ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට ප්‍රමුඛතාවය දෙමින් මෙවර ශ්‍රී සම්බුදු තෙමඟුල සමරමු - සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය



අප තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් තෙවතාවක් පූජණීයත්වයට පාත්‍ර වූ සහ සිංහල රජ දවස සිට ශ්‍රී ලංකාද්වීපය නව වතාවක් බුදු සසුනට පූජා කළ රාජ්‍ය පාලනයකින් පැවත එන මේ පුණ්‍යවන්ත සිංහල බෞද්ධ රටෙහි කොතෙකුක් අකටයුතුකම් සිදුවෙද්දීත්, අප සිංහල බෞද්ධ සමාජය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයෙන් යුතුව ඉතා ඉවසීමෙන් හා බුද්ධිමත්ව ජාතීන් හා ආගම් අතර සහජීවනයෙන් කටයුතු කරමින් සිටින බව අප සැවොම පිළිගන්නා කරුණක් වන්නේ ය.

එනමුත් පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් හේතුකොට ගෙන අප රට ලෝකයා ඉදිරියේ අනාරක්ෂිත තත්වයකට පත් කිරීම නිසා වසර ගනනාවකට ඉදිරියෙන් සිදුවීමට තිබූ සැලැස්මක් ම්ලේච්ඡ කුරිරු අධම මූලධර්මවාදීන් විසින් 2019.04.21 දින සිදු කිරීම අප තරයේ හෙලා දකිමු.

මෙවැනි මූලධර්මවාදී, වර්ගවාදී, අන්තගාමී, කුරිරු ත්‍රස්තවාදී අදහස් වලින් යුත් කණ්ඩායම් හඳුනා ගැනීම රාජ්‍ය පාලකයන් සතු වගකීමක් වන අතර සාමය හා සමාදානය අගය කරන සියළු ජන කොටස් හා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම, මෙම අසීරු අවස්ථාවේදී අප බෞද්ධ සමාජයේ උත්තරීතර වගකීම වන්නේය.

ඒ අනුව බුදු දහමේ ඇති වටිනා ඉගැන්වීම් පාදකකොට ගෙන මෙම අවස්ථාවේ දී ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට ප්‍රමුඛතාවය දෙමින් බුද්ධාලම්භණ ප්‍රීතියෙන් යුතුව, අචල ශ්‍රද්ධාවෙන් හා ධර්මගාමී ප්‍රතිපදාවෙන්, ශ්‍රී සම්බුදු තෙමඟුල උත්සවශ්‍රීයෙන් සැමරීම සඳහා, ජාති ආගම් භේදයකින් තොරව පෙළ ගැසීමට ලක්වැසි සැමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මෙත් සිත් පෙරදැරිව ආරාධනා කර සිටිමු.

- සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

Views
233
2019-05-18 04:12:33