ත්‍රස්ත ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය


මහ බැංකුවේ 2018 වර්ෂය සදහා වන වාර්ෂික වාර්තාව ඉකුත් බ්‍රහස්පතින්දා නිකුත් විය.ඒ අනුව 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 69 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත එදින පිළිගන්වන ලදී.වෙනදා නම් ඉන් පසු කරන්නේ මාධ්‍ය හමුවක් පවත්වා එම වාර්තාවේ පිටපත් මාධ්‍යවේදීන්ට ලබා දීමයි.මහජනයා වෙනුවෙන් මේ තොරතුරු සමාජගත කරන්නේ මාධ්‍යවේදීන්ය.ඒ නිසා ඇත්තවශයෙන්ම මේ වාර්තාව මාධ්‍යවේදීන්ට ලබාදීමේ අර්ථය නම් මහ බැංකු වාර්තාවේ තොරතුරු සමාජගත කිරීමයි.පොදු මහජනතාව අතට පත් කිරීමයි.මෙවර එවැන්නක් සිදු නොවූ අතර මුදල් ඇමති මංගල සමරවීර මාහතාට එය පිළිගැන්වීමෙන් පසු මහ බැංකුව කළේ එසේ මහ බැංකු වාර්තාව මුදල් ඇමතිවරයාට පිළිගන්වන පින්තුරයක් සමග පිටු කිහිපයකින් එහි සාරාංශයක් මාධ්‍යවේදීන් වෙත ඊමේල් කිරීමයි.ගිය වසරේ නම් අප්‍රේල් 26 වෙනිදා මහ බැංකුව සිය වාර්තාව මාධ්‍ය හමුවක්ද පවත්වා මධ්‍යවේදීන් වෙත ලබා දීම සිදු විය.මේ වසරේ එය නොකළේ පසුගිය 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාර නිසා ආරක්ෂක පියවරක් ලෙස දැයි පැහැදිලි නැත.කෙසේ වෙතත් නව මහ බැංකු වාර්තාව මේ වන විට මහ බැංකු වෙබ් අඩවියට ඇතුළත් කර තිබේ.එමගින් රටේ ජනතාවගෙන් ගමේ ගොඩේ ජේමිස් අයියලාට කෙසේ වෙතත් අන්තර්ජාල පහසුකම් තිබෙන අවශ්‍ය අයට එය පරිශීලනය කිරීමට පුළුවන් කමක් නැතුවා නොවේ.මෙවර මහ බැංකු වාර්තාවට අනුව ගිය වසරේ (2018) ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සියයට 3.2 දක්වා තවදුරටත් අඩු වී තිබේ.ඉකුත් අප්‍රේල් 21 සිදු වූ ත්‍රස්ත ප්‍රහාර හමුවේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය තවදුරටත් අඩපණ වෙමින් තිබේ.ඒ අනුව මහා බැංකුව කියන ආර්ථික අපේක්ෂා ජය ගත හැකි වනු ඇතිද යන ප්‍රශ්නය බරපතල ලෙස මතු වේ.මේ පසුබිම තුළ මහා බැංකු වාර්තාවෙන් කියන 2018 වසරේ ආර්ථික ක්‍රියාකාරීත්වය සහ ත්‍රස්ත ප්‍රහාරවල ආර්ථික බලපෑම් ගැනද අපි මේ ලිපියෙන් අවධානය යොමු කරමු.

මාධ්‍ය වෙත ඒවා ඇති මහ බැංකු වාර්තාවෙන් පිළිබිඹු වන 2018 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ සාරාංශයේ ආරම්භයේම මෙසේ සදහන්ය.

