මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන් පිළිබිඹු වන 2018 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ සාරාංශය








1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 69 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත පිළිගන්වන ලදී.


2018 වසරේදී පහළ උද්ධමනකාරී වාතාවරණයක් මධ්‍යයේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය සහ දේශීය බාධාවන්ට ලක්වීමේ අවදානම් සහගත බව වැඩි වශයෙන් පිළිබිඹු කළේය. 2018 වසරේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) වර්ධනය පසුගිය වසරේ වාර්තා කළ සියයට 3.4 ට සාපේක්ෂව සියයට 3.2 ක අගයක් වාර්තා කරන ලදී. සේවා අංශයේ ක්‍රියාකාරකම්වල සිදු වූ සියයට 4.7 ක වර්ධනය සහ කෘෂිකාර්මික කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් එම අංශයේ වාර්තා කළ සියයට 4.8 ක වර්ධනය මේ සඳහා වැඩි දායකත්වයක් සපයන ලදී. ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් කටයුතුවල පසුබෑම හේතුකොටගෙන වසර තුළදී කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 0.9 ක් දක්වා සැලකිය යුතු ලෙස මන්දගාමී විය. ද.දේ.නි. ගණනය කිරීමේ වියදම් ප්‍රවේශය අනුව, පරිභෝජන වියදම් සහ ආයෝජන වියදම් යන දෙඅංශයම 2018 වර්ෂයේ ආර්ථික වර්ධනය සඳහා දායක විය. ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ආයෝජන පෙර වසරේ වාර්තා කළ සියයට 28.8 ට සාපේක්ෂව සියයට 28.6 ක් ලෙස පැවතුණු අතර ඉතුරුම් - ආයෝජන පරතරය වසර තුළදී තවදුරටත් පුළුල් වූයේ එහි හිඟය සපුරා ගැනීම සඳහා විදේශීය සම්පත් මත වූ රැඳියාව ඉහළ යෑම පිළිබිඹු කරමිනි. 2018 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය එ.ජ. ඩොලර් බිලියන 88.9 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඒක පුද්ගල ද.දේ.නි. එ.ජ. ඩොලර් 4,102 ක් ලෙස පෙර වසරට වඩා මදක් පහළ අගයක් වාර්තා කළේය. ආර්ථික කටයුතුවල මධ්‍යස්ථ වර්ධනය හමුවේ, සේවා වියුක්ති අනුපාතිකයේ සුළු ඉහළ යෑමක් හා ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතයේ පහළ යෑමක් වසර තුළදී නිරීක්ෂණය විය.

ගෝලීය සහ දේශීය සාධක හේතුවෙන් ආර්ථිකයේ විදේශීය අංශය වසර පුරා විවිධ විචලනයන්ට භාජනය විය. ගෝලීය වශයෙන්, විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයෙහි මුදල් ප්‍රතිපත්තිය ඉතා පහළ ප්‍රතිපත්ති පොලී අනුපාත මට්ටමක සිට සාමාන්‍යකරණය වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ තත්ත්වයන් දැඩි වූ අතර, එමගින් නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් වෙතින් ප්‍රාග්ධන ගලා යෑම් සිදු වූ අතර, විශේෂයෙන්ම ද්විත්ව හිඟයක්, එනම් අයවැය හිඟය සහ විදේශීය අංශයේ ජංගම ගිණුමේ හිඟය සහිත ආර්ථිකයන්හි විනිමය අනුපාතික මත ඉහළ පීඩනයක් ඇති කළේය. ශ්‍රී ලංකාවට ද, විශේෂයෙන්ම 2018 වසරේ අප්‍රේල් මස මැද සිට මෙම අභියෝගවලට මුහුණ පෑමට සිදු වූ අතර, වසරේ සිව්වන කාර්තුවේදී දේශපාලන අවිනිශ්චිතතා පැවතීම මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් අගයන් පහළ යෑම හේතුවෙන් එම තත්ත්වය තවදුරටත් තීව්‍ර විය. දේශීය වශයෙන් සැලකීමේදී නාමික වශයෙන් සැලකිය යුතු අගයක් වාර්තා කරමින් අපනයන ආදායම් වර්ධන වේගයට වඩා ආනයන වියදම් වර්ධන වේගය ඉහළ යෑමත් සමඟ

