පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසු අපේ සංචාරක කර්මාන්තය විශාල අර්බුදයකට මුහුණ දී ඇත. රට පුරා සංචාරක හෝටල් පාළුවට ගොසිණි. සංචාරක පැමිණීම් හොඳටම අඩු වී තිබේ. අප රටට සංචාරය කිරීම ගැන රටවල් 37 කින් ඒ ඒ රටවල වැසියන්ට සංචාරක මාර්ගෝපදේශන නිකුත් කර තිබේ. මේ තත්ත්වය තුළ අපේ රටට සංචාරකයන් ගෙන්වා ගැනීම මේ මොහොතේ ඉතාමත් අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව ඇති බවට කිසිම සැකයක් නැත. අද දිනයේ මේ වගකීමට උර දී සිටින්නේ ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතාය. මේ අභියෝගය ජය ගන්නේ කෙසේද යන්න ගැන සහ සංචාරක ක්ෂේත‍්‍රයට අදාළ තවත් කාලීන කරුණු ගණනාවක් ගැන අපි ගෝමස් මහතාගෙන් ප‍්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින’ ඇසූ ප‍්‍රශ්න වලට ඒ මහතා ලබා දුන් පිළිතුරුය.
ප‍්‍රශ්නය - පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මසකටත් වැඩි කාලයක් ගත වෙලා. ඔබලා මාධ්‍ය හමු කීපයකුත් පැවැත්වුවා. මුලින්ම තත්ත්වය සමනය කරලා තියෙන්නේ කියලා රජය ප‍්‍රකාශ කළත් ඊට පසුව බෝම්බ පිපිරීම් නොවුණත් රටේ අභ්‍යන්තර සිදුවීම් සිදු වුණා. මේවත් මාධ්‍ය හරහා ලෝකයට සන්නිවේදනය වුණා. මේ පසුබිම තුළ අද වන විට සංචාරක ව්‍යාපාරයේ තත්ත්වය කොහොමද?
පිළිතුර - බෝම්බ ප‍්‍රහාරයෙන් පස්සේ දිනවල රටට දළ වශයෙන් 1800 ක් වගේ වගේ විදෙස් සංචාරකයන් ප‍්‍රමාණයක් ආවා. නමුත් ඒ අය ආවේ ඊට කලින් මෙරටට එන්න සැලසුම් කරල හිටපු අයයි. අද වන විට ඒක බැහැල තියෙනවා 1200 කට වගේ ප‍්‍රමාණයකට. සමහර විට ලංකාවට ඇවිත් තියෙන්නේ දවස් තුනකට දහසකටත් අඩු ප‍්‍රමාණයක්. අපි දැන් ප‍්‍රහාරයෙන් පස්සේ සිදුවීම් නැහැ කියන එකෙන් අපි අදහස් කරේ එයින් පසු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් වුණේ නැහැනේ. ආරක්ෂක අංශ සෝදිසි කිරීම් වලදී යම් යම් සිදු වීම් වුණා. නමුත් ඔබ කීව දේ හරි තවමත් රටේ තත්ත්වය සාමාන්‍ය නැහැ. ඇදිරි නීතිය දිගටම තිබුණා ඒ දවස්වල. සිංහල මුස්ලිම් ජනයා අතර යම් නොසන්සුන් තත්ත්වයන් තිබුණා. මේ සියලූ දේම ජාත්‍යන්තර මාධ්‍ය හරහා වාර්තා වෙනවනේ. රටකට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. නමුත් එතනින් පස්සේ සංචාරකයෙකුට ඒ රටට එන්න නම් ඒ රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න ඕන. ඒ සාමාන්‍ය තත්ත්වය ලංකාවේ තිබුණේ නැහැ. මේ වෙනවිටත් නැහැ කියල කියන්න පුළුවන්. හේතුව තාමත් රටේ සාමාන්‍ය තත්ත්වය ඇති වෙලා නැහැ.
