අපට බිස්නස් නෑ ණය වාරික සහ ලීසිං වාරික ගෙවීමට සහන සලසන්න - කොළඹ ව්‍යාපාරිකයෝ රජයෙන් ඉල්ලති


පසුගිය ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසු ලංකාවේ ප‍්‍රධාන නගරය වන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාර කරන ව්‍යාපාරිකයා මෙන්ම ඒ හා බැඳුණු දිවයිනේ සියලූම නගර වල ව්‍යාපාරිකයන් මේ වන විට ඉතා දුක්ඛිත සහ අවිනිශ්චිත තත්වයකට මුහුණ දී සිටින බව කොළඹ ව්‍යාපාරික සංගමයේ ප‍්‍රධාන ලේකම්. චමින්ද විදානගමගේ මහතා ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

මෙම ඛේදනීය තත්වය හමුවේ මුහුණ පා ඇති ගැටළු මෙන්ම, ඒවාට අවශ්‍ය කරන විසදුම් යෝජනාවලියක් අපි රජයට ඉදිරිපත් කළා. මෙම යෝජනා වලින් යම් ප‍්‍රමාණයක් ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීම මගින් ක‍්‍රියාත්මක කරවමින් ඉතා කෙටිකාලයක් තුළ පවතින තත්වය සමනය කර ගැනීමට යාන්ත‍්‍රනයක් සැකසීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා කීවේය.

සිදු වූ ඛේදවාචකය මගින් ශ‍්‍රී ලාංකික ආර්ථික, සමාජීය, දේශපාලනික දේහයන් මත ඇති කරන්නා වූ සෘජු සහ වක‍්‍ර බලපෑම්, ප‍්‍රථිපත්තිමය කැපවීමක් සහ සියුම් ක‍්‍රමවේදයන් මඟින් ඇති වන්නට ඉඩ තිබෙන සහ දැනට ඇතිව තිබෙන්නා වූ ඍනාත්මක බලපෑම් තවමත් සමනය කල හැකි වනු ඇති බවද ඔහු කීවේය.

රජයේ පවතින්නා වූ සියලූම ක‍්‍රියාවලියන් නිසිලෙස සංසරණය කිරීමේ පද්ධතිය ආර්ථිකය ලෙස හැඳින්වීමට ව්‍යාපාරික ප‍්‍රජාව ලෙස අප කැමැත්තෙමු. සිදු වූ ඛේදවාචකය නිසා මේවන විට කොළඹ නගරය සහ ඉන් ඔබ්බට විහිදෙන ආර්ථික ජාලය හසුරවන්නාවූ ව්‍යාපාරිකයන් සහ මධ්‍යම හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වගේම ඒ හා බැදුනු ගොවියා, කම්කරුවා යන අනෙකුත් සියලූම ජනතාව පීඩනයකට සහ ආර්ථික පසුබෑමකට ලක්ව තිබෙනවා.

ආර්ථික වශයෙන් එල්ල වී ඇති බලපෑම සඳහා අප රජයට යෝජනා ඉදිරිපත් කළා.