ඉතිහාසයේ පළමු වතාවට වෙළඳ හිඟය, එ.ජ. ඩොලර් බිලියන 10 ඉක්මවීය. සේවා අපනයන සැලකිය යුතු ලෙස ඉහළ ගියද, වෙළඳ හිඟය වැඩිවීම, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මන්දගාමීවීම සහ විදේශීය ණය මත පොලී ගෙවීම් ඉහළ යෑම හේතුවෙන් ජංගම ගිණුමේ හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 3.2 ක් දක්වා පුළුල් විය. 2018 වසරේදී මෙතෙක් වාර්තා වූ ඉහළම විදේශීය සෘජු ආයෝජන මට්ටම මෙන්ම විශේෂයෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම් හරහා විදේශීය ණය ලබා ගැනීම් ද මූල්‍ය ගිණුමේ ශේෂයට සහාය විය. මෙම ප්‍රවණතාවල සමස්ත ප්‍රතිඵලයක් ලෙස ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය, හිඟයක් ලෙස වාර්තා විය. 2018 වසරේදී ශ්‍රි ලංකා මහ බැංකුව විසින් අනුගමනය කළ වෙළඳපොළ මත පදනම් වූ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මධ්‍යයේ රුපියල තියුණු ලෙස අවප්‍රමාණය වීමට ඉඩ හැරිය නමුත්, විශේෂයෙන්ම විශාල ප්‍රාග්ධන ගලා යෑමක් සිදුවන අවස්ථාවලදී සහ අනිසි සමපේක්ෂණ කටයුතු හේතුවෙන් වෙළඳපොළෙහි අධික උච්චාවචන ඇතිවන අවස්ථාවලදී මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත මැදිහත් විය. පුළුල් වෙමින් පැවති වෙ‍ළඳ හිඟයට පිළියමක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා කිරීම සඳහා තීරු බදු ඉහළ නැංවීම, ආන්තික තැන්පතු අවශ්‍යතා පැනවීම, තෝරාගත් ණය කාණ්ඩ කිහිපයක් සඳහා වටිනාකම මත වූ ණය අනුපාතික දැඩි කිරිම සහ සහනදායී බලපත්‍ර මත වාහන ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවීම වැනි ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබීය. මෙම ක්‍රියාමාර්ග සහ ගෝලීය මූල්‍ය වෙළඳපොළෙහි අහිතකර තත්ත්වයන් යම්තාක් දුරකට සමනයවීමේ ප්‍රතිඵලයක් ලෙස 2018 වසර අවසානයේදී සහ 2019 වසර ආරම්භයේදී ගෙවුම් තුලනය සහ විනිමය අනුපාතිකය මත ඇති වූ පීඩනය පහළ ගිය අතර 2019 වසරේ ප‍ළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය. මෙමගින් පසුගිය වසරේදී විනිමය අනුපාතිකයේ සිදු වූ සැලකිය යුතු අවප්‍රමාණය වීම කිසියම් දුරකට යථා තත්ත්වයට පත් කිරීමට හැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදල) විස්තීර්ණ ණය පහසුකම යටතේ සාකච්ඡා 2019 වසරේ පෙබරවාරි මස සිට නැවත ආරම්භ වීම සහ ඒ සම්බන්ධයෙන් නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹීම ද, ආයෝජන සඳහා විශ්වාසය වැඩිදියුණු කිරීමට දායක විය.

මනා ඉදිරි දැක්මකින් යුතුව ක්‍රියාත්මක කළ මුදල් ප්‍රතිපත්තිය, දේශීය අංශයේ සැපයුම් තත්ත්වය ඉහළ යෑම මෙන්ම සමාහාර ඉල්ලුම අඩු මට්ටමක පැවතීම හේතුවෙන් රුපියලෙහි සිදු වූ අධික අවප්‍රමාණය සහ දේශීය ඛනිජ තෙල් මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම හමුවේ වුවද වසර තුළදී, මතුපිට හා මූලික උද්ධමනය තනි අඩු අගයක පැවතුණි. 2018 වසර තුළදී පැවතුණු හිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ආහාර බොහොමයක මිල ගණන් පහළ ගිය අතර, මතුපිට උද්ධමනයේ උච්චාවචනයන් ආහාර