අපිට විදේශීය සංචාරකයන් තුළ විශ්වාසය ගොඩ නගන්න මුලින් ලංකාව තුළ විශ්වාසය තියෙන්න එපැයි. අපි අවංකව කියනවනම් මේ වෙනකොටත් සියයට සියයක් එහෙම විශ්වාසයක් නැහැ. ඒකට හේතුව තමයි අර ගියපු කට කතා ඇතුළු සියලූම දේවල්. නමුත් මම හිතනවා වෙසක් එකෙන් පස්සේ එක වෙනස් වෙයි කියල. අන්තිමට කටකතාව තිබුණේ වෙසක් එකට ප‍්‍රහාරයක් එල්ල කරනවා කියලනේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා දැන් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට හැරෙයි කියලා. ඒකත් එක්ක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ජාත්‍යන්තරයට ගිහින් දැන් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයේ තියෙනවා. එනම් අපේ‍්‍රල් 21 දිනට පෙර තිබෙන තත්ත්වයේ තිබෙනවා කියලා. දැන් අපේ ආරක්ෂක බුද්ධි අංශ කියන්නේ තත්ත්වය සියයට සියයක් පාලනය කරලා කියලා. ඒක ඇත්ත. අපි දන්නවා සහ අපට ඒක පේනවා. ඒ නිසා ලංකාව තුළ සංවිධානාත්මක ප‍්‍රහාරයක් එල්ල කරන්න බැහැ කියන එක ආරක්ෂක බුද්ධි අංශ කියනවා. දැන් අපි ඔය පණිවිඩය අපි ලංකාව තුළ තිබෙන විදෙස් තානාපති කාර්යාල සහ මහා කොමසාරිස් කාර්යාල වලට ගෙනිච්ච. අපි පසුගිය 16 දින ගියා ඇමැතිතුමාත් සමග ඉන්දියානු මහ කොමසාරිස්තුමාව හමු වෙන්න. ඊට දින දෙකකට කලින් ගියා බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්ව හමුවෙන්න. ඒ වගේම ඊටත් පෙර ජර්මන් තානාපති හමු වෙන්න ගියා. ඒ නිසා අපි යනකොට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක බුද්ධි අංශ නිලධාරියෙක් සමග තමයි යන්නේ. එයාට කියල ආරක්ෂක තත්ත්වය ගැන සමාලෝචනයක් සහ සංචාරක අංශය සම්බන්ධයෙන් මොනවද කරන්නේ කියලා අපි පැහැදිලි කිරීමක් කරනවා.
fea8 2ප‍්‍රශ්නය - ඔබතුමා පසුගියදා මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ රටවල් 37 කින් පමණ අප රටේ සංචාරය කිරීම ගැන සංචාරක මාර්ගෝපදේශනයන් නිකුත් කර තිබෙන බවයි. දැන් එම ප‍්‍රමාණය තව වැඩි වෙලාද ?
පිළිතුර - නෑ ඒ ගානමයි තියෙන්නේ. එතනින් එහාට වැඩි වුණේ නැහැ. ඒවාවල අඩු වීමක් වුණෙත් නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ අද තියෙන තත්ත්වය සහ අපි කරපු වැඩ තුළ සමහර මාර්ගෝපදේශනවල තත්ත්වය ඒ රටවල් ලිහිල් කරයි කියල. එහි තියෙන දැඩි බව අඩු කරයි කියලා. අඩු කරලා සමහර රටවල් සම්පූර්ණයෙන් අයින් කරයි. ඒ රටවල නම් කීම සුදුසු නැහැ මේ මොහොතේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා රටවල් කීපයක්, සුළු ප‍්‍රමාණයක් හෝ ඉදිරි දිනවලදි ඒවා අයින් කර ගනියි කියලා. එක ලොකු ප‍්‍රබල රටක් සාමාන්‍යයෙන් මේක අපට අයින් කළා නම් අපිට ඒක භාවිත කරන්න පුළුවන් පණිවිඩයක් හැටියට මෙන්න මේ රට සියලූ දේ සලකල බලල ඔවුන්ගේ සංචාරක මාර්ගෝපදේශනය අයින් කරලා තියෙනව, ඒ නිසා ඔබත් මේ ගැන සලකා බලන්න කියලා. ඒ ප‍්‍රවණතාව පටන් ගන්න ඕන. ඒ සඳහා තමයි අපි මේ පුද්ගලිකව ගිහින් රටේ තත්ත්වය ගැන කියලා, ඒ අයට වාර්තා කරලා ඒ දේවල් කරන්නේ. පිටරටත් අපේ තානාපති කාර්යාලවල ඒ දේම කරනවා. අපේ ආරක්ෂක ප‍්‍රධානීන් මේ වෙනකොට එළියට ඇවිත් ඒ අය ආරක්ෂක තත්ත්වය ගැන ප‍්‍රකාශ කරනවා. ඒ වගේ තත්ත්වයක් කලින් තිබුණේ නෑ දැන් තියෙනවා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වග කියන්නේ ආරක්ෂක අංශයි. ඒ අය දැන් ඇවිත් රටේ තියන ආරක්ෂක තත්ත්වය ගැන කතා කරනවා.
