ශ්‍රී ලංකාවේ ඒටීඑම් ජාලය කිසිදු අවදානමකට පාත්‍ර වී නැහැ - ලංකා ක්ලියර් ආයතනය පවසයි.


ශ්‍රී ලංකාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය (ඒටීඑම්) කිසිදු අවදානමකට පාත්‍ර වී නොමැති බවත් එම පද්ධතිය භාවිතයට ආරක්ෂිත බවට සියලුම බැංකු තහවුරු කර තිබෙන බවත් ලංකා ක්ලියර් ආයතනය පවසයි.

සාමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවුඩයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ලංකා ක්ලියර් ආයතනය මේ බව කියයි.

එසේ සාමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ පණිවුඩයෙන් කියා තිබුණේ මෙරට සියලු බැංකු ජාල හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇති බවත් සියලු බැංකු ගිණුම් හිමියන් ඔවුන්ගේ ගිණුම් ශේෂ යළි වතාවක් පරීක්ෂා කර තහවුරු කර ගන්නා ලෙසත්ය. මෙම පණිවුඩයේ ඇතැම් බැංකුවල නම් සඳහන් කරමින් ඒවායේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතා නොකරන ලෙස ද සඳහන්ව තිබිණි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලංකා ක්ලියර් ආයතනය පවසන්නේ විවිධ කණ්ඩායම් විසින් විවිධ අරමුණු ඇතිව එවැනි සාවද්‍ය පණිවුඩ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදා හරිනු ලබන බවයි. මෙය මූල්‍ය ක්‍ෂේත්‍රයේ කීර්ති නාමයට හානි කිරීමේ චේතනාවෙන් බෙදා හරින ලද ද්වේෂ සහගත පණිවුඩයක් බව ලංකා ක්ලියර් වැඩිදුරටත් කියා සිටී.
Views
246
2020-01-05 03:12:46
කාලීන පුවත්