කොටස් වෙළෙඳපොළ දිනපතා ගනුදෙනු මේ සතියේ දෙවන දිනටත් අත්හිටුවයි


කොළඹ කොටස් වෙළෙඳපොළ දිනපතා ගනුදෙනු මේ සතියේ දෙවන වරටත් ඊයේ(12) පැය භාගයකට අත්හිටුවන ලදී.

මේ අනුව ඊයේ පෙරවරු 11.44ට කොළඹ කොටස් වෙළෙඳපොළ දිනපතා ගනුදෙනු අත්හිටුවනු ලැබීය. මෙම සතිය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ දිනපතා ගනුදෙනු අත්හිටුවනු ලැබූ දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර පසුගිය අඟහරුවාදා (10) දිනයේ ද මෙලෙස ගනුදෙනු අත්හිටුවනු ලැබීය.

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් වෙළෙදපොල ගනුදෙනු නවතා තිබේ.

එම අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 196.13 කින් හා එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 121.48 කින් පහළ ගොස් තිබුණු අතර එය පිළිවෙලින් පෙරේදාට සාපේක්ෂව සියයට 3.77ක හා සියයට 5.05 ක පහත වැටීමක් වේ.

පස්වරු 12.14 ට කොටස් වෙළෙඳපොළ සාමාන්‍ය ගනුදෙනු යළි ඇරඹීණි.

- ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
85
2020-03-12 06:46:07