉදිරි පියවර ගැනීමට සිදු විය හැකිය.

ඇතැමුන් මේ කියන පරිදි මේ වසංගතය ව්‍යාප්ත වීම වැළක්වීම සඳහා රටම ‘ලොක් ඩවුන්’ කිරීම යනු කුමක්ද ? එසේ කිරීම නිසා සිදුවෙන ප‍්‍රතිඵලය කුමක්ද? එනම් අපේ රටම ‘ලොක් ඩවුන්’ කිරීම යනු රටේ ජනතාව නිවසටම වී සිටින තත්ත්වයක් ඇති කිරීමයි. රැුකියාවකට හෝ වෙනත් අවශ්‍යතා සඳහා නිවසින් පිටවීම වළකාලීමයි. මේ නිසා සිදු වනු ඇත්තේ හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය අංශ හැරුණ විට රටේ අනෙකුත් සියල්ලන්ටම තමන්ගේ නිවෙස් ඇතුළට වී සිටීමටයි. එවිට රටේ ආර්ථික ක‍්‍රියාකාරීත්වය මුළුමනින්ම පාහේ ඇනහිට (දැනටත් කිසියම් දුරකට එය සිදුව ඇති බව ඇත්තය.) එදිනෙදා ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වීමයි. එවිට ඒ කාලයේ දී ඒ ජනතාවට ආහාර පාන ඇතුළු වෙනත් සැපයුම් කරන්නේ කවුද? අපේ රටේ එදිනෙදා ලැබෙන ආදායමකින් ජීවිතය ගෙන යන බොහෝ පිරිසක් ද සිටී. ඒ අයට දින ගණනාවකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් අවශ්‍ය සැපයුම් රස කර ගැනීම ඉතා දුෂ්කරය. ඒ නිසා එසේ කළහොත් ඒ අවශ්‍යතා සියල්ල පිරිමැසීමට සිදු වන්නේ ආණ්ඩුවටය. ආණ්ඩුව වෙනුවෙන් හමුදාව සහ පොලිසියටය. එසේම ඒ සඳහා විශාල වියදමක් දැරීමට ද සිදු වනු ඇත.

