2019 සැප්තැම්බර් මස 10වෙනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවයේ දී සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම මහත්මියට විශ්වවිද්‍යාලයක් මගින් ප්‍රදානය කළ හැකි උසස්ම සම්මානයවන සාහිත්‍ය ශූරී උපාධිය පිරිනැමීමට නියමිතය.
ඇය ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් උපරිම ප්‍රයෝජන නෙලාගනිමින් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වයෙන් සමත් වී රුවන්වැල්ල මධ්‍ය විද්‍යාලයට ඇතුල් වී අධ්‍යාපනය ලබා 1960 දී එවක මේ රටේ තිබූ එකම විශ්වවිද්‍යාලය වූ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට (වර්තමාන පේරාදෙණිය විශ්වවිද්‍යාලය) ඇතුල් වූවාය. එහි දී ඉතිහාසය විෂයයෙන් දෙවෙනි පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව ගෞරව උපාධියක් දිනාගෙන එම විශ්වවිද්‍යාලයේම ඉතිහාස අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලයට බඳවා ගනු ලැබූ ඇය 1971 දී ආචාර්ය උපාධිය ද දිනා ගත්තාය.
පෞද්ගලික හේතු මත විද්‍යොදය විශ්වවිද්‍යාලයට (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) සුහද ස්ථාන මාරුවක් ලබා ගත් අතර එහි දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආදී තනතුරු දක්වා උසස්වීම් ලබාගෙන දශක හතරකට ආසන්න කාලයක් සේවය කොට විශ්‍රාම ගත්තාය. එසේ වුවද පූර්ණ වශයෙන් විශ්‍රාම යාමට ඉඩ නොදී බාහිර කථිකාචාර්යවරියක ලෙස මහාචාර්යවරියගේ සේවය ලබා ගැනීමට ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ සහ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ බලධාරීන් විසින් පියවර ගන්නා ලදි. විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම යාමෙන් පසුව මහාචාර්ය යන නිල නාමය භාවිත කිරීමට අවසර ලැබෙනුයේ විශ්වවිද්‍යාලයේ සනාතන සභාව සහ පාලක මණ්ඩලය විසින් ඒ සඳහා අනුමැතිය ලබා දුනහොත් පමණි. ඒ අනුව මහාචාර්ය මාලනී ඇඳගම එකී අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ බැවින් විශ්‍රාම යාමෙන් පසුව ඇයට ‘සම්මානිත මහාචාර්ය’ නාමය භාවිත කිරීමට අවසර ලබා දෙන ලදි.
විවිධ රටවලින් ප්‍රධානය කළ ශිෂ්‍යත්ව හරහා ඉන්දියාව, මලයාසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ටේ්‍රලියාව, සිංගප්පූරුව සහ ප්‍රංශය යන පෙර අපර දෙදිග බොහෝ රටවලට ගොස් ඉතිහාසය මෙන්ම ආණ්ඩුක්‍රම පිළිබඳ සිය දැනුම යාවත්කාලීන කර ගැනීමට තරම් මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය වාසනාවන්ත වූවාය.
ශ්‍රී ලංකාවේ මහනගර සභාවල ආරම්භය සහ වර්ධනය පිළිබඳ පර්යේෂණ කෘතියක් ඉදිරිපත් කොට ආචාර්ය උපාධිය දිනා ගත් ඇය ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන පිළිබඳ අධ්‍යයන සම්පූර්ණ කිරීමේ අපේක්‍ෂාවෙන් සම්පාදනය කොට ප්‍රකාශයට පත්කළ “ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය” මැයෙන් වූ කෘතිය 1998 දී හොඳම පර්යේෂණ කෘතිය සඳහා වන රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. මෙරට පළාත් පාලන ආයතන ක්‍ෂේත්‍රය වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වනු ලබන වර්තමානයේ මෙම කෘතිය විද්වතුන් අතර බෙහෙවින් ජනප්‍රිය තත්ත්වයට පත් වී ඇත. ඊට අමතරව මහාචාර්යවරිය විසින් රචනා කරන ලද තවත් කෘති කිහිපයක් ද ඇත. විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමට අමතරව ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයේ ඉගැන්වීම් කටයුතුවල ද නිරතව සිටින ඇය තමා උගත් දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ද එමගින් මග පෙන්වනු ලැබීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ ඉතිහාසය විෂයට අදාළ විෂය නිර්දේශ සැකසීම, පෙළ පොත් ලිවීම, විභාග පරීක්‍ෂණ කටයුතු යනාදී සියලු ක්‍ෂේත්‍රවල දශක හතරක් වැනි කාලයක් තිස්සේ ප්‍රධාන ස්ථානය ගෙන කටයුතු කළ මහාචාර්යවරිය තවමත් එම කටයුතුවල නිරත වී සිටිනු දැකිය හැකිය. විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයෙන් විශ්‍රාම යාමෙන් පසුව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් විද්වත් සම්පාදක මණ්ඩලයක් සහ ලේඛක මණ්ඩලයක් සමග මහාවංසයේ 6වෙනි වෙළුම ලිවීමේ භාරදූර කාර්යය ආරම්භ කළ අවස්ථාවේ එකී මණ්ඩලයේ ලේකම් තනතුරට මහාචාර්යවරිය පත් කරන ලදි. අමාත්‍යාංශයේ සහ මහජනතාවගේ අපේක්‍ෂා ඉටු කරමින් 2017 අගෝස්තු මාසයේ එළිදැක් වූ මහාවංශයේ 6 වෙනි වෙළුම සම්පාදනයේ දී තමා වෙත පැවරුන වගකීම් ඉටු කිරීමට ඇප කැප වූ මහාචර්යවරිය දැනටත් එකී ලේකම් තනතුර දරමින් මහාවංස සම්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරීමේ කාර්යභාරයට උර දී සිටී. ඒ අතර ඇය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පත්කරන ලද බෞද්ධ හිමිකම් කොමිසමේ කොමසාරිස්වරියක ලෙස ද ත්‍රිපිටකය ලෝක මතක පොතට එකතු කිරීමේ කටයුතු සම්පාදනය කරනු ලබන කමිටුවේ සාමාජිකාවක ලෙස ද සේවය කරනු ලැබේ. මහාචාර්ය ඇඳගම මහත්මිය විසින් දීර්ඝ කාලයක් සේවය කරන ලද විශ්වවිද්‍යාලයට සහ වෙනත් විෂයානුබද්ධ ආයතනවලට ඉටු කරන ලද සේවය ඇගයීම උදෙසා ඉහළම සම්මාන උපාධිය පිරිනැමීමෙන් නොනැවතී මෙවර උපාධි ප්‍රධානෝත්සවයේ දේශනය ද ඇය ලවා පැවැත්වීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන ඇත. තම යුතුකම් සහ වගකීම් නොවලහා ඉටු කරනු ලබන විද්වතුන්ගේ සේවය අගය කරනු ලබන ආකාරය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සෙසු විශ්වවිද්‍යාලවලට ආදර්ශයක් වනු ඇත.
මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව
අධ්‍යයනාංශ ප්‍රධාන
ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය