ආර්ථිකයට පෙර ජාතික ආරක්ෂාව

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මෙරටට පැමිණිමේදී සංචාරකයන්ට පනවා ඇති බාධාවන් ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (07) විදෙස්තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. ඇත්තටම එය එසේ නම් එය බොහෝම හොදය.එහෙත් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ බව කී පමණින්ම විදෙස් සංචාරකයින් රටට පැමිණෙනු ඇතැයි කියා අපට සිතිය නොහැකිය. එසේම එම රටවල් තම ජනයා වෙනුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති සංචාරක මාර්ගෝපදේශන ඉවත් කර ගනු ඇතැයි ද සිතිය නොහැකිය. ඔවුන්ට ඒ බව තහවුරු වුය යුතුව තිබේ. එයට හුදු ප්‍රකාශයක් පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. ජනාධිපති එසේ කීවත් අපට තවමත් පාසල් ටික හරිහැටි විවර්ත කර ගත නොහැකි වී තිබේ. රජයේ පාසල් ආරම්භ කළත් ඒවාට පැමිණෙන ළමයින් ගණන ඉතාම අඩුය.එහි අදහස දෙමව්පියන්ට තවමත් පාසල්වල ආරක්ෂාව ගැන විශ්වාසයක් නොමැති බවය.අගරදගුරුතුමන්ද සිටින්නේ මේ ස්ථාවරයේය. මේ බව අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ අය තේරුම් ගත යුතුව තිබේ.පෙරේදා (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී ජනාධිපතවරයා තවදුරටත් කියා තිබුණේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී අත්දැකීමට මුහුණදීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර ආරක්ෂක අංශවල සාර්ථක මෙහෙයුම් සමඟ ඉදිරි දින කිහිපය තුළ දී ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් වනු ඇති බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු විදෙස් සංවිධාන නියෝජිතයන් සමඟය.රට ගැන විශ්වාසය ජනිත කිරීම ඉතාම හොද දෙයකි.රටට විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීමට නම් එසේ විශ්වාසය ඇති කර ගත යුතුමය.එහෙත් එය හුදු ප්‍රකාශයකින් පමණක් නොව විශ්වසනීය ලෙස ආරක්ෂාව තහවුරු කරගැනීමකින් පසුව පමණක් සිදු වන්නකි. එම ආරක්ෂක වැඩපිළිවෙල ඇමති මණ්ඩලයේ චෝදනා එල්ල වී ඇති අයගෙන්ම ආරම්භ කළ යුතුය.ඔවුන් ඇතුළු එවැනි අත්‍යවශ්‍ය අය අතහැර සාමාන්‍ය ජනයා පරීක්ෂා කිරීමෙන් සැබෑ සතුරන් පවා මග හැරී ගොස් මේවාට කිසිම සම්බන්ධයක් නැති අහිංසකයින් පීඩාවට පත් වී ආර්ථිකය සැහෙන කලකට අකර්මන්‍ය වීමට ඉඩ තිබේ.මේ නිසා ජාතික ආරක්ෂාව අංක එකට සලකා කටයුතු කිරීමෙන් අපට සංචාරක පැමිණීම් ඇතුළු අනෙකුත් සියලුම ආර්ථික කටයුතු ක්‍රමයෙන් යථා තත්වයට පත් කර ගත හැකිය.එහෙත්ජාතික ආරක්ෂාව අංක එකට සැලකීමේදී ආණ්ඩුව ඇතුලේ ඉන්න චෝදනා එල්ල වී ඇති අයටත් එක ලෙසම නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අසමත් වන්නේ නම් මේ කියන විශ්වාසය ජනිත කර ගැනීම දුෂ්කර වනු ඇත.

ඉකුත් මැයි 07 දින ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී විදෙස් තානාපතිවරු අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද ප්‍රකාශ කර තිබුණි.

' පසුගිය සති දෙක තුළ අපගේ ආරක්ෂක හමුදාව ඉතා සාර්ථක ලෙස ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර එම මෙහෙයුම් මෙන්ම ජාතික ආරක්ෂාවට අදාළව රජය ගත් තීන්දු තීරණ ද ඉතා සාර්ථක වී තිඛෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව මේ වන විට මුළුමනින් තහවුරු කර තිඛෙන බැවින් තම රටවල් විසින් සංචාරකයන්ට පනවා ඇති බාධාවන් ඉවත් කර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ සලස්වන ලෙස ඉල්ලනවා. පාසල්, රජයේ ආයතන සහ මහජනතාව ගැවසෙන ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය හා ති්‍රවිධ හමුදාව යොදවමින් මෙන් ම විශේෂ ආරක්ෂක කමිටු ද පිහිටුවමින් අදාළ ආරක්ෂක වැඩපිළිවෙළ දියත් කර තිඛෙන අතර සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.'

