සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කින් පමණ අඩුවිය හැකියි - සංචාරක කර්මාන්තකරුවෝ පවසති.

පසුගියදා දිවයිනේ ස්ථාන කිහිපයකටම එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර නිසා මෙම වසරේ (2019) පුරෝකථනය කරන ලද සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කින් පමණ අඩුවිය හැකි බව සංචාරක කර්මාන්තකරුවෝ පවසති.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා මාධ්‍යට පවසා ඇත්තේ මෙය ත්‍රස්තවාදීන් විසින් මෙරට හෝටල්වල සිටින සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදුකළ පළමු අවස්ථාව බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් 2019 වසර තුළ ඇස්තමේන්තු කරන ලද සංචාරක ආදායම ඩොලර් බිලියන 1.5 කින් පමණ දැවැන්ත ලෙස පහළ යා හැකි බවට ඇස්තමේන්තු කරන බව ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් ගලා එන තෙවැනි ස්ථානයට විශාලතම මූලාශ්‍රය වන්නේ සංචාරක කර්මාන්තයයි. 2018 වසරේ දී සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම ඩොලර් බිලියන 4.4 ක් වන අතර එය 2017 වසරට වඩා 11.6% ක ඉහළ යාමක් ලෙසින් සටහන් වේ.

2019 දී ශ්‍රී ලංකාව ලොව අංක එකේ සංචාරක ගමනාන්තයක් ලෙසින් Lonely Planet විසින් නම් කරනු ලැබූ අතර මෙම වසරේ දී මිලියන 3 ක සංචාරකයින් ප්‍රමාණයක් හා ඩොලර් බිලියන 5 ක සංචාරක ආදායමක් වසර ආරම්භයේ දී ඇස්තමේන්තු කරන ලදී.

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට අනුව දිවයිනේ සියලූම සංචාරක හෝටල්වල 135,000 සිට 150,000 ක් දක්වා පිරිසක් සෘජුව සේවය කරනු ලබන බව වාර්තා වේ.

“මේ ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ හෝටල්කරුවන්ට මූල්‍යමය සහන ලබා දීමට පියවර ගන්නා ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා. අපට අප සේවකයින්ගේ ජීවිකාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට එය මහත් රුකුලක් වනු ඇත“යි යනුවෙන් උක්වත්ත මහතා වැඩිදුරටත් කියයි.

Views
47
2019-04-27 23:45:24
ජනප්‍රිය පුවත්