ආර්ථිකය යළි පණගැන්වීම...


පසුගිය පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු රටේ බොහෝ ආර්ථික කටයුතු අඩපණ වී ඇත. මින් වැඩිම බලපෑම එල්ල වූයේ සංචාරක ව්‍යාපාරයට විය හැකිය. එහෙත් මේ වාතාවරණය නිසා මේ වන විට ව්‍යාපාරික කටයුතු බොහොමයක් අඩපණ වී ඇත. මෙය රජය වහාම අවධානය යොමු කළ යුතු සහ කඩිනමින් පියවර ගත යුතු තත්ත්වයකි. පෙරේදා (30) කොළඹ ව්‍යාපාරික සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා කියා සිටියේ මේ වන විට ව්‍යාපාර කටයුතු බිඳ වැටීම නිසා තමන්ට කිසිම ආදායමක් නොලැබෙන බවයි. ඒ නිසා තම ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ගෙන ඇති මූල්‍ය පහසුකම් වෙනුවෙන් ගෙවිය යුතු මාසික බැංකු ණය සහ ලීසිං වාරික ගෙවා ගත නොහැකි ඉතා අසරණ තත්ත්වයකට තමන් පත්ව ඇති නිසා රජය මැදිහත් වී මේ සඳහා වහාම සහන සලසන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ. මේ මාධ්‍ය හමුවේදී කොළඹ ව්‍යාපාරිකයින් ප‍්‍රකාශ කළ පරිදි මේ අහිතකර තත්ත්වය එක ලෙසම සෑම ව්‍යාපාරික ක්ෂේත‍්‍රයකටම ඉතා අහිතකර ලෙස බලපා තිබේ. සංචාරක හෝටල් පාලූවට ගොස් ඇත. කටුනායක ගුවන් තොටුපොළ හිස්ව ගොසිණි. ව්‍යාපාර ආයතන විවෘත කොට තිබුණත් හරිහමං වෙළෙඳාමක් නැත. ඒ නිසාම ඔවුන්ට ආදායම් ද නැත. එහෙත් බැංකුවට වෙලාවට බැංකු ණය සහ ලීසිං වාරික ගෙවිය යුතු වෙයි. ඔවුන් ඒවා ගෙවිය යුත්තේ ව්‍යාපාර කටයුතු කර ආදායම් ඉපයීමෙනි. එහෙත් ව්‍යාපාර කටයුතු බිඳ වැටී ඇත්නම් ඔවුන් ඒවා ගෙවන්නේ කෙසේද? ඒ නිසා මේ මොහොතේ විශේෂයෙන් සංචාරක කර්මාන්තකරුවන්ට සහ පොදුවේ රටේ ව්‍යාපාරික ප‍්‍රජාවට මෙන්ම පොදු මහජනයාටත් සහන අවශ්‍ය වේලාවකි. මෙසේ සහන සලසමින් රටේ අකර්මණ්‍ය වී ඇති ආර්ථික කටයුතු යළි පණගැන්වීම සඳහා විශේෂ මෙහෙයුමක් අවශ්‍ය වෙයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන නම් කියා තිබුණේ දිනපතා රැුස්වන ආර්ථික කවුන්සිලයක් අවශ්‍ය බවයි. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා කියන්නේ වහාම සියයට 25 ක පමණ බදු කැපීමක් (බදු ප‍්‍රතිශත අඩු කිරීමක්) අවශ්‍ය බවයි. මේ සඳහා විවිධ අයට නොයෙකුත් යෝජනා තිබිය හැකිය. එහෙත් පොදුවේ අපට කිව හැක්කේ ආර්ථික කටයුතු යළි පණගැන්වීම සඳහා වහාම පියවර නොගතහොත් රටේ පැවති ආර්ථික අර්බුදය තවත් උත්සන්න වී මහජනයාට බලවත් පීඩාවට ඉදිරියේදී මුහුණ දීමට සිදු වනු ඇති බවයි.

