මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස් කෙරේ


මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන පතොරම් 93 ක් ඔහුගේ නිවසේ එළිමහන් ස්ථානයකින් සොයාගැනීමේ සිද්ධියකට අදාලව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා මල්වාන ප්‍රදේශයේදී අද (29) අත්අඩංගුවට ගෙන තිබුණේ
ඔහුගේ බියගම , මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස යුධ හමුදාව සහ පොලිසිය එක්ව අද උදේ කළ සෝදිසි මෙහෙයුමකදීය.

එහිදී එම නිවසේ පෝටිකෝව සහ ඊට යාබද නිවසේ වහල අතර ඇති, පෝටිකෝවේ ඉහළ කොටසේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන පතුරම් 93 ක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බව පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව එම අවස්ථාවේදීම වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අලි හසන් මහතාව අත්අඩංගුවට ගත්තේය.

සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් අදාල ස්ථානය පුළුල් පරීක්ෂාවකට ලක් කර ඇති අතර පතුරම් හමු වූ ස්ථානය සම්බන්ධයෙන් අලි හසන් මහතාගේ ඇති ස්ථානිය දැනුමද එහිදී පරීක්ෂා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට පොලිසිය මේ වන විට පියවර ගෙන තිබේ.

එම නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.‍

පතුරම් තිබූ අලි හසන් මහතාගේ නිවස ඔහුගේ බිරිඳගේ පියාට අයත්වූවක් බව සදහන්ය.

ඔහුගේ බිරිඳගේ පියා මීට පෙර බලපත්‍ර සහිත ගිනි අවියක් භාවිත කර තිබූ බවද වාර්තා වේ.




Views
137
2019-05-29 13:29:01
ව්‍යාපාර පුවත්
ජනප්‍රිය පුවත්