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මේ රටේ සියලූ ජන කොටස්වලට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැගීමේ වගකීම තමා ඉටුකරන බවයි. මේ ප්‍රකාශය අප අගය කරන නමුත් අප රටේ ජාතික ආරක්ෂාව ගැන ලෝකයා තුළ , විදෙස් රටවල විශ්වාසය තහවුරු කර ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් රට අභ්‍යන්තරයේ විශ්වාසය තහවුරු කර ගැනීම මුලින්ම කළ යුතු වේ.එහෙත් තුළ එම විශ්වාසය ඇති කර ගැනීමට අප තවමත් සමත්ව නැත.මෙය තවමත්ජනතා සිත් සතන් තුළින් ත්‍රස්ත බිය සහ අනතුරු අවදානම පැහැදිලිව පහව නොගිය මොහොතකි. දෙමව්පියන් තවමත් පාසල්වලට දරුවන් නොඑවන්නේ මේ නිසාය. කතෝලික දෙව් මැදුරුවල දේව මෙහෙයන් පැවැත්වීම සහ කතෝලික පාසල් විවර්ත කිරීම තත්ත්වය සන්සුන්වූ මොහොතක සිදු කරන බවට අගරදගුරුතුමන් කියන්නේද මේ නිසාය.මෙලෙස රට තුළ ජාතික ආරක්ෂාව ගැන හරිහමන් විශ්වාසයක් ඇති කිරීමට තවමත් අසමත්ව ඇති නිසා අප රටේ ජාතික ආරක්ෂාව ගැන ලෝකයාට විශ්වාසයක් ජනිත කිරීම නම් තරමක දුෂ්කර කටයුත්තක් බව පෙනේ.කෙසේ හෝ රජය ත්‍රස්ත ප්‍රහාරවලින් පසු අර්බුදයට ලක්ව ඇති අපේ සංචාරක පැමිණීම් පණ ගැන්වීමට මේ වන විට සංචාරක කරමාන්තය සදහා මුල්‍ය සහන පැකේජයක් ලබා දී තිබේ.එය පෙරේදා (07) සවස මුදල් අමාත්‍යාංශයේ දී මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න සහ සංචාරක සංවර්ධන ඇමති ජෝන් අමරතුංග යනමහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ත්‍රස්ත ප්‍රහාරයෙන්පසු පසුබෑමට ලක්ව ඇති සංචාරක කර්මාන්තයට මෙලෙස මුල්‍ය සහන ලබාදෙන ලෙස සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබුණි .මේ ඉල්ලීමට සාර්ථක ප්‍රතිචාරයක් දක්වමින් රජය තීරණ කිහිපයක් ගෙන තිබුණි.ඒ අනුව ගෙන ඇති ණය ගෙවීමට මෙන්ම රජයේ බදු සම්බන්ධයෙන්ද රජය සහන සලසා තිබේ.


මේ අනුව සංචාරක කර්මාන්තය සඳහා වසරක ණය සහන කාලයක් ලබා දීමට පෙරේදා (07) ඇමැති මණ්ඩල අනුමැතිය ලැබුණු බව මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික‍්‍රමරත්න මහතා කීවේය.