ප‍්‍රශ්නය - නමුත් පසුගියදා හමුදාපතිතුමා ප‍්‍රකාශ කළා රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ගැන ඔහුගෙන් තුන්වරක් ප‍්‍රශ්න කළා කියලා. ඔහු ඒ සැකකරු
ගැන විමසුවා කියල කිව්වා. අපේ ආරක්ෂක අංශ ගැන ජනයාගේ සම්පූර්ණ විශ්වාසය තියෙනවා. එහෙත් චෝදනා එල්ල වී ඇති ඇමැති මණ්ඩල සාමාජිකයා ගැන පවා ප‍්‍රශ්න කළයුතුයි. එහෙත් එවැනි ඇමැතිවරු සැකකරුවන් ගැන හමුදාපතිගෙන් ප‍්‍රශ්න කරනවා. ඒ බව මාධ්‍ය හරහා ලෝකෙටම ගියා. එතකොට අදහසක් එනවා හමුදාපතිටත් යම් බලපෑමක් තියෙනවා කියලා. ඒ වගේම ජනාධිපති විදෙස් තානාපතිවරුන්ට රට ආරක්ෂිතයි සංචාරකයන් එවන්න කිව්වට පස්සේ රටේ කළබල ඇති වෙලා නැවත රටටම ඇඳිරි නීතිය දාන්න සිදුවුණා. මේ තත්ත්වය නිසා රටේ ආරක්ෂක තත්ත්වය ගැන කොහොමද විදෙස් රටවල් විශ්වාසය තියෙන්නේ ?
පිළිතුර - අනිවාර්යෙන්ම. ඒක නිසාම අපට තාම ස්ථාවර තැනකට ඇවිත් දැන් හොඳයි කියන හැකියාවක් අපට කලින් තිබුණේ නෑ. දැන් අපට එහෙම කියන්න පුළුවන් කියල මම හිතනවා. දැන් ඔබ අර කියපු බලපෑම ගැන කියනවනම් අපේ හමුදාපතිතුමා එතැනදී බොහොම පැහැදිලිව කිව්වා බලපෑම හෝ ඉල්ලීමක් කරා කියන දේ අපි පැත්තකින් තිබ්බොත් හමුදාපතිතුමා ඒ බලපෑමට යටත් වුණේ නෑ. නැත්නම් ඒ ඉල්ලීමට යටත් වුණේ නෑ. ඒ පණිවිඩයත් ගියානේ. ඒකත් ගියා.
ප‍්‍රශ්නය - ඔව් හමුදාපතිතුමා හරියට කටයුතු කළ බව පෙනුණා. නමුත් චෝදනා එල්ල වූ අය ඇමැති මණ්ඩලයේම සිටිනවා. පියවර ගන්න බවක් පෙන්නේ නෑ. සාමාන්‍ය මිනිස්සු නම් උපරිමව පරීක්ෂා කෙරෙනවා. නමුත් ජාතික ආරක්ෂාව නම් ඉහළ සිට පහළට සීමාවලින් තොරව පියවර ගන්න ඕන රට සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති වෙන්න නම් ?