වර්තමාන තරුණ පරපුරට එතරම් මතක නැති විය හැකි නමුත් 2009 වසරට පෙර පැවති කොටි ත‍්‍රස්තවාදය අපට හොඳට මතකය. ඒ දිනවලත් රටේ මාර්ගවල නොයෙක් තැන්වල ආරක්ෂක මුර කපොලූ තිබුණි. විටින් විට බෝම්බ පුපුරා මිනිස් ජීවිත සහ දේපොළ විනාශ වුවත් රටේ සාමාන්‍ය ජනජීවිතය සහ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය. ඇතැම් විට එහි බලපෑම සිදු වූයේ තාවකාලිකවය. විදෙස් සංචාරකයන් ද රටට යම් මට්ටමකින් ආවේය. 2009 වසරේ යුද ජයග‍්‍රහණයෙන් පසු රටේ උදා වූ නිදහස් සහ සාමකාමී වාතාවරණය නිසා රටේ ආර්ථික කටයුතුවල වේගවත් ප‍්‍රවර්ධනයක් සිදු විය. කොටි ත‍්‍රස්තවාදය යුද බිමේදී පරාජයට පත්ව රටේ තැන තැන බෝම්බ පිපිරෙන වාතාවරණය අවසන් වුවත් පසුගිය මහින්ද රාජපක්ෂ රජය දිගටම ජාතික ආරක්ෂාව ගැන ඉහළින්ම සලකා පියවර ගනිමින් සිටි බව අපට මතකය. එහෙත් යහපාලනය යටතේ සංහිඳියාව ගැන මහ ඉහළින් කතා කළත් රටේ ජාතික ආරක්ෂාව ගැන හරි අවධානයක් යොමු කර ඇති බවක් පෙනෙන්නට නැත. අඩු තරමේ විදෙස් රටකින් ලැබුණ බුද්ධි තොරතුරක් ගැනවත් වහාම පියවර නොගෙන බිහිසුණු විනාශයක් වීමෙන් පසු දැන් මේ රජයට හදිසියේම ජාතික ආරක්ෂාව ගැන මතක් වී ඇති සැටියකි. ජාතික ආරක්ෂාව තහවුරු නොකර රටේ ආර්ථික ප‍්‍රගතියක් පවා ලබා ගත නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. දැන් පසුගිය පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු සිදුව ඇති අහිතකර ආර්ථික බලපෑම් මේ සත්‍යය හොඳටම පැහැදිලි කර දෙයි. දැන් සිදුව ඇත්තේ කුමක්ද? යළිත් ජනයාට බෝම්බ බියෙන් ජීවත් වීමට සිදුව ඇත. කොටි ත‍්‍රස්තවාදය පැවති සමයටත් වඩා රටේ සෑම තැනකම පාහේ ආරක්ෂක අංශ විසින් කරන පරීක්ෂා කිරීම්ය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජනයා ඒවාට සහාය දිය යුතු බව ඇත්තය. එහෙත් මේ ආගමික අන්තවාදී ත‍්‍රස්තවාදීන්ට සිය ත‍්‍රස්ත කටයුතු පහසුවෙන් කරන්නට රටේ වතාවරණය සැකසී තිබුණා පමණක් නොව මේ මරාගෙන මැරෙන ප‍්‍රහාර ගැන ලැබී තිබූ ඉතා නිවැරදි බුද්ධි තොරතුරු ගැන පවා වහාම ක‍්‍රියාත්මක නොවීම නිසා මේ බිහිසුණු ව්‍යසනය සිදු විය. දැන් දිනපතා පරීක්ෂා කිරීම්වලට භාජනය වෙමින් අපහසුතාවට සහ ඉමහත් පීඩාවට පත් වීමට සිදුව ඇත්තේ ඊට වගකිව යුතු නැති රටේ අතිමහත් බහුතර අහිංසකයින්ටය. මේවාට කිසිම සම්බන්ධයක් නැති පොදු ජනයාටය.

