ආර්ථිකය ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි බන්දුලගෙන් හර්ෂට ආරාධනයක්

වත්මන් ආර්ථිකයේ ඇති වෙලා තිබෙන තත්වය සම්බන්ධයෙන් ඕනෑම නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ආරධනා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද
(15 ) උදේ පිටකෝට්ටේ ‘වියත්මග’ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

හොදට තිබුණු රටක් අපිට වෙච්ච දෙයක් ගැන ප්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන ලෙස තමා ඉතාම කරුණාවෙන් තම උගත් මිත්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ආරාධනය කරන බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

මඩින් නොව ගොඩින් බොහොම ශාස්ත්‍රීය ආකාරයට සංඛ්‍යා දත්ත සහිතව අප දෙදෙනාට එම විවාදය පවත්වාගෙන යා හැකි බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.
ආර්ථිකයේ ඇති වෙලා තියෙන්නේ සමෘද්ධියක්ද ,කඩා වැටීමක්ද එහෙම නැත්නම් පටාචාර ආර්ථිකයක් ද තියෙන්නේ ,රටට යහපතක් වුණාද අයහපතක් වුණාද යන්න ගැන ඕනෑම නාලිකාවක මේ විවාදයට තමා සුදානම් බවද ඒ සදහා තම උගත් මිත්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමාට ගෞරවයෙන් අරාධන බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
මේ වන විට ආර්ථිකයේ දරුණු කඩා වැටීමක් සිදුව ඇති බවත් එසේම ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නිල නිවේදනයට අනුව 2019 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 1.6 ක් දක්වා අඩු වී ඇති බවත් කීවේය.

එසේම සමස්ත 2019 වර්ෂයේ ආර්ථික වර්ධනය සියයට 4 සිට සියයට 2.7 දක්වා පහත වැටෙන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කර ඇති බවද ඔහු කීවේය.
යුද ජයග්‍රහණයෙන් පසු 2010 සිට 2014 දක්වා වසර පහේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය සියයට 7 ක් වූ බවත් එය පසුගිය 2015 සිට 2019 දක්වා වර්ෂ පහ තුළදී සියයට 3.7 දක්වා පහත වැටී ඇති බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.

එසේ තිබියදී මුදල් ඇමති මංගල සමරවීර මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වල කියනවා පුදුම විදියට රට සංවර්ධනය වෙලා, ආදායම් මාර්ග වැඩි වෙලා ලේඩීස් සැලෝන් යන එක වැඩි වෙලා කියල.ඔවුන් එසේ බොහොම සිනහමුසු මුහුණින් කියන බවද එහෙත් ආර්යාවන් සැලෝන් වලට විශාල ලෙස ගියත් මේ රටේ බොහෝ භාර්යාවන්ට සැලෝන් වලට යනවා තබා අති මහත් බහුතර කාන්තාවන් තමා ගත්ත ණයටිකවත් ගෙවාගත නොහැකිව සිය දිවි නසා ගන්නා තත්වයට පත්ව ඇති බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන තවදුරටත් කීවේය.

මේ මාධ්‍ය හමුවේදී සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා ද කතා කළේය.

Views
103
2019-10-15 07:07:26