පිළිතුර- ඔව් ඔව්. රටේ ඒ වගේ දේවල් සිදු විය යුතු නැහැ. ඒවා ඇත්තටම හැදෙන්න ඕන තැන්. ඒවා අනිවාර්යයෙන්ම හැදෙන්න ඕන. ආරක්ෂාව සම්බන්ධයෙන් සීමාකම් තිබිය යුතු නැහැ. අපි මේ හොඳම පාඩමක්නේ ඉගෙන ගත්තේ. මේ උදාහරණයත් එක්ක හිතනව ඉදිරියේදී ඒවගේ අඩුපාඩුකම් මකාගනියි කියල. මොකද මෙහිදී කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ. යම් කිසි සැකයක් තියෙනවනම් ඔහුව පරීක්ෂා කරල, ඒ වගේම ආයතනයක් තියෙනවනම් ඒවා පරීක්ෂා කරලා එහෙම ගැටලූවක් නැහැ කියන තහවුරුවට ඇවිත් නවත්තනව ඇරෙන්න.
ප‍්‍රශ්නය - මම හිතන්නේ ඔබතුමා තමයි වඩාත්ම අභියෝගාත්මකම කාලයේ සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා ලෙස පත්ව සිටින්නේ. කොටි ත‍්‍රස්තවාදය පැවතියදීටත් වඩා සංචාරකයන් ගෙන්වා ගැනීමට අපහසු වාතාවරණයක් මේ නිසා ඇතිව තිබෙනවා. ඔබතුමා ඉතාම දක්ෂයෙක්. ඔබ මහන්සි වී කටයුතු කරන ආකාරය අපි දුටුවා. එහෙත් මේ දුෂ්කර අභියෝගය ඔබ ජය ගන්නේ කෙසේද ?
පිළිතුර - ඔව් ඇත්තටම ඇති විශාල අභියෝගයක්. නමුත් මම හිතන විදිහට නිවැරදි විදිහට හිතන අය තමයි බහුතරය. එතකොට මේ සියලූ දෙනාටම කතා කරලා අදාළ පාර්ශ්වයන්ට මේක වැරදියි, මෙහෙමයි කරන්න ඕන කියන බලපෑම දැන් කෙරිලා තියෙන්නේ. එහි ප‍්‍රතිඵලත් අපි පොදුවේ දකිනවා. අද මුලින්ට වඩා බුද්ධිමත්ව හිතල, අනාගතය ගැන සහ රට ගැන හිතල කටයුතු කරන, කතා බවක් පේනවා. මේ සිදු වූ සිද්ධිය රටට ලොකු පාඩුවක්. මෙහෙම දෙයක් සිදු නොවී තිබුණ නම් තමයි හොඳ. නමුත් එය සිදු වූ නිසා වගේම මම මෙතන වාඩි වෙලා සිටියදී මේක වූ නිසා ඒක මට ලොකු අභියෝගයක්. නමුත් මම ඒ අභියෝගයට කැමතියි. සමාගම්වල සහ නොයෙකුත් ආයතනවල වැඩ කරලා, ලෝකයත් එක්ක
ගනුදෙනු කරලා ඒ ඔක්කොම අත්දැකීම් සහ අනෙකුත් කරන සියලූම දේවල් වලින් මම හදාගත්ත මගේ මොළය සහ මම හදාගත්ත මගේ අනෙකුත් කුසලතාවන්, නායකත්වය යන සියලූ දේවල් සියයට සියයක් රට වෙනුවෙන් පාවිච්චි කරන්න මට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම ඇත්තටම මේ වගකීම භාරගත්තෙත් රට වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්නයි. දුප්පත් මිනිහට සේවයක් කරන්නයි. ආණ්ඩුවට සේවය කරන්න නෙවෙයි. මම මේක භාර ගත්තේ දුප්පත් මිනිහට සේවයක් කරන්නයි. එතකොට දුප්පත් මිනිහට සේවයක් කරන්න, මගේ තියෙන ශක්තීන් උපරිමයෙන් භාවිත කරන්න මට අවස්ථාවක් ලැබිල තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මට කිසිම බාධාවක් නැතුව හරියාකාරයෙන් මේක කරන්න මට ඉඩ දෙයි සහ මට අවශ්‍ය සහයෝගය දෙයි කියලා. ඒ සහයෝගය එක්ක මට සියයට 200 ක් විශ්වාසයි සංචාරක ව්‍යාපාරය ගොඩ දාන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය එන්නේ මගේ තියන පුද්ගලික විශ්වාසය නිසාම නෙවෙයි. අපි ලෝකේ අනෙක් රටවල් දිහා බලපුවහම මෙවැනි තත්ත්වයන්ට භාජනය වූ, ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ට ලක් වූ රටවල් ඒ දේ සාර්ථකව කරලා තියෙනවා. බාලි ගත්තොත් ඒ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් සංචාරකයන් 200 කට වඩා නැති වුණා. ඔස්ටේ‍්‍රලියානුවන් 80 කට වැඩිය නැති වුණා. බාලි ලෝකේ සංචාරය කළ යුතු හොඳම ප‍්‍රදේශය ලෙස තිබුණා. ඒ අය නැත්තටම නැති වෙලා ආපහු පළවෙනි තැනට ආවා. එතකොට බැංකොක්, ප‍්‍රංශය, ලන්ඩන්, ඊජිප්තුවේ තුර්කිය සහ නවසීලන්තය වැනි රටවල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර ගත්තොත් ඒ අය ගොඩ ඇවිත් තියෙනවා. මේවා එකිනෙකට සමාන නැහැ තමයි. අද ලෝකයේම ත‍්‍රස්තවාදය තියන නිසා, මෙය ලෝකයටම බලපාන පිළිලයක් නිසා ඒවා හැමකෙනෙක්ම දකින සහ අත්විඳින නිසා ලෝකයේ කොහෙවත් ආරක්ෂිත කියල තැනක් නෑනේ. ඒ නිසා මේ අය මේකට හුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ වූ සිද්ධිය බලපානවා වගේම පස්සේ ඒක හදා ගන්නවා නම් ඒ හදා ගත්ත එක බලල සංචාරකයන් කැමතියි එන්න. ඒ අය මේකට හුරු වෙලා නිසා ඒ විදිහට තමයි මේක හදන්න තියෙන්නේ.
ප‍්‍රශ්නය - යම් අවදානමක් අරන් එන පිරිසක් තාම එනවා. එහෙත් බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව මුලින් දිනකට සංචාරකයන් 1800 පැමිණියත් මේ වන විට සංචාරක පැමිණීම් තවත් අඩු වෙලා. අපි සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් කරන්න ඕන අපේ ආරාධනයෙන් එන සංචාරකයා පීඩාවට පත් නොවන වටපිටාවක් අපේ රටේ තියෙනවානම් නේද? ඒ සඳහා ආරක්ෂිත වාතාවරණයත් යම් ප‍්‍රමාණවත් මට්ටමකටවත් තහවුරු කර ගත යුතුයි. අපි දන්නවා සියයට සියයක් බැහැ. එහෙත් අපට පේන්නේ සංචාරකයන්ට අපේ රටට එන්න කියල ප‍්‍රවර්ධන කරන්න තාම ඉක්මන් වැඩියි කියලයි. රට තුළත් ආරක්ෂාව ගැන විශ්වාසය තහවුරු වෙන්න ඕන තවදුරටත්. අම්ම තාත්ත ගෙදර රණ්ඩු වෙනවා නම් අපට ගෙදරට අමුත්තෙකුට එන්න කියන්න පහසුයි නේද?