මේ බෝම්බ පිපිරීම් නිසා සෑහෙන කලකට සංචාරක කර්මාන්තයට බලවත් පසුබෑමකට මුහුණ දීමට සිදු විය හැකිය. කතෝලික පල්ලිවලට අමතරව තවුහිද් ජමාත් ත‍්‍රස්තයන්ගේ විශේෂ ඉලක්ක වී තිබුණේ සංචාරක හෝටල්ය. කොටි ත‍්‍රස්තයන් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගෙන, සංචාරක හෝටල් ඉලක්ක කරගෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ බවක් අපට මතක නැත. අපේ රට කෙරෙහි ආදරයෙන් මෙරට පැමිණි විදේශිකයන් ඉලක්ක කරගෙන මෙලෙස බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමෙන් විදෙස් සංචාරකයන් මෙරටට එන්නට බිය වෙයි. බෝම්බ ප‍්‍රහාරවලින් පසු (හිටපු) ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු කීවේ සංචාරක හෝටල්වලට ආරක්ෂාව නොදෙන බවයි. රටේ සියලූම සංචාරක හෝටල්වලට රජයේ පොලිස් හෝ හමුදා ආරක්ෂාව ලබා දීම අපහසු වන්නට පුළුවන. එහෙත් මෙවැනි ව්‍යසනයක් වී ඇති මොහොතක රටේ ආරක්ෂක ලේකම්වරයා මෙහෙම කියනවාද? ඔහු විදෙස් මාධ්‍යවේදියෙකුට දුන් ගොන් තකතීරු පිළිතුරු රටම දුටුවේය. එය මෙරට ඒ වන විටත් රැුඳී සිටි විදෙස් සංචාරකයන්ද දකින්නට ඇත. එය අසන විට ඔවුන්ට තවදුරටත් මේ රටේ රැුඳී සිටින්නට පුළුවන්ද? එය අසන කිසිම විදෙස් සංචාරකයකුට මෙරටට පැමිණිය හැකිද? සංචාරක සභාපති කිෂූ ගෝමස් මහතා නම් වහාම මැදිහත් වී විදෙස් සංචාරකයන් වෙනුවෙන් සංචාරක මණ්ඩලය පැත්තෙන් කළ හැකි හැම දෙයක්ම කිරීමට උත්සාහ ගත් බව අප දුටු දෙයකි. එය අප අගය කරමු. සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග ද ඒ වෙනුවෙන් වෙහෙස විය. බෝම්බ පිපිරීම නිසා විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවේය. එය දැන් සිදුව හමාරය. එසේ මිය ගිය සහ තුවාල ලද විදෙස් සංචාරකයන් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කළ යුතුය. ඔවුන් අප රටට පැමිණි අමුත්තන්ය. මෙය අනපේක්ෂිත සිදු වීමකි. අඩු තරමේ විපතට පත් ඒ අමුත්තන් වෙනුවෙන් අපට කළ හැකි හැම සත්කාරයක්ම කළහොත් එය ඔවුන් තම රටට ගිය විට ඒ බව අනිත් අයටත් කියනු ඇත. කෙසේ මේ බෝම්බ පිපිරීම් මාලාව හේතුවෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරුන් පස් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති පුවත ඊයේ (01) මාධ්‍ය වාර්තා කර තිබුණි. එය හොඳ දෙයකි. එහෙත් මේ ලියුම්කරු නම් සිතන්නේ එය ප‍්‍රමාණවත් නැති බවයි. මේ මොහොතේ අවශ්‍ය කරන්නේ සංචාරක අංශය ද ඇතුළත්ව රටේ අකර්මණ්‍යව ඇති සමස්ත ආර්ථික කටයුතු යළි පණගැන්වීම සඳහා වන වඩාත් පුළුල් මෙහෙයුමකි. එවැන්නක් තවමත් පෙනෙන්නට නැත. මුලින් කී සංචාරක කමිටුව සඳහා සංචාරක සංවර්ධන, වනජීවි හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට පෙරේදා (30) රැුස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණි. පාස්කු ඉරු දින සිදු වූ මේ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් සංචාරක කර්මාන්තය මුහුණ දී ඇති තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති වගකීම වී තිබේ. එහෙත් රටට අවශ්‍ය වී ඇත්තෙත් ව්‍යාපාරික ප‍්‍රජාව අපේක්ෂා කරන්නෙත් ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ සමස්ත ආර්ථික කටයුතු යළි පණගැන්වීමේ මෙහෙයුමක් බව අපි රජයට සිහිපත් කරමු.

