චීනයෙන් දුම්වැටි ආනයනය කිරීමට බලපත්‍ර දුනහොත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ ධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් වෙනවා - සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මුදල් අමාත්‍යවරයාට කියයි

චීනයෙන් දුම්වැටි ආනයනය කිරීමට බලපත්‍ර ලබාදුනහොත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉන් වහාම ඉවත්වන බව දුම්කොළ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත.

චීනයෙන් දුම්වැටි ආනයනය කිරීමේ තීරණය හෙළාදකින බව පවසමින් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යටත්ව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත.

පසුගිය ජුනි 28 දින මෙම ලිපිය මුදල් අමාත්‍යවරයා වෙත යොමු කළ බව වෛද්‍ය පාලිත අබේකෝන් මහතා කියයි.

ඒ මහතා මුදල් ඇමතිවරයා වෙත යවන ලද ලිපියේ මෙසේ ද සදහන් වෙයි.

මේ තීරණය දශක දෙකක් පුරා දුම්කොළ වලින් සිදුවන හානිය වළක්වාගැනීමට ශ්‍රී ලංකා රජය විසින් ගත් ක්‍රියාමාර්ග ආපසු හැරවීමක් ලෙස දැකිය හැකිය. මෙමගින් සෞඛ්‍යයට, ආර්ථිකයට, සමාජයට බරපතල හානියක් සිදු වෙයි. ජනාධිපතිවරයා විසින් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක මෙවැනි තීරණයක් ගැනීම ගැටලු සහගත වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ UNDP ආයතනය විසින් 2019 ජුනි 17 දින නිකුත් කළ වාර්තාවකට අනුව දුම්කොළ භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වාර්ෂිකව රුපියල් බිලියන 200 ක මුදලක් අහිමි වන බව පෙන්වා දෙයි. තව ද දුම්කොළ භාවිතයෙන් ශ්‍රී ලාංකිකයින් 20,000 ක් වාර්ෂිකව මරණයට පත්වෙයි. නමුත් දුම්කොළ බදු වලින් රජයට ලබාගත හැකි වන්නේ හයෙන් එකක කොටසක් පමණයි. එම නිසා සියලුම ආකාරයේ දුම්කොළ නිෂ්පාදන නතර කිරීමට රජය පියවර ගනිමින් සිටියි. චින දුම්වැටි ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ මෙරට වෙසෙන සුළු ප්‍රමාණයක් වූ චින කම්කරුවන් වෙනුවෙනි. එමගින් ශ්‍රී ලංකාවේ සිටින බහුතරයක් වන ඉන්දීය කම්කරුවන්ට ද දුම්වැටි ආනයනය කිරිමට මාර්ගය විවර විය හැකිය. තව ද චීන දුම්වැටි ආනයනය කිරීම තුලින් දැනට වෙළෙදපොලේ පවතින දුම්වැටි වෙළෙද නාම වලට වඩා මිල අඩු වුවහොත් තරුණ පරපුර පරිභෝජනය කිරිම ද වැඩි විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබද ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවෙක් වන ශ්‍රී ලංකාව වත්මන් සහ අනාගත පරපුර දුම්කොළ පරිභෝජනයෙන් වළත්වා ගත යුතුය. තව ද එම ප්‍රඥප්තියේ මාර්ගෝපදේශ යටතේ සදහන් වන්නේ පාර්ශ්වකරුවන් වන රටවල් දුම්කොළ ව්‍යාපාරිකයින්ට පහසුකම් සැළසීමේ වැඩපිළිවෙළක් අනුගමනය නොකළ යුතු බවයි. චින දුම්වැටි ආනයනය කිරීමේ තීරණයෙන් එම මාර්ගෝපදේශය ද උල්ලංගනය වෙයි. තව ද 2006 දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික පනත ද මෙමගින් උල්ලංගණය වෙයි. චීනයෙන් දුම්වැටි ආනයනය කිරීමට ඉඩ ලබානොදෙන ලෙස දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි. රජයේ ආයතනයක් වන අප ආයතනයේ වගකීම වන්නේ ජනතාව ආරක්ෂා කිරීමයි. පෞද්ගලික අංශයේ කෙටි කාලීන මූල්‍ය ලාභ වෙනුවෙන් සහයෝගය දැක්වීම අපගේ වැඩපිළීවෙලට පටහැනි වෙයි.


Views
178
2019-06-30 09:13:34
ව්‍යාපාර පුවත්