කාණ්ඩයේ මිල විචලනයන් හා බෙහෙවින් සමගාමී විය. විශේෂයෙන්ම, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ මැදිකාලීන උද්ධමනය මැද තනි අගයක පවත්වා ගැනීමට අපේක්ෂිතය. පහළ මට්ටමක පැවති උද්ධමනය සහ උද්ධමන අපේක්ෂාවන් මෙන්ම ළඟා විය හැකි විභව මට්ටමට වඩා පහළින් පැවති මූර්ත ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් මහ බැංකුවේ දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය අවසන් කරමින් 2018 වසරේ අප්‍රේල් මාසයේදී නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියා කළේය. ඉන් අනතුරුව, දේශීය ආර්ථිකයේ මන්දගාමී ක්‍රියාකාරිත්වය හමුවේ, විදේශ අංශය කෙරෙහි නොකඩවා ඇති වූ පීඩනය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මධ්‍යස්ථ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් වසර පුරා පවත්වාගෙන යන ලදී. එහෙත්, විශේෂයෙන්ම 2018 වසරේ සැප්තැම්බර් මාසයේ සිට දේශීය මුදල් වෙළඳපොළේ පැවති අධික හා අඛණ්ඩ ද්‍රවශීලතා හිඟය හේතුවෙන් වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව 2018 නොවැම්බර් මාසයේදී ප්‍රතිශතාංක 1.50 කින් අඩු කරමින්, නිත්‍ය පදනම යටතේ ද්‍රවශීලතාව සැපයීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු විය. එහෙත්, ඒ සමඟම, ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව අඩු කිරීමෙන් මධ්‍යස්ථ මුදල් ප්‍රතිපත්තිය මත සිදු වන බලපෑම සමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති අනුපාතික කොරිඩෝව තවදුරටත් පදනම් අංක 100 දක්වා අඩු කරමින්, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය පදනම් අංක 75 කින්ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින්ද, ඉහළ නංවන ලදී. ඒ අනුව, 2018 වසර අවසානයේදී, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 8.00 ක් සහ සියයට 9.00 ක් ලෙස පැවතිණි. 2019 වසරේ මුල් කාලසීමාවේදී දේශීය මුදල් වෙළඳපොළේ ද්‍රවශීලතා හිඟ මට්ටම තවදුරටත් පැවතුණු බැවින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව 2019 වසරේ මාර්තු මස 01 වැනි දින සිට තවත් ප්‍රතිශතාංක 1.00 කින් සියයට 5.00 ක් දක්වා අඩු කරන ලදී. මේ අතර, බැංකු අංශයේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය අඩු වීම හේතුවෙන්, 2018 වසරේදී පුළුල් මුදල් සැපයුමේ (M2b) වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය අඩු විය. කෙසේ වුවද, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය තුළ, දැඩි ද්‍රවශීලතා හිඟ තත්ත්වයන් හා ඉහළ නාමික හා මූර්ත වෙළඳපොළ පොලී අනුපාතික යටතේ වුවද, වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණයෙහි සමස්ත ප්‍රසාරණය, 2018 වසරේ අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළින් පැවතිණි.

මේ අතර, රාජ්‍ය අංශයේ ආදායම් රැස්කිරීමෙහි අඩුවීමක් පැවතිය ද ඉහළ ප්‍රාථමික අතිරික්තයක් සහ පහළ අයවැය හිඟයක් සමඟ රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් 2018 වසර තුළදී කිසියම් වැඩිදියුණු වීමක් පෙන්නුම් කළේය. 2018 වසරේදී රාජ්‍ය ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 13.3 ක් දක්වා අඩු වූ අතර, විශේෂයෙන්ම වසරේ අවසාන කාලය තුළ පැවති දේශපාලනික අවිනිශ්චිතභාවයත් සමඟ අයවැය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවූ ප්‍රමාදය නිසා රාජ්‍ය ආයෝජන අඩු වීම හේතුවෙන් වියදම් සහ ශුද්ධ ණය දීම් අඩු විය. ආර්ථික කටයුතු මන්දගාමී වීම සඳහා රාජ්‍ය අංශයේ ප්‍රාග්ධන වියදම් අඩු වීම ද දායක විය. රජයේ නිර්-ඉතුරුම් පිළිබිඹු කෙරෙන වර්තන ගිණුමේ හිඟය 2018 වසරේදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සැලකීමේදී ඉහළ ගියේය. රාජ්‍ය ආදායම සහ පොලී ගෙවීම් හැර වියදම අතර වෙනස පිළිබිඹු කරන ප්‍රාථමික ශේෂය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2017 වසරේදී වූ සියයට 0.02 ක අතිරික්තයට සාපේක්ෂව 2018 වසරේදී සියයට 0.6 ක අතිරික්තයක් වාර්තා කළේය. ප්‍රාග්ධන වියදම්වල සැලකිය යුතු පහළ යෑම හේතුවෙන් අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2017 වසරේදී පැවති සියයට 5.5 සිට 2018 වසරේදී සියයට 5.3 දක්වා අඩු වුවද, 2018 අයවැයට අනුව අපේක්ෂිත ඉලක්කය වූ සියයට 4.8 ක මට්ටම ළඟා කරගැනීමට නොහැකි විය. මධ්‍යම රජයේ නොපියවූ ණය, 2017 වසර අවසානයට ද.දේ.නි‍.යෙහි ප්‍රතිශතයක් ලෙස පැවති සියයට 76.9 සිට 2018 වසර අවසානය වන විට සියයට 82.9 දක්වා වැඩි වූ අතර, ඒ සඳහා විදේශීය ණය ශේෂයේ රුපියල් වටිනාකම මත බලපෑම් කරමින් රුපියල අවප්‍රමාණය වීම, සාපේක්ෂ වශයෙන් පහළ නාමික ද.දේ.නි. සහ අදාළ කාලය තුළ ලබාගත් ඉහළ ශුද්ධ ණය ගැනීම් හේතු විය. ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව උදෙසා පවත්නා අඛණ්ඩ කැපවීම සමඟ ඉදිරි කාලය තුළ රජයේ ණය වගකීම් කළමනාකරණයට පහසුකම් සැලකිය හැකි සක්‍රීය වගකීම් කළමනාකරණ පනතෙහි විධිවිධාන ක්‍රියාත්මක කිරීම සහ මධ්‍යකාලීන ණය කළමනාකරණ උපායමාර්ගය හඳුන්වාදීම මගින් ණය මූල්‍යනය කිරීමේ අවදානම අඩු කළ හැක.