පසුගියදා නිකුත් වූ මහ බැංකු වාර්තාවෙන් කියා තිබුණේ රට මන්දගාමී වර්ධන මාවතකට පත්ව ඇති බවයි. ආර්ථික ප‍්‍රතිසංස්කරණ නිසි පරිදි සිදු නොකිරීම මෙයට හේතුව බව ද එහි සඳහන් කර තිබුණි. මෙවර මහ බැංකු වාර්තාවට අනුව ගිය වසරේ (2018) ශ‍්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සියයට 3.2 දක්වා තවදුරටත් අඩු වී තිබේ. එහි සඳහන් වන්නේ මේ වසරේ (2019) සියයට 4 කින් ශ‍්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වනු ඇති බවයි. මේ වසර මුලදී මහ බැංකුව කියා සිටියේද එම අගයමය. මෙවර මහ බැංකු වාර්තාව නිකුත් වූයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් දින කිහිපයකට පසුවය. එහෙත් එහි සිය ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 4 ක අගය මහ බැංකුව වෙනස් කර නැත. එම ප‍්‍රහාරය වන විටත් මහ බැංකු වාර්තාව මුද්‍රණයට භාර දී තිබුණා දැයි අප දන්නේ නැත. කෙසේ හෝ ඉකුත් අපේ‍්‍රල් 21 සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාර හමුවේ රටේ ආර්ථික ක‍්‍රියාකාරීත්වය තවදුරටත් අඩපණ වෙමින් තිබේ. ඒ අනුව මහ බැංකුව කියන ආර්ථික අපේක්ෂා ඒ ආකාරයෙන්ම ජය ගත හැකි වනු ඇතිද යන්න සැකසහිතය. මේ නිසා මේ ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් මේ වසරේ රටේ ආර්ථික ක‍්‍රියාකාරීත්වයට කවර බලපෑමක් වේ දැයි මහ බැංකුව යම් තක්සේරුවක් කරනු ඇතැයි අපට සිතිය හැකිය. මහ බැංකුව ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගැන නිතරම කියයි. එහෙත් මහ බැංකුව මේ කියන සියලූ ආර්ථික ප‍්‍රතිසංස්කරණවලටත් වඩා වැදගත් වන්නේ රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම බව අප කාට කාටත් සිහිපත් කිරීමට සිදු වේ. එය නැත්නම් කවර ආර්ථික ප‍්‍රතිසංස්කරණ සිදු කළත් වැඩක් තිබේද? මේ නිසා රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමෙන් තොරව ආර්ථික ප‍්‍රගතියක් ඇති කර ගැනීමත් සිහිනයක් බව ඉතා පැහැදිලි කරුණකි. මේ සිදු වීමේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ක‍්‍රියා කළ ආකාරය සැමගේ ප‍්‍රශංසාවට ලක් විය. එසේම එතුමන් කළ ප‍්‍රකාශ ඉතාමත්ම අගය කළ යුතු වේ. උන්වහන්සේ කීවේ පලිගන්න කියා නොව සන්සුන්ව දුක දරා ගන්නා ලෙසයි. එහෙත් රජයේ ක‍්‍රියාකලාපය ගැන නම් එතුමන් සෑහීමට පත්ව නැත. ඒ ගැන එතුමන් බලවත් විවේචනයක් කර තිබුණි. රජය මේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පියවර ගන්නේ නැත්නම් රටේ මහජනයා වෙනුවෙන් අගරදගුරුතුමන් කර ඇති විවේචනය ඉතාම සාධාරණය.

