කුඩා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයින් සඳහා පොලී රහිත සහන ණයක් ලබා දෙනවා - මුදල් ඇමති මංගල සමරවීර



“සංචාරක පොඩ්ඩෝ නමින් රට පුරා සංචාරක කර්මාන්තයේ නිරත වී සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා රුපියල් ලක්ෂ පහක (රු.500,000 ක) උපරිමයකට යටත්ව පොලී රහිත ණය මුදලක් ලබා දීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

මේ සදහා කිසිදු පොලියක් අය නොකෙරෙන අතර ණය ගෙවීම ආරම්භ කිරීම සදහා වසරක සහන කාලයක් ලබා දෙන බවද ඇමතිවරයා කීවේය.

මුදල්අ අමාත්‍යාංශයේ දී ඊයේ (30) සවස පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කීවේය.


මාස 12 ක සහන කාලයෙන් පසු මෙම ණය ගෙවීම සඳහා වසර තුනක ණය ගෙවීම් කාලයක් හිමිවන බව ද ඇමතිවරයා කියා සිටියේය.
මෙම ණය යෝජනා ක්‍රමය ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා පමණක් ක්‍රියාත්මක කරන බවත් මෙහිදී සියයට 100 ක්ම ලබා දෙන පොළී සහනාධාරය රජය විසින් ගෙවනු ලබන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ඇති වූ වාතාවරණය හමුවේ පුද්ගලික බස්රථ කර්මාන්තය මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව එම බස් රථ සමාගම් සමඟ සාකච්ඡා කළ බව මුදල් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.ඒ අනුව කල්බදු වාරික ගෙවීමට ඇති බස් රථ සඳහා අප්‍රේල් සහ මැයි මාස දෙක වෙනුවෙන් පමා කාලසීමාවක් ලබා දෙන ලෙස මූල්‍ය හා කල්බදු සමාගම්වලට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද ඇමති මංගල සමරවීර මහතා කීවේය.

එසේම සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙන් එළිමහන් සංගීත සංදර්ශන පවත්වන කණ්ඩායම්වල සාමාජිකයින් පිරිසක් ද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමග පසුගියදා සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී සංගීත සංදර්ශන පවත්වන කණ්ඩායම්වල සාමාජිකයින් පවසා ඇත්තේ
අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් පසු එළිමහන් සංගීත සංදර්ශන නොපැවැත්වීම හේතුවෙන් තම කණ්ඩායම් දැඩු මූල්‍ය අපහසුතාවන්ට පත්ව ඇති බවයි. මේ තත්ත්වය තුළ සංගීත කණ්ඩායම්වල සාමාජිකයින් වෙත 2019 ජූනි 10 දින සිට කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක
(රු.500,000 ක ) උපරිමයක් දක්වා සියයට 3.4 ක සහන පොළියට ණයක් ලබා දීමට තීරණය කළ බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

එමෙන්ම තොරණ් කර්මාන්තයේ නිරත පිරිස් වෙනුවෙන් සහන ලබා දීම කෙරෙහි ද තම රජයේ අවධානය යොමුව ඇති බවත් එළඹෙන බදාදා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් කීවේය.
Views
149
2019-05-30 08:42:31
ව්‍යාපාර පුවත්
ජනප්‍රිය පුවත්