'2018 වසරේදී පහළ උද්ධමනකාරී වාතාවරණයක් මධ්‍යයේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය සහ දේශීය බාධාවන්ට ලක්වීමේ අවදානම් සහගත බව වැඩි වශයෙන් පිළිබිඹු කළේය. 2018 වසරේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) වර්ධනය පසුගිය වසරේ වාර්තා කළ සියයට 3.4 ට සාපේක්ෂව සියයට 3.2 ක අගයක් වාර්තා කරන ලදී. සේවා අංශයේ ක්‍රියාකාරකම්වල සිදු වූ සියයට 4.7 ක වර්ධනය සහ කෘෂිකාර්මික කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් එම අංශයේ වාර්තා කළ සියයට 4.8 ක වර්ධනය මේ සඳහා වැඩි දායකත්වයක් සපයන ලදී. ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් කටයුතුවල පසුබෑම හේතුකොටගෙන වසර තුළදී කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 0.9 ක් දක්වා සැලකිය යුතු ලෙස මන්දගාමී විය. ද.දේ.නි. ගණනය කිරීමේ වියදම් ප්‍රවේශය අනුව, පරිභෝජන වියදම් සහ ආයෝජන වියදම් යන දෙඅංශයම 2018 වර්ෂයේ ආර්ථික වර්ධනය සඳහා දායක විය. ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ආයෝජන පෙර වසරේ වාර්තා කළ සියයට 28.8 ට සාපේක්ෂව සියයට 28.6 ක් ලෙස පැවතුණු අතර ඉතුරුම් - ආයෝජන පරතරය වසර තුළදී තවදුරටත් පුළුල් වූයේ එහි හිඟය සපුරා ගැනීම සඳහා විදේශීය සම්පත් මත වූ රැඳියාව ඉහළ යෑම පිළිබිඹු කරමිනි. 2018 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය එ.ජ. ඩොලර් බිලියන 88.9 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඒක පුද්ගල ද.දේ.නි. එ.ජ. ඩොලර් 4,102 ක් ලෙස පෙර වසරට වඩා මදක් පහළ අගයක් වාර්තා කළේය. ආර්ථික කටයුතුවල මධ්‍යස්ථ වර්ධනය හමුවේ, සේවා වියුක්ති අනුපාතිකයේ සුළු ඉහළ යෑමක් හා ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතයේ පහළ යෑමක් වසර තුළදී නිරීක්ෂණය විය.'

මහ බැංකුව කියන මේ කරුණු සරලව අප තවදුරටත් පැහැදිලි කර ගැනීම වැදගත්ය.මේ සදහන අනුව පැහැදිලි වන්නේ ආර්ථික වර්ධනය 2017 වසරේදී පැවති සියයට 3.4 සිට සියයට 3.2 දක්වා පහත වැටී ඇත.එහි අදහස නම් ආර්ථික වර්ධනයක් තිබුණත් එය පෙර වසරට වඩා අඩු වී ඇති බවයි.මේ ආර්ථික වර්ධනය මන්දගාමී වීම අසුගිය වසර කිහිපයේදී දිගින් දිගටම සිදු වූ බවද අපට මතකය.මුළු ආර්ථික වර්ධනය නියෝජනය කරන කෘෂිකාර්මික අංශය සියයට 4.8 කින් සහ සේවා අංශය සියයට 4.8 කින් වර්ධනය වෙද්දී ගිය වසරේ කර්මාන්ත අංශය වාර්තා කර ඇත්තේ සියයට 0.9 ක ඉතා අඩු වර්ධනයක් පමණි.ඉදිකිරීම් කටයුතු වල පසුබෑම මේ සදහා ප්‍රධාන බලපෑමක් වී ඇත.පෙර වසරට සාපේක්ෂව ආයෝජනද සුළු වශයෙන් අඩු වී ඉතුරුම් - ආයෝජන පරතරය වසර තුළදී තවත් වැඩි වීමද සිදුව ඇත.එසේම සේවා වියුක්තිය ඉහළ ගොස් රටේ ශ්‍රම බලකායේ සහභාගිත්වයද පහළ ගොස් තිබේ.මේ කරුණු අනුව ආර්ථිකය 2018 වසරේදී තවත් නරක අතට හැරී ඇති බව පෙනෙන අතර වත්මන් ත්‍රස්ත ප්‍රහාරවල ආර්ථික බලපෑම් සමග මේ වසරේ (2019) ආර්ථික ක්‍රියාකාරීත්වයටද අහිතකර බලපෑම් ඇතිවීම වැළක්විය නොහැකිය.මේ අනුව සිදු වනු ඇත්තේ අපේක්ෂිත ආර්ථික වර්ධනය තවත් අඩු වීමයි. ගිය වසරේ මහාබැංකු වාර්තාව එළිදක්වමින් මහා බැංකු අධිපතිවරයා කීවේ අපේ විභව ආර්ථික වර්ධනය සියයට 5.75 ක් පමණ වන බවයි.එනම් අපට ලබා ගත හැකිව තිබෙන ආර්ථික වර්ධනයයි.ඒ අනුව අපේ ආර්ථික වර්ධනයේ සත්‍ය අගය සහ ලබා ගත හැකිව තිබෙන අගය අතර සැලකිය යුතු පරතරයක් තිබේ.එහෙත් නිසි දැක්මක් හෝ වැඩපිළිවෙලක් නැති රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා මේ නිමවුම් පරතරය පියවීම කෙසේ වෙතත් ඒ ගැන සිතීම පවා අපහසු මට්ටමට පත්ව තිබේ.