චීනයේ වූහාන් පළාත මේ ආකාරයට ‘ලොක් ඩවුන්’ කළ බව ඇත්තය. එහෙත් චීනය අති විශාල රටකි. එය එම රටෙන් පහළොවෙන් එකකටත් වඩා අඩු ප‍්‍රදේශයකි. ලෝකයේ සිටින විශාලතම හමුදාවට සාපේක්ෂව එම කුඩා ප‍්‍රදේශයේ ජනයාට අවශ්‍ය ආහාර ඇතුළු සැපයුම් ලබා දී සති දෙකක් ඒ ජනයා ආරක්ෂා කිරීම කළ හැකිය. එහෙත් මුළු ශ‍්‍රී ලංකාවම ඇතැමුන් කියන පරිදි ‘ලොක් ඩවුන්’ කළොත් අපේ රජයට හෝ රටේ හමුදාවට රටේම ජනතාවට ආහාර ආදී සැපයුම් ලබා දෙමින් කටයුතු කිරීමට හැකියාවක් තිබේ ද? රටම ‘ලොක් ඩවුන්’ කිරීම කෙසේ වෙතත් රජය සහ යුද හමුදාව අවශ්‍ය සියලූ පහසුකම් උපරිමයෙන් ලබා දුන්නත් නිරෝධායනය විය නොහැකි බව කියමින් ඇතැමුන් දඟලපු හැටි රටම දැක්කේය. ඔවුන් කියූ කෙරූ දේ ඔවුන්ගේ ලයිව් වීඩියෝවලින් රටම දැක්කේය. ඒ ගැන අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. එසේ විරෝධය පළ කළ ඇතැමුන් දැන දැන කොරෝනා වෛරසය ද රටට රැුගෙන පැමිණ ඇති බවද ඔවුන් පසුව කොරෝනා ආසාදිතයන් බවට පත් වූ බවද රටම දන්නා කරුණකි. ඔවුන්ගේම හොඳට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ හොඳට මෙන්ම අනෙකුත් රට වැසියන්ගේ ආරක්ෂාවට ආණ්ඩුව ගත් මේ පියවර ප‍්‍රතික්ෂේප කළා නම් මුළු ලංකාවම දින 14 කට වසා දැමුවහොත් රටේ මිනිස්සුන්ට ආහාරපාන නැතිව ගිය විට, එදිනෙදා අවශ්‍ය බඩුභාණ්ඩ මිලදී ගත නොහැකි තත්ත්වයක් ඇති වූ විට අපේ රටේ මිනිස්සු කවර ලෙස හැසිරෙනු ඇති ද? එදිනෙදා කුළියක් කරගෙන ජීවත්වන කී දහසක් සිටිනවාද? මුදල් වැඩිපුර තිබෙන අයට නම් සති දෙකක් නොව මාස ගණනාවක් වුවද රැුකියාවක් නොකර ජීවත් වීමට අවශ්‍ය ආහාර රැුස් කර ගත හැකිය. මේ නිසා එදිනෙදා සල්ලි හම්බ කරන දුප්පත් අහිංසක ජනතාවගේ තත්ත්වය ගැන අප මෙහිදී විශේෂයෙන් සිතිය යුතුය. මෙසේ ඇතැම් අය කියන පරිදි දින 14 ක් රටම වසා දැමුවහොත් එවැනි දුප්පත් ජනයා ජීවත් වෙන්නේ කෙසේදැයි ඔබ සිතා බැලිය යුතු අතර මුළු රට ‘ලොක් ඩවුන්’ කරන්න කියන අය බොහෝ විට එසේ දවස් කුලියට මුදල් හම්බ කරගෙන යැපෙන අය නොවිය හැකිය. එසේම සෞඛ්‍ය හේතුවක් මත රටම ‘ලොක් ඩවුන්’ කිරීමේදී අත්‍යවශ්‍ය සේවාවන් පවා අක‍්‍රීය කිරීමට සිදුවෙන බව අප මතක තබා ගත යුතුය. මේ ගැන තවදුරටත් කතා කළ හැකිය. එසේම රජය ද එවැනි තීරණයකට නොයන බව පෙරේදා ජනාධිපතිවරයාගේ කතාවෙන් ද පැහැදිලිය. එහෙත් තෝරාගත් අවදානම් ප‍්‍රදේශ සම්බන්ධයෙන් රජය දැඩි තීරණ ගනු ඇත. මේ අනුව ඊයේ කොරෝනා වෛරසය පැතිරයෑම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත‍්‍රික්කයට හා මීගමුව කොච්චිකඬේ පොලිස් බල ප‍්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය (‘ලොක් ඩවුන්’ නොවේ) පැනවීමට රජය තීරණය කළේය. මේ ගැන දැනටමත් මාධ්‍ය මගින් අවශ්‍ය කරුණු ජනයා වෙත සන්නිවේදනය වී ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වූ ශ‍්‍රී ලාංකිකයන් වාර්තා වීම ද දිනෙන් දින ඉහළ යෑමත් සමග අපේ රටේ ජනයා ද බොහෝ භීතියට පත්ව සිටින බව රහසක් නොවේ. අප කවර ක‍්‍රියාමාර්ග රට ඇතුළේ ගත්තත් ගුවන් තොටුපොළෙන් මේ භයානක වෛරසය ඇති අයට රට ඇතුළට පැමිණීමට හැකියාව ලැබී ඇති බව දැන් රහසක් නොවේ. මේ නිසා මුල සිටම අත්‍යවශ්‍ය අයට හැර තාවකාලිකව විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් ඇතුළුව සංචාරක පැමිණීම් නැවැත්වීමට හෝ උපරිම ලෙස සීමා කිරීමට හොඳටම හැකියාව තිබුණි. දැන් මෙරට ද වෛරසය පැතිර යමින් තිබේ. දැන් අප මේ අත්විඳින්නේ ඇතැම් විට එය මුලින් නොකිරීමේ විපාක විය හැකිය. කෙසේ හෝ මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මුලින් සිතුවාට වඩා දරුණු බලපෑම් ලෝකයටත් අපටත් දැනටමත් ඇති කර තිබේ. මේ නිසා හැකි ඉක්මනින් මේ තත්ත්වය සමනය කරගෙන මින් ජන ජීවිතයට සහ මෙරට ආර්ථිකයට වන හානිය හැකිතාක් අවම කර ගත යුතුව තිබෙන බව කිව යුතුය.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා විවිධ රටවල ආර්ථිකයන්ට මෙන්ම ඒ හරහා ලෝක ආර්ථිකයටත් දැනටමත් සැලකිය යුතු බලපෑම් එල්ල වී ඇත. තවදුරටත් එල්ල වෙමින් ද ඇත. ලෝකයේ සෑම ආර්ථිකයක්ම මුල්‍ය වෙළෙඳපොළ හරහා මෙන්ම විදේශ වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ තවත් නොයෙකුත් සාධක රැුසකින් එකිනෙකට බැඳී තිබේ. මේ නිසා කොරෝනා වෛරසය යම් රටක ව්‍යාප්ත වුවත් නැතත් ඒ සෑම රටකටම මෙහි අහිතකර ආර්ථික විපාකවලට මුහුණ දීමට සිදු වීම අනිවාර්ය කරුණකි. දැන් අප රටෙත් මේ වෛරසය පැතිර යන නිසා අප රටට මුහුණ දීමට සිදුවන බලපෑම් තවත් උග‍්‍ර වෙයි. මේ නිසා දැන් අප උත්සාහ කළ යුත්තේ මේ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කරගෙන එහි සිදුවිය හැකිව තිබෙන ආර්ථික විපත අවම කර ගැනීමටය.