පාස්කු ඉරිදා සංහාරය මෙහෙය වූ අපරාධ කල්ලියට සහාය දෙන මැති ඇමැතිවරුන් කවුරුන් හෝ සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි කියා සිටි අගරදගුරුතුමන් මේ සිද්ධිය සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි කි‍්‍රයාමාර්ග ආණ්ඩුව නොගන්නේ නම් ජනතාව සමග පාරට බැසීමට සිදුවන බව ද උන්වහන්සේ සඳහන් කළහ. කොළඹ අගරදගුරු මැඳුරේ පසුගිය අපේ‍්‍රල් 29 දා පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශ කළ කාදිනල්තුමා මෙම අපරාධකරුවන් පිටුපස සිටි ඇතැම් පිරිස් රටින් පැනගොස් ඇති බවට සැකයක් පවතින බව ද කියා තිබුණි. රටේ උද්ගත වී තිබෙන තත්ත්වය අනුව තමාගේ ආරක්ෂාව සඳහා ආණ්ඩුවෙන් තමාට ලබා දුන් වෙඩි නොවදින රථය ආපසු හරවා යැවීමට ද කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ක‍්‍රියා කළේය. පෙරේදා (30 වැනිදා) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී උන්වහන්සේ මෙසේ කියා තිබුණි. ‘මට මගේ සාමාන්‍ය වාහනය ප‍්‍රමාණවත්. මගේ ආරක්ෂාවට වඩා ජනතාවට ආරක්ෂාව සපයන ලෙස ආණ්ඩුවෙන් මා ඉල්ලා සිටිනවා’. රටේ හටගත් විපත අනුව ආණ්ඩුවට පිටරටින් ඩොලර් ලැබීම පිළිබඳව අමාත්‍යවරයකු කළ ප‍්‍රකාශය ගැන මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් කාදිනල්තුමා ඒ මොන හිඟන වැඩක් දැයි කියා තිබුණි. මේ සියලූ දේ නිසා ආගම් භේදයකින් තොරව අගරදගුරුතුමන්ට සියලූ ජනයාගේ ගෞරවය පළ වෙමින් තිබේ. අපත් කියන්නේ පාස්කු ඉරිදා සංහාරය මෙහෙය වූ අපරාධ කල්ලියට සහාය දෙන මැති ඇමැතිවරුන් කවුරුන් හෝ සිටින්නේ නම් වහාම ඔවුන් ගැනද නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවයි. එසේ නැතුව සාමාන්‍ය මහජනයාගේ ඇඟපත අත ගා හෝ ඔවුන්ගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමන් පමණක් මේ බිහිසුණු ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට අපහසුය.

ඒ නිසා මේවාට වගකිවයුත්තන්ට සහ ඊට වගකිවයුතු රටේ අන්තවාදී සංවිධානවලට නීතිය ද ක‍්‍රියාත්මක කර මෙවැනි සිදුවීම් නැවත නොවන ලෙස අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍යම කාරණාවයි. එය ඇමැති මණ්ඩලයෙන්ම පටන් ගන්නවා නම් ඉතාම හොඳය. මේ ත‍්‍රස්තයන්ගේ දේශපාලන සම්බන්ධතා සහ එම ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට ලැබී ඇති දේශපාලන සහායන් තිබේ ද යන්න ගැන ද විශේෂයෙන් විමර්ශනය කළ යුතුමය. එසේ නොකළහොත් මෙවැනි සිදුවීම් ඉදිරියේදීත් සිදු වීමට ඉඩ තිබේ. ඒ නිසා බුද්ධි අංශ ශක්තිමත් කර මෙවැනි ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අය සම්බන්ධයෙන් තරාතිරම නොබලා නිසි විමර්ශන කළ යුතු වේ. එසේ නොකර ආරක්ෂක නිලධාරීන් ලවා සාමාන්‍ය ජනයාගේ ඇඟපත අතපත ගා ගමන් මලූ පරීක්ෂා කිරීමෙන් පමණක් මේ බිහිසුණු ත‍්‍රස්තවාදය ජයගත නොහැකි බවත් ඒ තුළ ආර්ථික කටයුතු යළි පණගැන්වීම සඳහා අවැසි විශ්වාසය යළි ගොඩනැගීමට ද අහිතකර බලපෑමක් උදා වනු ඇති බවත් කිව යුතුය. මුලින් සිතුවාටත් වඩා දරුණු ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවක් බවත් ඇතැම් මරාගෙන මැරෙන පිපිරුම් උත්සාහයන් ඒ ආකාරයෙන්ම සාර්ථක වූවා නම් මරණ ගණන තවත් වැඩි වන්නට තිබූ බවත් දැන් පැහැදිලිය. කොටි ත‍්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර විටින් විට එල්ල කළත් කිසිවිටෙකත් එකවර මරාගෙන මැරෙන මෙවන් බිහිසුණු බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කරන්නට ඔවුන් කිසිවිටෙකත් සමත් වූයේ නැත. ත‍්‍රස්තවාදයට ආගමක් නැති වුවත් ආගමික භක්තියකින් හෝ ආගමික අන්තවාදයකින් මෙවන් දේවල් කරන්නේ නම් එය ඉතා බරපතල කරුණකි.