2017 වසරේ මහ බැංකු වාර්තාව එළිදක්වන අවස්ථාවේ අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා
කියා සිටියේ උද්ධමනය මේ මට්‌ටමේ පවත්වාගෙන යන ගමන් ආර්ථික වර්ධනයේ යම්කිසි ඉහළ මට්‌ටමක්‌ ඉදිරියේදී ඇති වෙයි කියා අපේක්‍ෂා කරන බවයි.එහෙත් ඒ කිසිවක් යතාර්ථයක් වී නැත.සිදුව ඇත්තේ ආර්ථික වර්ධනය තවත් පල්ලම් බැසීමයි.

මේ යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාවද එතරම් ගණන් නොගෙන කටයුතු කිරීමේ අදුරු ප්‍රතිපල ඉකුත් අප්‍රේල් 21 වෙනිදා මේ රටේ අහිංසක ජනයාට විදින්නට සිදු විය.මේ සමග සංචාරක ව්‍යාපාරයට ඇතිව තිබෙන මාරු පහර තවත් කලකට මැකිය නොහැක්කකි.එසේම 2019 වසරේ කොටි ත්‍රස්තවාදය තිබු සමයටත් වඩා නොයෙකුත් පරීක්ෂා කිරීම් සිදු කිරීමට මෙරට ආරක්ෂක අංශ යොමුව ඇති සැටියකි.ත්‍රස්තවාදීන්ට සිය අරමුණු පහසුවෙන් සිදු කර ගැනීමට අවශ්‍ය වාතාවරණය උදා කර දී එම බිහිසුණු හානිය සිදු වීමෙන් පසු දැන් සාමාන්‍ය ජනයාගේ ඇගපත අතගාමින් බෑග් පරීක්ෂා කරමින් එම ජනයා විශාල වශයෙන් පරීක්ෂා කිරීම්වලට ලක් කරමින් ඔවුන් අයිසිස් සාමාජිකයන් වශයෙන් සලකා ක්‍රියා කරන අකාරයක් අද අපට මහමගදී සහ නොයෙකුත් ආයතන වලට ගමන් කිරීමේදී නිරීක්ෂණය කළ හැකිය.ඒ නිසා මේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ නැති අහිංසක නිරායුධ සාමාන්‍ය ජනයාට අද විශාල පීඩාවන්ට මුහුණ දීමට සිදු වුවත් තවමත් මේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට හෙළිව ඇති තවුහීද් ජමාත් සංවිධානය තහනම් කිරීමට රජය පියවර ගෙන නැත. සාමාන්‍ය ජනයා මේවා කතා බහ කරන්නේ ඉතා අප්‍රසාදයෙනි.'තවුහීද් ජමාත් තහනම් නෑ හැබැයි ෆේස් බුක් නම් තහනම්' මේ තරුණයන් පිරිසක් කියා සිටි කතාවකි.මේ සියල්ලම ඇත්තය.මේ අය කියන විවේචන ඉතා සාධාරණය.විශේෂයෙන් අප රටේ බුද්ධි අංශ දියකර හැර බකන්නිලාගෙන සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා යළිත් අප රටට අති බිහිසුණු ත්‍රස්තවාදයකට මුහුණ දීමට සිදුව තිබේ.මේ නිසා සාමාන්‍ය ජනයාගේ ආකල්පය වී ඇත්තේ මෙතෙක් කලක් ජාතික ආරක්ෂාව ගැන නොතකමින් සිට බිහිසුණු විනාශයක් වීමෙන් පසු මේ රජයට හදිසියේම ජාතික ආරක්ෂාව ගැන මහා උනන්දුවක් ක්ෂණිකව ඇති වී ඇති බවයි. අතවශ්‍ය දේ නොකරමින් සිට දැන් මේ කරමින් සිටින්නේ මේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ නැති සාමාන්‍ය ජනයා පීඩාවට පත් කරමින් රටම තවදුරටත් අකර්මනය කිරීමක් නොවේද ? මේ නිසා තවදුරටත් ආර්ථික ක්‍රියාකාරීත්වයට අහිතකර බලපෑම් ඇති වීම වැළක්විය නොහැකි කාරණයක් වී තිබේ.ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත පසුගිය 25 වැනිදා භාරදුන්නේය. එය ලොකු දෙයකි. එහෙත්ඔය බැරි වැඩ තමන්ට භාර දෙන විටම භාර නොගෙන තමන්ට පුළුවන් වගකීමක් භාර ගත්තා නම් මෙවැනි බිහිසුණු විනාශයක සිදු නොවීමට ඉඩක් තිබුණු බවද අපට හැගේ.එහෙත් හොදටම තොරතුරු ලැබී ඒ ගැන නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් මේ අයට එනම් හේමසිරි ප්‍රනාන්දුට පමණක් නොව මේ සම්බන්ධයෙන් තම වගකීම් නිසි ලෙස ඉටු නොකළ සියලු දෙනාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කර දඩුවම් කළ යුතු බව අපගේ හැගීමයි,රිය අනතුරක් වැනි දෙයක් පවා වලක්වා නොගැනීම නීතිය ඉදිරියේ වරදක් නම් මේ ජාතික ආරක්ෂාවට බලපාන බරපතල විපතක් වලක්වා නොගැනීම වරදක් නොවන්නේ කෙසේද යන ප්‍රශ්නය කාටත් මතු වන සාධාරණ ප්‍රශ්නයකි. එසේම අද සිදු වන ආරක්ෂක ක්‍රියාමාර්ග සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර ගැන මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගිය 25 වැනිදා පාර්ලිමෙන්ත්වෙදී ඉතා වැදගත් අදහස් පළ කිරීමක් කළේය.ඔහු එහිදී කී එක අදහසක් නම් මිනිස්සුන්ගේ ඇගපත අතගමෙන් හෝ පාරේ ආරක්ෂා භටයන් සිටුවා තැබීමෙන් මේ ත්‍රස්තවාදය මර්ධනය කිරීම දුෂ්කර බවයි.මුලික වශයෙන්ම ඔහු කියන්නේ බුද්ධි අංශ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයි.එය සත්‍යයකි.ඔහි සිය කතාවේදී මෙසේද කීවේය.

'ආරක්‍ෂක කවුන්සිලය, ආරක්‍ෂක ලේකම් වගකීම් පැහැර හැරලා. ජනාධිපති දුර්වලයි කියන්නේ ඇමැති මණ්ඩලයත් දුර්වලයි. වෙන රටක වුනානම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙලා. නාමල් කුමාර කියන පුද්ගලයා දුන් ඔත්තුව තරමටවත් මධුෂ්ට දක්වපු උනන්දුවවත් මේ තොරතුරුවලට ලබා දුන්නේ නෑ. අගමැතිට, ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිට ආරක්‍ෂක කවුන්සිලයට එන්න කියලා නෑ. විපක්‍ෂයේ අය කීප දෙනෙකුට තමයි එන්න කියලා තියෙන්නේ. ආරක්‍ෂක කවුන්සිලයට විපක්‍ෂය කැඳවනවද? ආරක්‍ෂක කවුන්සිලයට එන්න කිව්වේ නැතිනම් අගමැතිට ඒ ගැන දැනුම් දෙන්න තිබුණා. පාර්ලිමේන්තුවට ඇවිත් ඒ බව කියන්න තිබුණා. රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිව ආරක්‍ෂක කවුන්සිලයට කැඳෙව්වේ නැත්නම් ඒ ගැන කියා ඉල්ලා අස්වෙන්න තිබුණා. දැන් නිදහසට කරුණු කියලා වැඩක්නෑ. ආරක්‍ෂක විද්‍යාලයකට ගිහින් සුදුසුකම් ලැබූ අය ආරක්‍ෂක ලේකම්ධුරයට පත්කළ යුතුයි. දැන් උත්සව අවලංගු කරනවා. මැයි දිනය අවලංගු කරනවා. වෙසක් උළෙලත් අවලංගු කරයි. හැම දෙයක්ම දැන් රටේ අවලංගු කරනවා. අන්තිමට ඉතිරි වෙන්නේ අලවංගුව විතරයි.'

මේ කියන බොහෝ දේවල් අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඔහු කියන පරිදි අද බොහෝ දේවල් අවලංගු වී ඔහු කියන පරිදිම අලවංගුව පමණක් ඉතුරු වන තත්වයක් නිර්මාණය වී රටම අකර්මන්‍ය වන තත්වයක් මේ රජය විසින් නිර්මාණය කරමින් තිබේ.මේ සියල්ල ගෝලීය ත්‍රස්තවාදයට බැර කර වගකීමෙන් නිදහස් විය නොහැකිය.ජාත්‍යන්තර ත්‍රස්තවාදයට කවර සම්බන්ධතා තිබුණත් මේ සියල්ල කළේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවිධානයක් බව අප අමතක කළ යුතු නැත.එසේ සියල්ල ජාත්‍යන්තර ත්‍රස්තවාදයට පමණක් පටවනවා නම් මෙහෙ සාමාන්‍ය ජනයා පරීක්ෂා කිරීමේ පමණක් කිසිම තේරුමක් තිබේද ? මේ සියලු දේ නිසා සිදුව ඇත්තේ වසර දහයක කාලයකින් පසු බිහිසුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවකට මුහුණ දීමට සිදු වීම නිසා සහ ඉදිරියේදීත් එවැනි ප්‍රහාර එල්ල වනු ඇතැයි පැතිර යන ආරංචි නිසා අප රටේ මෙතෙක් පැවති නිදහස් සහ සාමකාමී වාතාවරණය ( තාවකාලිකව හෝ සැලකිය යුතු කලකට හෝ ) අවසන් වීමයි.මෙය බලවත් අවාසනාවන්ත තත්වයක් වන අතර රටේ ආර්ථිකයටත් විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයටත් බලවත් ලෙස අහිතකර තත්වයකි.මේ තත්වය නැවත යථා තත්වයට පත් කර ගැනීමට තවත් කොපමණ කාලයක් ගත වනු ඇත්දැයි තවමත් සිතා ගැනීමටවත් අපහසුය. දැනට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව නම් පැහැදිලි වන්නේ පසුගිය ඉරිදා (21) ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබු එකක් බවයි.කලින් ආරක්ෂක බුද්ධි අංශ වලට තොරතුරු ලැබී ඒ සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා මුළු මහත් ජාතියටම මේ විපතට මුහුණ දීමට සිදු වූ බවයි.ඇත්තවශයෙන්ම මෙය කතෝලික ජනයාට හෝ සංචාරක හෝටල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරයක් නොව මුළු මහත් ජාතියටම එල්ල වූ බලවත් ත්‍රස්ත ප්‍රහාරයකි. ඒ නිසාම මේ ගැන කලින් තොරතුරු ලැබී ඒ ගැන විවිධ අංශ දැනුවත් කිරීම පවා සිදුව තිබියදී මේ විපත වළක්වා ගැනීමට කිසිවක් නොකර සිටීම නම් බලවත් වරදකි.අඩු තරමේ මේ ගැන ජනපති අගමැති කෙසේ වෙතත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා සහ සංචාරක හොටවල ආරක්ෂක අංශ දැනුවත් කර සිටියානම මේ ප්‍රහාරය එතරම් සාර්ථක කර ගැනීමට කිසි ලෙසකින්වත් ඉඩ ලැබෙන්නේ නැත. මෙවැනි විනාශයක් සිදුවන බව කලින් දැන දැනත් එය වැළැක්වීමට කටයුතු නොකිරීම තමන්ට මහත් සැකයට මෙන්ම වේදනාවටත් හේතුවක් බව මැල්කම් රංජිත් කොළඔ අගරදගුරුතුන් පවසා තිබිණි.එසේ කියමින් එතුමන් ප්‍රශ්න කරන්නේ ‘‘ඇයි අපට මෙහෙම කළේ’’ කියාය. අපටත් ජනාධිපති,අගමැති සහ පොලිස්පති ඇතුළු මේ ආණ්ඩුවෙන් සහ ආරක්ෂක අංශ වලින් අසන්නට තිබෙන්නේ මේ ප්‍රශ්නයමය.මෙය කතෝලික ජනයාට පමණක් එල්ල වූ ප්‍රහාරයක් නොව මෙය මුළු මහත් රටට සහ ජනසමාජයට එල්ල වූ ප්‍රහාරයකි.මෙවැනි තත්වයකදී සංචාරකයෙක් මේ රටට එන්නේ කෙසේද ? ආයෝජකයෙක් මේ රටේ ආයෝජනය කිරීමට ඉදිරිපත් වෙයිද ? සියලු දෙනා එක වී මේ ජාතික විපතින් මිදීමට පියවර ගන්නවා වෙනුවට ආණ්ඩුවේ වගකිවයුත්තන් මේ මොහොතේ කිසිදු හිරිකිතයකින් තොරව කරමින් සිටින්නේ එක එක්කෙනාට බෝලය පාස් කරමින් සිටීමය.මෙවන් පසුබිමක් තුළ මේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාර හමුවේ අපේ සංචාරක ව්‍යාපාරයේ හෙට දවසත් බලවත් අනතුරට පත්ව හමාරය. නවතම මහා බැංකු වාර්තාවේ අපගේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමට හේතු තවදුරටත් පැහැදිලි කර ඇත්තේ මෙසේය.

'පසුගිය වසර කිහිපය තුළ රටෙහි සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වාගෙන යෑමට දැරූ ප්‍රයත්න මධ්‍යයේ වුවද, අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාදවීම හේතුවෙන්ශ්‍රී ලංකාවේ ආර්ථිකය මන්දගාමී වර්ධන මාවතකට පත්ව ඇත. දශකයකට පමණ පෙර මැදි ආදායම් ලබන රටක මට්ටමට පත් වූ ශ්‍රී ලංකාවට ‘මැදි ආදායම් උගුල’ යන තත්ත්වයෙන් මිදී ඉහළ ආදායම් මට්ටමකට ළඟා වීම සඳහා දූරදර්ශී ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ අවශ්‍ය විය. කෙසේ වුවද, ආර්ථික වර්ධනය සඳහා උපකාර වන ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට සමාන ආර්ථිකයන් පවතින රටවල් ශීඝ්‍ර ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර, අපනයන ප්‍රවර්ධනය, විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය, අයවැය හිඟය හා ණය මට්ටම අඩු කර ගැනීම, සාධක වෙළඳපොළ ප්‍රතිසංස්කරණය, රාජ්‍ය පරිපාලනය ශක්තිමත් කිරීම සහ රටෙහි නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම සහතික කිරීම යන අංශවල වර්ධනය කෙරෙහි ඇති බාධා විසදීමට හා ආර්ථික වර්ධනය දියුණු කිරීමේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ඇති ප්‍රමාදයන් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය පහළ මට්ටමක පැවතීම සඳහා විශාල වශයෙන් හේතු වී ඇත. එමනිසා, ශ්‍රී ලංකාවට ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් ලෙස සාර්ථකත්වයට පත් වීමට සහ එහි පුරවැසියන්ගේ යහපැවැත්ම වැඩි දියුණු කර ගැනීම සඳහා, ආර්ථිකයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම තුළින් ආර්ථික වර්ධනය අඛණ්ඩ පහළ අගයක පැවතීමට හේතු වූ කරුණු සඳහා පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ. මෙම පසුබිම තුළ, වෙළඳ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා වූ ජාතික අපනයන ක්‍රමෝපාය සහ නව වෙළඳ ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය විනය සහ රාජ්‍ය ණය තිරසාරභාවය පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන සහ මිල ස්ථායීතාව තිරසාරව පවත්වා ගැනීම සහතික කිරීම සඳහා 2020 වසර වන විට මහ බැංකුව නම්‍යශීලී උද්ධමනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම ඇතුළත් වන දැනටමත් හඳුන්වා දී ඇති ප්‍රතිසංස්කරණ සැලැස්ම කඩිනම් කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් විසින් ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරීම ඉතා වැදගත් වේ. මෙම ප්‍රතිසංස්කරණ නිසි කලට ස්ථාපිත කිරීම ඉන්දියන් සාගරයේ ආයෝජන සඳහා ඉහළ අවධානයක් ඇති ක්‍රමෝපායික පිහිටීමක් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික පෙර දැක්ම හා අපේක්ෂාවන් වැඩි දියුණු කිරීම සඳහා පමණක් නොව, රටේ ජනතාවගේ සමස්ත ජීවන තත්ත්වය සහ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ද අත්‍යාවශ්‍ය වේ. ශ්‍රී ලංකාව මැදිකාලීව ඉහළ හා ස්ථාවර වර්ධන මාවතක් ඔස්සේ ඉදිරියට යෑමට සහ දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පසුපසින් සිටි රටවල් සමඟ තරගකාරී වීමට නම්, ‍මෙම ප්‍රතිසංස්කරණ තවදුරටත් කල් දැමීම සිදු කළ නොහැක.'