කොරෝනා වෛරසය ‘දරුණු තර්ජනයක්’ බවත් මේ වසරේදී ආර්ථික වර්ධන වේගය පසුගිය වසරටත් වඩා අඩු වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධානී ක‍්‍රිස්ටලීනා ජෝර්ජීවා පසුගිය මාර්තු 04 දින ප‍්‍රකාශ කර තිබිණි. කෝවිඞ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වෛරසයේ බලපෑම නිසා මේ වසරේ ආර්ථික වර්ධනය වේගය පසුගිය වසරේ සියයට 2.9ටත් වඩා අඩු වනු ඇතැයි ද ඇය පවසා තිබුණි. කොරෝනා වෛරසය මේ වෙද්දි කලාපීය අර්බුදයක් නෙමෙයි. එය ගෝලීය අර්බුදයක් බවට පත්වෙලා. ඊට ගෝලීයව ප‍්‍රතිචාර දැක්විය යුතු’යැයි ඇය මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණි. මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 3.3කින් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉකුත් ජනවාරි මාසයේදී පුරෝකථනය කර තිබුණත් එම අරමුදලේ නව පුරෝකථනයට අනුව මේ වෛරසය හේතුවෙන් ගෝලීය ආර්ථිකය සියයට 0.5කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවහොත් ලෝක ආර්ථික වර්ධන මේ වසරේ දී සියයට 2.8 කටත් වඩා පහත වැටීමට ඉඩ තිබේ. මේ වෛරසය විශ්වාසයට බලපෑම් එල්ල කරන බවත් වෛරසය මැඬීමට ගන්නා ක‍්‍රියාමාර්ග ආර්ථික ක‍්‍රියාකාරකම්වලට බලපෑම් එල්ල කරන බවත් එම නිසා මේ වසරේදී ගෝලීය වර්ධනය පසුගිය වසරට වඩා අඩුවනු ඇති බවත් ක‍්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසා තිබුණි. ඇය තවදුරටත් සඳහන් කර තිබුණේ කෙසේ නමුත් කොතරම් දුරට ආර්ථිකය පහත වැටෙනු ඇතැයි කිව නොහැකි බවත් එසේම කොරෝනා වෛරසය කොතරම් කාලයක් බලපෑම් කරනු ඇත්දැයි අනාවැකි කීම දුෂ්කර බවත්ය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පසුගිය මාර්තු 16 වැනිදා පැවති හදිසි රැුස්වීමේ දී, මහ බැංකුවේ ප‍්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25 කින් අඩු කිරීමට සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප‍්‍රතිශතාංක 1.00 කින් අඩු කිරීමට තීරණය කරන ලදී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතා මෙසේ ද කියයි.

