පො දුජන පෙරමුණේ තරුණ සමුළුව වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් අපහසුවට පත් කළාට බන්දුල ෂෙහාන් සමාව අයදිති


ශ්‍රී ලංකා පො දුජන තරුණ පෙරමුණේ සමුළුව වාර්තා කිරීමට ආරාධනයෙන් පැමිණි මාධ්‍යවේදීන්ට ඊට ඉඩ නොදී දැඩි අපහසුවට පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී ඊට පැමිණ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ෂෙහාන් සේමසිංහ යන දෙදෙනාට මාධ්‍යවේදීහු බලවත් විරෝධය පළ කර සිටියහ.

මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් දෙපළ මාධ්‍යවේදීන්ට සිදුව ඇති අපහසුතාව ගැන වරද බලවත් කණගාටුව පළ කර සිදු වූ වරද සම්බන්ධයෙන් සමාව
ඉල්ලා සිටියහ.

ඉදිරියේදී කිසිවිටෙකත් මෙවැනි දෙයක් සිදු වීමට ඉඩ නොදෙන බවත් එහිදී සිදු වුයේ කුමක්ද යන්න සොයා බලා ඒ ගැන මාධ්‍ය දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් මෙහිදී ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

මෙසේ ශ්‍රී ලංකා දුජන තරුණ පෙරපොමුණේ ආරාධනයෙන් පැමිණි මාධ්‍යවේදීන් අපහසුවට පත් කිරීමට වගකිවයුතු පාර්ශවයන් හදුනා ගැනීමට විමර්ශනයක් සිදු කරන බවද මේ අපහසුතාව මාධ්‍යවේදීන්ට සිදු කළ අයගේ ජායාරූප තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් එය මේ සම්බන්ධ විමර්ශනයට පහසුවක් වනු ඇති බවද සේමසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේය.

එම උත්සවය සංවිධානය කිරීමේ කටයුතු මුදල් ගෙවා එක්තරා ආයතනයකට භාර දී තිබුණු බවද ඔවුන්ගෙන් එම වරද සිදු වූයේ දැයි සොයා බලන බවත් මේ ගැන නැවත නැවතත් මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා කීවේය.

සමුළුව වාර්තා කිරීමට ඉඩ නොලැබීම නිසා ආපසු හැරී යන මාධ්‍යවේදීන් ඒ ගැන සමුළුවට පැමිණෙමින් සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට කියා සිටි විට ඔහු මේ සමුළුව යූටියුබ් එකේ යන බව මාධ්‍යවේදීන්ට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීහු මෙහිදී අප්‍රසාදය පළ කර සිටියහ.

මේ සිදු වීමට වගකිව යුත්තේ කවුදැයි හරි හැටි කරුණු තහවුරු කර ගැනීමෙන් තොරව මේ ගැන යමක් ප්‍රකාශ කිරීම අපහසු බවද ඒ නිසා මේ ගැන විමර්ශනය කර ඒ ගැන මාධ්‍යට ප්‍රකාශ කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා තවදුරටත් කීවේය.

- ශ්‍යාම් නුවන් ගනේවත්ත




Views
199
2019-08-25 05:19:51
ව්‍යාපාර පුවත්