මේ කිසිවක් සැහැල්ලූවෙන් ගත හැකි නොවේ.



*********************************************************************************************

බිඳ වැටී ඇති ව්‍යාපාර කටයුතු පණ ගන්වන්න රජය මැදිහත් විය යුතුයි

- කොළඹ ව්‍යාපාරික සංගමයේ ප‍්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ

eco පසුගිය ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලින් පසු ලංකාවේ ප‍්‍රධාන නගරය වන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාර කරන ව්‍යාපාරිකයා මෙන්ම ඒ හා බැඳුණු දිවයිනේ සියලූම නගරවල ව්‍යාපාරිකයන් මේ වන විට ඉතා දුක්ඛිත සහ අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දී සිටිනවා. මෙම ඛේදනීය තත්ත්වය හමුවේ මුහුණ පා ඇති ගැටලූ මෙන්ම, ඒවාට අවශ්‍ය කරන විසඳුම් යෝජනාවලියක් අපි රජයට ඉදිරිපත් කළා. මෙම යෝජනාවලින් යම් ප‍්‍රමාණයක් ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීම මගින් ක‍්‍රියාත්මක කරවමින් ඉතා කෙටි කාලයක් තුළ පවතින තත්ත්වය සමනය කර ගැනීමට යාන්ත‍්‍රණයක් සැකසීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා. සිදු වූ ඛේදවාචකය මගින් ශ‍්‍රී ලාංකික ආර්ථික, සමාජීය, දේශපාලනික දේහයන් මත ඇති කරන්නා වූ සෘජු සහ වක‍්‍ර බලපෑම් බොහෝමයි. ප‍්‍රතිපත්තිමය කැපවීමක් සහ සියුම් ක‍්‍රමවේදයන් මඟින් ඇති වන්නට ඉඩ තිබෙන සහ දැනට ඇතිව තිබෙන්නා වූ සෘණාත්මක බලපෑම් සමනය කළ හැකි වනු ඇති බව සිතනවා. සිදු වූ ඛේදවාචකය නිසා මේවන විට කොළඹ නගරය සහ ඉන් ඔබ්බට විහිදෙන ආර්ථික ජාලය හසුරවන්නාවූ ව්‍යාපාරිකයන් සහ මධ්‍යම හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වගේම ඒ හා බැඳුණු ගොවියා, කම්කරුවා යන අනෙකුත් සියලූම ජනතාව පීඩනයකට සහ ආර්ථික පසුබෑමකට ලක්ව තිබෙනවා. දැනට උද්ගතව ඇති තත්ත්වය හමුවේ මුහුණ දී ඇති ආර්ථික ගැටලූ සඳහා රාජ්‍ය යාන්ත‍්‍රණයේ මෙන්ම මහ බැංකුව මගින් අනෙකුත් බැංකු සහ මූල්‍ය සමාගම්වලට නියෝග ලබා දී අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් මෙන්ම ගෙවීමට ඇති ණය සඳහා වසරක අතිරේක කාලයක් ලබා දෙන ලෙස යෝජනා කරනවා.
- කොළඹ ව්‍යාපාරික සංගමය විසින් පෙරේදා (30) කොළඹදී පැවත්වූ මාධ්‍ය හමුවේදී...


ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

දිවයින - 2019 මැයි 02
Views
51
2019-05-02 10:57:29
ජනප්‍රිය පුවත්