”ගෝලීය වශයෙන් ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගතය සහ ශ‍්‍රී ලංකාව තුළ එය තවදුරටත් ව්‍යාප්තවීමේ හැකියාව රටේ ආර්ථික කටයුතු කෙරෙහි ඇති කළ හැකි දැඩි බලපෑම සැලකිල්ලට ගනිමින් මෙය හදිසි අවශ්‍යතාවක් කොට සලකා පූර්වෝපායික ක‍්‍රියාමාර්ගයක් ලෙස මුදල් මණ්ඩලය මේ තීරණය ගත්තා. වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීමත් දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතා තත්ත්වය ඉහළ නැංවීමත් අරමුණු කොට, මුදල් මණ්ඩලය ඊයේ ගත් ක‍්‍රියාමාර්ග, ආර්ථික ක‍්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීමට මින් පෙර ගෙන තිබූ ක‍්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කරනු ඇත.’’

ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ඊයේ රු.187 ද පසුකර ගියේය.

මෙම වෛරසයේ ව්‍යාප්තිය ඇති කර තිබෙන අවිනිශ්චිතතාව හමුවේ ලෝකය පුරා කොටස් වෙළෙඳපොළ සහ බැඳුම්කර වෙළෙඳපොළ වෙත ද මෙහි දැඩි බලපෑම් එල්ල වී තිබේ. කොරෝනා වෛරසය ව්‍යාප්තියේ බලපෑම් අපේ කොටස් වෙළෙඳපොළ වෙත ද බලපෑම නිසා කොටස් මිල ගණන් පහළ යමින් තිබෙන අතර පසුගිය සතියේ දින තුනක්ම අපේ කොටස් වෙළෙඳ ගනුදෙනු පැය භාගයකට අත්හිටුවන ලදී. කොටස් වෙළෙඳපොලේ සියලූ කොටස් මිල දර්ශකය ඒකක 5000 න් පහළට මේ වන විට ඇද වැටී තිබේ. අපේ රටේ බැඳුම්කර සහ කොටස් වෙළෙඳපොළ තුළ ඇති විදෙස් ආයෝජන ඉවත් වීම නිසා මෙලෙස අපේ රුපියලට පීඩනයක් එල්ල වී තිබේ. අප රට තුළ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ (18) මේ ලිපිය ලියමින් සිටින මොහොත වන විට ආරංචි වූයේ 50 ද ඉක්මවා ගොස් ඇති බවයි. මෙය තව කී දෙනෙක් දක්වා වැඩි වේද යන්න කිසිවෙකුටත් කිව නොහැකිය. මේ නිසා මෙතෙක් සිදුව ඇති බලපෑමට වැඩි ආර්ථික බලපෑමකට කොරෝනා වෛරසය අප රට තුළ ව්‍යාප්ත වීම නිසා ඇතැම් විට ඉදිරියේදී මුහුණ දීමට අපට සිදු විය හැකිය. සියලූම ආර්ථික කටයුතුවලට මේ තත්ත්වය ඉතා අහිතකර බලපෑම් ඇති කරන අතර පාස්කු ප‍්‍රහාරයෙන් පසු යථා තත්ත්වයට පත් වෙමින් පැවති අපේ සංචාරක කර්මාන්තයට විශේෂයෙන් බරපතල විපාක අත් කර දෙනු ඇත. එබැවින් රටක් වශයෙන් නිසි පෙර සූදානමක් තිබීම අත්‍යවශ්‍ය වන අතර රජය කොරෝනා වෛරසය මර්දනයට ගන්නා ක‍්‍රියාමාර්ගවලට මහජනතාව වශයෙන් අප සියලූ දෙනා දේශපාලන භේදයෙන් තොරව උපරිම සහාය දැක්වීම ද අත්‍යවශ්‍ය වේ. මේ සියලූ ක‍්‍රියාමාර්ග හරහා අපගේ ආර්ථිකයට සහ ජනජීවිතයට ඇති වන අහිතකර බලපෑම් අවම කර ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

දිවයින -2020.03.19
Views
2140
2020-03-20 06:10:36
ජනප්‍රිය පුවත්