මහ බැංකුව මේ කියන දේවල සත්‍ය වුවත් ඔය කියන සියලු ආර්ථික ප්‍රතිසංස්කරණ වලටත් වඩා වැදගත් වන්නේ රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම බව
අපට කාට කාටත් සිහිපත් කිරීමට සිදු වේ. එය නැත්නම් ආර්ථික ප්‍රගතියක් ඇති කර ගැනීමත් සිහිනයක් බව පැහැදිලිය. මේ අවස්ථාවේ අගරදගුරුතුමන් කළ ප්‍රකාශ ඉතාමත්ම අගය කළ යුතු වේ.උන්වහන්සේ කියන්නේ පලිගන්න කියා නොව සන්සුන්ව දුක දරා ගනා ලෙසයි.එය ඉතාම ආදර්ශමත්ය.එහෙත් මේවාට වගකිවයුත්තන්ට සහ ඊට වගකිවයුතු රටේ අන්තවාදී සංවිධානවලට නීතියද ක්‍රියාත්මක කර මෙවැනි සිදුවීම් නැවත නොවන ලෙස අවශ්‍ය පියවර ගැනීමද අත්‍යවශම කාරණාවයි. එසේ නොකළහොත් මෙවැනි සිදුවීම් ඉදිරියේදීත් සිදු වීමට ඉඩ තිබේ.ඒ නිසා බුද්ධි අංශ ශක්තිමත් කෙලින්ම මෙවැනි ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අය සම්බන්ධයෙන්න නිසි විමර්ශන නොකර ආරක්ෂක නිලධාරීන් ලවා සාමාන්‍ය ජනයාගේ ඇගපත අතපත ගා ගමන් මලු පරීක්ෂා කිරීමෙන් පමණක් මේ බිහිසුණු ත්‍රස්තවාදය ජයගත නොහැකි බව සාමාන්‍ය ජනයාට වුවත් වැටහෙන්නකි. ඒ අතරම ආර්ථිකය පැත්තෙන් නම් ප්‍රධාන වශයෙන්ම විශ්වාසය ගොඩනැගීමට අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.එසේ නොකළහොත් විදෙස් ආයෝජකයෙක් තබා විදෙස් සංචාරකයෙකු පවා අපේ රටට ඒමට බිය වනු අත.මේ නිසා ජාතික ආරක්ෂාව ගැන මේ රජය දැන්වත් දැඩි අවධානයක් යොමු කර බුද්ධි අංශ ශක්තිමත් කර ඒ බුද්ධි තොරතුරු අනුව වහාම ක්‍රියාත්මක වීමේ තත්වයක් නිර්මාණය කර ගතයුතුව තිබේ.මේ ගැන අඩුවෙන් තැකීමේ විපාක අද අහිංසක ජනයාට විදින්නට සිදුව තිබේ.මේ විපතින් අපට අහිමි වුයේ මිනිස් ජීවිත සහ දේපොළ පමණක් නොවේ. රටේ ආර්ථික ඉදිරි ගමන ද බලවත් අවධානමකට පත් කර ගත්තේය. එලෙසම දැන්අපේ සංචාරක ව්‍යාපාරයද බලවත් අනතුරකට පත්ව අවසන්ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
දිවයින ඉරිදා සංග්‍රහය - 2019 අප්‍රේල් 28
Views
432
2019-04-27 07:20:08
ජනප්‍රිය පුවත්