පිළිතුර - මම කලින් කිව්වා වගේ ඒ විශ්වාසය රට තුළ ගොඩනැගෙන්න ඕන. ඒක පිටට පේන්නත් ඕන. ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව දැනෙන්න ඕන. ඒක ඒ විදියට අපි ප‍්‍රදර්ශනය කරන්න ඕන. මම හිතනවා ජාතීන් අතර ප‍්‍රශ්න සහ විවිධ ප‍්‍රදේශවල කෝලාහල නැති වුණොත් ඕක සති දෙකක් ඇතුළත යථා තත්ත්වයට පත් වෙයි. ඒ අනුව ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි අනිවාර්යෙන්ම. ඒ එක්කම ඒ කාලසීමාව තුළ ඔය සංචාරක මාර්ගෝපදේශන අඩු වෙයි සහ අයින් වෙයි. ඒක අපි ලොකුවට ප‍්‍රචාරණය කරනවා. ඒ වගේම අපේ මහජන සම්බන්ධතා (ඡුඍ* වැඩසටහනකුත් යනවනේ. ඒ එක්කම ගෝලීය අලෙවිකරණ ආයතනයේ යෝජනාවත් තියෙනවා. මේ අයත් එක්ක කරන වැඩ සහ අපි මීට පෙර සැලසුම් කළ දේවල් තියෙනවා. ඒ අනුව සංචාරක ප‍්‍රදර්ශන 37 කට අපි යනවා.
ප‍්‍රශ්නය - විදේශ රටවල තියන ඒවා ?
පිළිතුර - ඔව්. රෝඞ් ෂෝ 18 ක් කරනවා. කන්සියුමර් එන්ගේ ජ්මන්ට් 9 ක් තියෙනවා. මේ ඔක්කොම 55 ක් පමණ ප‍්‍රමාණයක්. මේවා ඉදිරි මාස හයෙන් බෙදල ගත්තොත් මාසෙකට අවම වශයෙන් අටක් වගේ ප‍්‍රමාණයක් වැඩසටහන් තියෙනවා. මේ සියලූ දේවල් වලට අපේ කර්මාන්තයේ සහභාගිත්වය තියෙනවා. මේවට හෝටල්කරුවන්, සංචාරක මාර්ගෝපදෙශකයන් සහ අපේ කට්ටියත් යනවා. ඒ රටවල තානාපති කාර්යාලවල නිලධාරීන් එනවා. ඒ රටවල ඉන්න ශ‍්‍රී ලාංකිකයන් ඒවාට සහභගි වෙනවා. මේ සියලූ දෙනාගේම හඬක් නැගෙනවා අපේ රටට එන්න කියල. ඒ ප‍්‍රයත්නය එහෙම යනවා. ඊට අමතරව ලංකාවේ තවත් වැඩසටහන් තියෙනවා. ඒවා හරහාත් අපි පණිවිඩ ගෙනියනවා. ඒවායින් අපි කියන පණිවිඩය හරි කියන දේ ඔප්පු කිරීමේ හැකියාව අපට ලැබෙනවා.
ප‍්‍රශ්නය - අපි කියන්නේ නැහැ රටේ ආරක්ෂක තත්ත්වය සියයට සියයක් තහවුරු වූ වන තෙක් සංචාරක ප‍්‍රවර්ධන කටයුතු කරන්න එපා කියල. එහෙත් ආරක්ෂක තත්ත්වය සහ රටේ ජනජීවිතය යම් ප‍්‍රමාණවත් මට්ටමකට පත් වූ පසු සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් කරන්න පුළුවන්. එහෙත් තවමත් ඒ තත්ත්වය උදා වෙලා නැති අවස්ථාවක අර ඔබ කියපු ගෝලීය මහජන සම්බන්ධතා ආයතනයක් හරහා ප‍්‍රවර්ධන කරන්න තාම ඉක්මන් වැඩි නැද්ද ? එය මුදල් නාස්තියක් වෙන්නේ නැද්ද ?
පිළිතුර - නෑ. අන්න ඒක තමයි මම කියන්නේ ඒක වරදවා වටහා ගැනීමක්. මහජන සම්බන්ධතා වැඩසටහනක් අවශ්‍ය වෙන්නේ ඒ වගේ ව්‍යාකූල අවස්ථාවක තමයි. ඒ පීආර් කැම්පේන් එකෙන් කරන්නේ අර මතය වෙනස් කිරීමයි. ඔබ කියන එක හරි රටේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න ඕන. නමුත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න කලින් යන පණිවිඩ තියෙනවනේ මේක නරකයි කියල. ඒ යන පණිවිඩ පාලනය කිරීමත් අවශ්‍යයි. පීආර් කැම්පේන් එකක් තියෙන්න ඕන තත්ත්වය හොඳ වුණාම කතා කරන්න නෙවෙයි. තත්ත්වය නරකම වෙලාවේ තමයි පීආර් කැම්පේන් එකක තියන උපරිම ප‍්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ.