මේ සහනය අනුව සංචාරක හෝටල් සහ සංචාරක ක්‍ෂේත‍්‍රයේ ආයතන ලබාගෙන ඇති බැංකු ණය මුදල්වලට අදාළ වාරික සහ පොලී මුදල් 2020 මාර්තු 31 දින දක්වා නොගෙවා සිටිය හැකි අතර එම සහන කාලයට අදාළ මුදල වෙනම ණය මුදලක් බවට පත් කර සහන පොලියක් යටතේ 2020 ජුලි මස සිට අලුතින් ගෙවීමට අවස්ථාව සලසා දීමටද ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.ඒ අනුව දැනට ගෙන ඇති ණය ගෙවීමට වසරක කාල පමාවක් ලබා දී තිබේ.එහෙත් ඒ මුදල් යළි ජුලි සිට සහන පොළියකට ගෙවීමට සිදු වේ. එම පොලී අනුපාතය කීයද යන්න එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ නොකෙරුණි.මේ සහනය ලැබෙන්නේ ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති ආයතනවලට පමණක් වීමද විශේෂත්වයකි.එහි තවමත් ලියාපදිංචි වී නැති ආයතනවලට ද එහි ලියාපදිංචි වී මේ සහන ලබා ගැනීමට ද හැකියාව තිබේ.කෙසේ හෝ පසුගිය කාලයේ දී ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී නැති ආයතන එහි ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වූ බව අපට මතකය.එසේම සංචාරක කර්මාන්තයේ නිරත හෝටල්වල කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා වසර දෙකක කාලයක් සඳහා සියයට 75 ක පොලී සහනයක් සහිත ණය මුදලක් ලබා දීමට ද ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර එම ණය මුදල් සඳහා සියයට 3.4 ක සහන පොලියක් පමණක් ගෙවීමට සිදුවනු ඇති බවද ඇමැතිවරයා කීවේය. එම හෝටල් ලබන පිරිවැටුම මත ලබා දෙන ණය මුදලේ ප‍්‍රමාණය තීරණය කිරීමට නියමිත බවද ඔහු කීවේය. එසේම සංචාරක හෝටල් සහ සංචාරක නියෝජිත ආයතන වෙනුවෙන් රජය අය කරන වැට් බද්ද සියයට 15 සිට සියයට 5 දක්වා අඩු කිරීමට ද රජය තීරණය කර ඇත. මේ සහනය 2019 අපේ‍්‍රල් 01 දින සිට 2020 මාර්තු 31 දක්වා බලපැවැත්වෙයි.එය ලැබෙන්නේද ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති ආයතනවලටය. එසේම පරීක්ෂා කිරීම් සිදු කිරීමට අවශ්‍ය ආරක්ෂණ උපකරණමෙරටට ආනයනය කිරීමේදී තීරු බදු (ජාතිය ගොඩනැගීමේ බද්ද හැර) සහන සැලසීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 2019 මැයි 07 දින සිට එම තීරු බදු සහනය ක‍්‍රියාත්මක අතර මෙය සංචාරක කර්මාන්තයට පමණක් නොව සියලු අංශ වලට අදාළව ක්‍රියාත්මක වේ.මේ මාධ්‍ය හමුවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ සංචාරක මණ්ඩලයේ සභාපති කිෂූ ගෝමස් මහතාද එක්ව සිටියේය.