රටේ ආර්ථිකය හසුරවන ප‍්‍රධානම සාධකය ව්‍යාපාරිකයා වන බැවින් ඔවුන්ව රැුක ගැනීමට සහ ආරක්‍ෂා කිරීම රජයේ වගකීමක්. දැනට උද්ගතව ඇති තත්වය හමුවේ මුහුණ දී ඇති ආර්ථික ගැටළු සඳහා රාජ්‍ය යාන්ත‍්‍රනයේ මෙන්ම මහ බැංකුව මගින් අනෙකුත් බැංකු සහ මූල්‍ය සමාගම් වලට නියෝග ලබා දී අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් මෙන්ම ගෙවීමට ඇති ණය සඳහා වසරක අතිරේක කාලයක් ලබා දෙන ලෙස යෝජනා කරනවා.
එසේම රට තුළ උද්ගතව ඇති තත්වය හමුවේ ජාතීන් අතර විශ්වාසය පළුදු වී ඇති බැවින් ඔවුනොවුන් අතර විශ්වාසය ඇති කිරීමට ආගමික, සංස්කෘතික වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම, ආනයන සහ අපනයන කරුවන් ආරක්‍ෂා කිරීම, දිරිගැන්වීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය ණය පහසුකම්සේම රජයේ බදුගෙවීම සඳහා ද වසරක අතිරේක කාලයක් ලබා දීම,මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා අනුමැතිය ලබා ගන්නා සියලූ ආයතන වලින් සමන්විත මණ්ඩලයක් පත් කර ආයෝජනය කරන ආයෝජකයන්ට අවශ්‍ය කරන පහසුකම් සේම ආරක්‍ෂාව සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට අවස්ථාව සලසා දීම, සිංහල දෙමළ මුස්ලිම් ජනකොටස් ජීවත් වන රටේ සියළුම ග‍්‍රාමසේවා වසම්වල ආරක්‍ෂක කවුන්සල් පත් කර පවතින්නා වූ මෙම තත්වය ඉතා ඉක්මනින් මෙරටින් තුරන් කර රටතුළ ආරක්‍ෂාව ස්ථාපිත කර විදේශ අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය මඟින් අනෙකුත් රටවල් දැනුවත් කරමින් සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය කරන ආරක්‍ෂාව රටතුළ ඇති බව සනාථ කරමින් ඉතා ඉක්මනින් සංචාරක කර්මාන්තය යලි රටතුළ ගොඩනැංවීම සහ උද්ගතවී ඇති තත්වය හේතුවෙන් ගොවියන් විසින් ලබා ගෙන ඇති ණය මුදල් කපා හැරීම වැනි යෝජනා ද අප රජයට ඉදිරිපත් කළා.


මේ තත්වය නිසා සමාජීය සහ සංස්කෘතිකමය වශයෙන් ද ගැටළුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. කොළඹ ව්‍යාපාරික සංගමය පූර්ණකාලීනව අනුබද්ධිතව සිටින්නේ බහුවාර්ගික, බහුආගමික වෙළඳ ප‍්‍රජාවක සංයුක්ත නියෝජනය ලෙසයි. මේ වන විට සිදුවන අයහපත් සිද්ධි සමඟ වෙළඳ ප‍්‍රජාව තුළ සහ ඉන් ඔබ්බෙහි ගනුදෙනු කරන්නා වූ පාරිභෝගික, සිල්ලර, තොග වෙළඳ, ආනයන අපනයන ජාලය සමඟ පැවති මිත‍්‍රශීලි සුහදත්වය පළුදු වීමකට සහ බිඳවැටීමකට ලක්ව තිබෙනවා . ඒ නිසා ඇති වන්නා වූ අවාසනාවන්ත බලපෑම් නිසා වෙළඳ ව්‍යාපාරයන් ආතතියකින් තොරව චිරස්ථායීව දෛනික කටයුතු සිදු කර ගැනීමේ පරිසරය විශාල සෝදා පාළුවකට ලක් වෙලා . ඉතා ඉක්මනින් මෙම සුහඳතාවය සහ අන්තර්සබඳතා මෙන්ම අන්‍යෝනය විශ්වාසය ගොඩනැංවීමට අපොහොසත් වුවහොත් මෙය බරපතල ආර්ථික ඛේදවාචකයක් බවට ප‍්‍රසාරණය වීමට ඉඩක් තිබෙනවා.මෙයින් ජාතික තලයේ ප‍්‍රධාන ආර්ථික දේහය බිඳවැටීමේ අනතුරක් ලෙස මතුව ඇති බවද ඔහු කීවේය.

මෙම මාධ්‍ය හමුව ඊයේ (30) කොළඹ 03 ඇක්රොපොල් රෙස්ටුරන්ට්හි දී පැවැත්විණි.
Views
104
2019-05-01 07:17:06
ජනප්‍රිය පුවත්