ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් ආචාර්ය එස්. ජයශංකර් විදේශ කටයුතු ඇමති ලෙස වැඩ භාරගනී.


ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි මහතාගේ කැබිනට් මණ්ඩලය ඉදිරියේ පසුගිය මැයි මස 31 වන දින දිවුරුම් දුන්නේය.

ආචාර්ය ජයශංකර් මහතා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන අතර 2015 ජනවාරි මාසයේ සිට 2018 දක්වා ඉන්දියාවේ විදේශ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත. ඉන්දියාවේ විදේශ ලේකම් හා විදේශ කටයුතු අමාත්‍යවරයා යන ධුර දෙකම හෙබවූ පළමු පුද්ගලයා ඔහු වේ.

1977 දී ඉන්දීය විදේශ සේවයට එක් වූ ආචාර්ය ජයශංකර් මහතා මොස්කව් හි ඉන්දියානු තානාපති කාර්යාලයෙන් සිය වෘත්තිය ආරම්භ කළේය. එතැන් සිට ඔහු ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල සේවය කර ඇත. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ, චීනයේ හා චෙක් ජනරජයේ තානාපතිවරයා ලෙසත් සිංගප්පූරුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා හා ජපානයේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙසත් කටයුතු කළේය.

ආචාර්ය එස්. ජයශංකර් මහතා ඉන්දියානු-ඇමරිකානු න්‍යෂ්ටික ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර ඇති අතර ඉන්දියානු විදේශ ලේකම්වරයා ලෙස ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වගකීම ලබාගත් මොහු බිම්ස්ටෙක් වැනි කලාපීය මූලාරම්භයන් සමඟ පැවැත්වූ සම්බන්දයන් වැඩි දියුණු කරන ලදී. ශ්‍රී ලංකාව තුල ඉන්දියානු ජනතාව මූලික කරගත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙහි ලා පුරෝගාමියෙකු ද විය.
විදේශ ලේකම්වරයා ලෙසද කටයුතු කළ ආචාර්ය ජයශංකර් මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සමඟ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවට පැමිණියේය.

2019 දී ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් සම්මානය වන පද්මා ශ්‍රී සම්මානයෙන් ඔහු පිදුම් ලබන ලදී. ඔහු දිල්ලි විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශාන්ත ස්ටීවන් විද්‍යාලයේ උපාධිධාරියෙක් වන අතර දේශපාලන විද්‍යාව හා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා ඇත. ජවහර්ලාල් නේරු විශ්ව විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ ආචාර්ය උපාධියක්ද ඔහුට ඇති අතර රුසියානු, හංගේරියානු සහ ජපන් භාෂා කතා කිරීමේ හැකියාවක් ඇත. ඔහුගේ පියා කේ. සුබ්‍රමනියම් මහතා ඉන්දියාවේ න්‍යෂ්ටික මූලධර්මයේ කතුවරයා වේ.







.


Views
309
2019-06-03 10:21:01
ජනප්‍රිය පුවත්