මේ මොහොතේ සංචාරක ව්‍යාපාරය විශාල අර්බුදයකට මුහුණ දී සිටින බව ඇත්තය. කිෂූ ගෝමස් මහතා කියන පරිදි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිනකට පැමිණෙන විදෙස් සංචාරකයන් ප්‍රමාණය 1700 කට පමණ අඩු වී ඇති අතර මේ වසරේ (2019 ) ලබන සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කින් පමණ අඩු වනු ඇත.මේ බලපෑම තරමක් කල්ගත වන එකක් බව පෙනෙන්නට තිබෙන නිසා සංචාරක අංශයේ රැකියා කරන්නන් ද කිසියම් අවධානමකට මේ මොහොතේ පත්ව ඇත. අද වන විට මෙරට හෝටල් කර්මාන්තය මුහුණ පා ඇති බරපතල අර්බුදකාරීත්වය හමුවේ රටපුරා හෝටල් සියයට 75 ක් පමණ හිස් වී ඇති බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා පවසයි.හෝටල් කර්මාන්තයේ ලක්ෂ පහක පමණ පිරිසක් සෘජුව රැකියා කරන බවත් එම පවුලක යැපෙන්නන් හතරක් සිටින බව සැලකුවහොත් ලක්ෂ 20 ක පමණ පිරිසක් සංචාරක කර්මාන්තයෙන් යැපෙන බවද උක්වත්ත මහතා කියා සිටියේය.මේ සියල්ලම ඇත්තය. එහෙත් අපගේ අදහස නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සමස්ත ආර්ථික කටයුතු අඩපණ වීමක් සිදුව ඇති බවයි.සංචාරක කර්මාන්තකරුවන් පමණක් නොව මුළු මහත් ව්‍යාපාරික ප්‍රජාවටම අහිතකර තත්වයක් උදා වී ඇත.මේ ආර්ථික කටයුතුවල අඩපණ වීම යථා තත්වයට පත් කර ගැනීමට නම් සමස්ත ආර්ථික කටයුතු පණ ගන්වන මෙහෙයුමක් අවශ්‍ය වේ.ඒ සදහා සංචාරක අංශයට පමණක් සැලසීම ප්‍රමාණවත් නොවේ.අද සෑම ව්‍යාපාරිකකම කියන්නේ බිස්නස් නැති බවයි.සංචාරක කර්මාන්තය පමණක් ගත්තත් එය තවත් ආර්ථිකයේ අංශ රැසක් සමග ඒකාබද්ධ වී ඇති ක්ෂේත්රයකි.අද සංචාරක හෝටලයට එළවළු ටික සැපයු ගොවියාට සහ වෙළෙන්දාට ආදායම නැත. සංචාරක ප්‍රවාහන කටයුතුවල යෙදුණු අයට වැඩ නැත.සංචාරක හෝටල්වලට මාළු සහ මස් සැපයු අයට අදායම නැත.මෙලෙස සංචාරක අංශය හා සම්බන්ධ තවත් අංශ රැසක ආර්ථික කටයුතු මේ මොහොතේ අකර්මන්‍ය වී තිබේ.මේ සියලු අයට ඔය රජයේ සංචාරක මුල්‍ය සහන පැකේජයෙන් සහන ලැබෙනවාද ? මේ නිසා ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති ආයතනවලට පමණක් සහන සලසා මේ ආර්ථිකයේ අකර්මන්‍ය වීම යථා තත්වයට පත් කර ගැනීම දුෂ්කරය.ඒ සියල්ලටම වඩා කිව යුත්තේ ආර්ථිකය පණගැන්වීම ඇතුළු අනෙකුත් සියලු දේ යථාර්ථයක් බවට පත් වනු ඇත්තේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මත බවය.එසේ නොමැතිව ආර්ථික ප්‍රගතියක් ලබා ගත්තත් මෙවැනි සිද්ධියකින් එම ප්‍රගතිය මොහොතකින් කඩා වැටෙන්නට පුළුවන. ඒ නිසා තිරසාර ආර්ථික ප්‍රගතියක් ඇති කර ගැනීමට පවා අංක එකට වැදගත් වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමයි. මේ මොහොතේ වැදගත්කම අතින්ආර්ථිකය ස්ථානගත කිරීමට සිදු වන්නේ අංක දෙකටය.ආර්ථිකයට පෙර ජාතික ආරක්ෂාව 'යනුවෙන් අප සටහන් කළේ මේ නිසාය.

මෙවැනි බලවත් ව්‍යසනයක් ඇති වීමෙන් පසුව පවා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් සාමාන්‍ය ජනයාට පමණක් නොව අගරදගුරුතුමන්ට මෙන්ම මහනායක හිමිවරුන්ට පවා හරි හැටි විශ්වාසයක් නොමැති තත්වයක් පෙනෙන්නට තිබේ.එය ඔවුන් කරන ප්‍රකාශ වලින් පැහැදිලිය. ඉකුත් මැයි 06 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මෙසේ පවසා තිබුණි.

'තත්ත්වය සන්සුන්වූ මොහොතක දෙව්මැඳුරුවල දේව මෙහෙයන් ආරම්භ කරනවා. ඒ වගේම කිතුණු පාසල් විවෘත කරනවා.මාධ්‍ය සීමා ඕනෑම රටකට පැනවෙනවා. තොරතුරු දැන ගැනීමට මහජනතාවට අයිතියක් තිබෙනවා. සමාජ ජාලා අයුතු විදිහට පරිහරණය කරන්න එපා. ඒ තුළින් රටේ ප‍්‍රශ්න ඇති වෙන්න ඉඩ දෙන්න එපා.'

මින් එතුමන් කියන අදහස නම් තවමත් තත්වය සමනය වී ඇති බවට විශ්වාසය ජනිත වී නොමැති බවයි.ඒ අනුව කතෝලික දෙව් මැදුරුවල දේව මෙහෙයන් පැවැත්වීම සහ කතෝලික පාසල් විවර්ත කිරීම තත්ත්වය සන්සුන්වූ මොහොතක සිදු කරන බවද ඔහු කියයි.එසේම මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමිපාණෝ පසුගියදා මෙසේ ප්‍රකාශ කර තිබුණි.