ප‍්‍රශ්නය - දැන් ජනාධිපතිතුමත් විදෙස් සංචාරකයන්ට එන්න කිව්වට ඊටත් පසු සිදු වීම් වෙලා ඇඳිරි නීතිය පනවන්නත් සිදු වුණා අපට මතකයි. එහෙම අපි සංචාරකයන්ට එන්න කියල ඔවුන් තව අනපේක්ෂිත ලෙස අපහසුතාවට පත් වෙනවනම්?
පිළිතුර - අපහසුතාවට පත් නොවෙනවා කියන එක සම්බන්ධයෙන් අපට විශ්වාසයක් තියෙන්න ඕන. දැන් මම මේ සියලූම දේවල් කතා කරන්නේ වෙසක් එකෙන් පස්සේ ඇතිවෙන වාතාවරණය තුළ අප කළයුතු දේවල්. අම්ම තාත්ත රණ්ඩු වුණා උදේ. නමුත් දවල් වෙනකොට තවම කතා කරන්නේ නැති වුණත් දැන් ගහගන්නේ නෑ. ඒ නිසා අපේ අමුත්තා ගෙදර එනවා. එයත් එක්ක ඒ දෙන්නම කතා කරනවා. දැන් අපි අනිත් රටවල මේ වගේ අවස්ථාවක කොහොමද ක‍්‍රියා කළේ කියන එක අධ්‍යනය කරලා තියෙනවනේ. ඒ සියලූම රටවල් කරපු එක දෙයක් තමයි තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට එනකම් ඉන්නේ නැතුව ඒ අය සන්නිවේදනය කරන්න පටන් ගත්ත. ඒ කියන්නේ මුලින් සාමාන්‍ය විදියට. ඒ කියන්නේ කරන කිසිම දෙයක් නතර කරන්න එපා කියන එකයි. ඒ නිසා ඒවා ඔක්කොම ඉගෙනගෙන තමයි අපි මේ දේවල් කරන්නේ. මේ අපේ මතයන් පමණක් නෙවෙයි. මොකද අපි මොකුත් නොකිය හිටියොත් එක තුළින් ඇති වෙන හැඟීම, මතය නරක වුණොත් ඊට පස්සේ එක කඩන එක ඊට වඩා අමාරුයි. ඒ නිසා ඒ නරක මතය ගොඩනැගෙන අවස්ථාවේදී ඒ නරක මතයේ තිබෙන ප‍්‍රබලත්වය අඩු කරන්න අපි යම් යම් දේවල් කරන්න ඕන. උදාහරණයක් ලෙස අපේ‍්‍රල් 21 දින ඒක වුණා මම ඩුබායි ගිහින් ඊට පස්සේ සතියේ කිව්වේ 21 වෙනිදායින් පස්සේ ත‍්‍රස්ත ප‍්‍රහාර නැහැ කියලා. එක තමයි සත්‍යය. අපි එක නොකිය හිටියනම් එතන වෙන්නේ මොකක්ද ? මොකද රටේ සිදුවීම් වෙනවනේ. එතකොට ගෝලීය තොරතුරු එන කෙනා හිතන්නේ මේවා ත‍්‍රස්ත ප‍්‍රහාර කියලා. නමුත් ඒවා ත‍්‍රස්තවාදයේ කොටසක් නෙවෙයි. මම එතනදී කිව්වේ පැහැදිලි කරලා නෑ මේවා පරීක්ෂා කිරීමේ මෙහෙයුම් හා සම්බන්ධ දේවල් කියලයි. ඒවා හොඳයි. ඒ කියන්නේ පරීක්ෂා කිරීම් දිගටම යනවා. අන්න එකයි වැඬේ. ඒවා අපි ඒ විදියට කියන්න ඕන. ඒවා තමයි පීආර් කැම්පේන් එකකින් සිද්ධ වියයුතු දේවල්.
සාකච්ඡා කළේ - ශ්‍යාම් නුවන් ගනේවත්ත
දිවයින - 2019.05.27