ආයුධ එක්ක අතට අසුවෙන අයත් නිදහස් කරනවා. මේවා ගැන ජනතාව අවදියෙන් ඉන්න බව පාලකයෝ මතක තියා ගන්න ඕනෑ. අභ්‍යන්තර කැරැලි කෝලාහල නතර කරන ක‍්‍රම තියෙනවා. වහා ඒවා කි‍්‍රයාත්මක කර රට සංසුන් කිරීමට පාලකයන් කටයුතු කරන්න ඕනෑ. යුද්ධයෙන් පසු රටට ඉදිරි ගමනක් තිබුණා. අද ඒ සියල්ල නතර වෙලා. විපක්‍ෂය දැන් වැඩ කරන්න ඕනෑ. ඒ අය කෙළින් ඉන්න ඕනෑ. එහෙම නැති වුණොත් මේ රට විනාශ වෙනවා.'
මේ අනුව පැහැදිලි වන්නේ අගරදගුරුතුමන්ට පමණක් නොව බෞද්ධ නායක භික්ෂුන්වහන්සේලාටත් රජයේ ආරක්ෂක වැඩපිළිවෙල ගැන විශ්වාසය ජනිත වී නොමැති බවයි.

ශ්‍යමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන නායක හිමිපාණෝ ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් විපක්ෂනායකවරයාගේත් අවධානය යොමුකරමින් ලිඛිතව දන්වා යැවූ සංදේශයේ මෙසේ සදහන්ව තිබිණි.

'පසුගිය ම්ලේච්ඡ ත‍්‍රස්ත ක‍්‍රියාවට පමණක් ප‍්‍රතිපක්ෂව කටයුතු කිරීම දුරදර්ශි නොවන බව පෙන්වා දෙනු කැමැත්තෙමි. වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වයෙන් ත‍්‍රස්ත ක‍්‍රියා මර්දනය කිරීම සඳහා, ක‍්‍රියා කරන අතරම කවර දේශපාලන පක්ෂයක් බලයට පත්වුවද පටු දේශපාලන අරමුණු සහ මතවාදයන් ගෙන් තොරව ජාතික ආරක්ෂාව දේශයේ සංවර්ධනයත් උදෙසා ක‍්‍රියාත්මක කළ හැකි ජාතික ප‍්‍රතිපත්ති සකස් කරගැනීමට ද මේ අවස්ථාවේදීම සිදු කළ යුතු ව පවති.'

අද ෆ්‍රී වයිෆයි ග හෝ පුංචි කාර් නොව ජනයා මේ රජයෙන් ඉල්ලන්නේ බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය පරිසරය උදා කරදෙන ලෙසයි. යහපාලනය සහ සංහිදියාව වැනි වචන අද ජනයාට තිත්ත වී ඇති අප්‍රසන්න හිස් වචන බවට පත්ව තිබේ.බෝම්බ බියෙන් තැතිගෙන සිටින ජනයාට අද අවශ්‍ය මුලික දෙය වී ඇත්තේ ආරක්ෂිතව ජීවත්වීමට හැකි වාතාවරණයක් උදා කර ගැනීම නොවේ ද ? ආර්ථික ප්‍රගතියක් ඇති කර ගැනීමට නම් යළි රටේ සාමාන්‍ය ජනජීවිතය ඇති කර ගත යුතුව තිබේ. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම, මේ සදහා ඉතාමත්ම අවශ්‍ය දෙයයි.මේ අයට ප්‍රමාද වී හෝ මෙතරම් බලවත් ව්‍යසනයක් සිදු වීමෙන් පසුව හෝ මේ යහපාලන ආණ්ඩුවේ අවසන් කාලයේදී ජාතික ආරක්ෂාව මතක් වීම නම් එක අතකට හොදය.මෙතරම් කලක් ජාතික ආරක්ෂාව නොතැකූ අයම අද ත්‍රස්තවාදයට එරෙහිව හඩනගන මහා වීරයන් බවට පත් වී තිබේ.එහෙත් මේ ත්‍රස්තවාදය මෙතරම් බිහිසුණු ලෙස ගොඩනැගෙන්නට පරිසරය සකස් වුයේද මේ අයගේ ජාතික ආරක්ෂාව නිසි ලෙස නොතැකු පසුගිය ක්‍රියාකලාපය නිසාම නොවේද ?

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Views
145
2019-05-08 16:26:43