බැංකු අංශයේ සිදුවූ මධ්‍යස්ථ එහෙත් ස්ථාවර වර්ධනය හේතුවෙන් වසර තුළදී මූල්‍ය අංශය අඛණ්ඩව ප්‍රසාරණය විය. කෙසේ වුවද, ප්‍රධාන වශයෙන්ම වත්කම්වල ගුණාත්මකභාවයේ පහළ යෑම, මෙහෙයුම් වියදම් ඉහළ යෑම සහ අධික බදු හේතුවෙන් වසර තුළදී බැංකු අංශයේ ලාභදායීත්වය අඩු විය. වසර තුළදී බාසල් III නිර්නායක ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 9 (SLFRS 9) භාවිතය ඇරඹීම ඇතුළුව විචක්ෂණශීලී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කරන ලදී. ඒ අතර, බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් අංශය ද අභියෝගාත්මක පරිසරයක් තුළ මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන් බලපත්‍රලාභී මුදල් සමාගම් නැවත නගා සිටුවීම සහ එම අංශයේ දිගු කාලයක් පුරා පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලදී. දේශීය හා විදේශීය වශයෙන් ඇති වූ අහිතකර වර්ධනයන් හේතුවෙන් ආයෝජන විශ්වාසය මත ඇති වූ අයහපත් බලපෑම නිසා කොළඹ කොටස් වෙළඳපොළ මෙම වසරේදී ද දුර්වල කාර්යසාධනයක් වාර්තා කළේය.



පසුගිය වසර කිහිපය තුළ රටෙහි සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වාගෙන යෑමට දැරූ ප්‍රයත්න මධ්‍යයේ වුවද, අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාදවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මන්දගාමී වර්ධන මාවතකට පත්ව ඇත. දශකයකට පමණ පෙර මැදි ආදායම් ලබන රටක මට්ටමට පත් වූ ශ්‍රී ලංකාවට ‘මැදි ආදායම් උගුල’ යන තත්ත්වයෙන් මිදී ඉහළ ආදායම් මට්ටමකට ළඟා වීම සඳහා දූරදර්ශී ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ අවශ්‍ය විය. කෙසේ වුවද, ආර්ථික වර්ධනය සඳහා උපකාර වන ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට සමාන ආර්ථිකයන් පවතින රටවල් ශීඝ්‍ර ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර, අපනයන ප්‍රවර්ධනය, විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය, අයවැය හිඟය හා ණය මට්ටම අඩු කර ගැනීම, සාධක වෙළඳපොළ ප්‍රතිසංස්කරණය, රාජ්‍ය පරිපාලනය ශක්තිමත් කිරීම සහ රටෙහි නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම සහතික කිරීම යන අංශවල වර්ධනය කෙරෙහි ඇති බාධා විසදීමට හා ආර්ථික වර්ධනය දියුණු කිරීමේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ඇති ප්‍රමාදයන් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය පහළ මට්ටමක පැවතීම සඳහා විශාල වශයෙන් හේතු වී ඇත. එමනිසා, ශ්‍රී ලංකාවට ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් ලෙස සාර්ථකත්වයට පත් වීමට සහ එහි පුරවැසියන්ගේ යහපැවැත්ම වැඩි දියුණු කර ගැනීම සඳහා, ආර්ථිකයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම තුළින් ආර්ථික වර්ධනය අඛණ්ඩ පහළ අගයක පැවතීමට හේතු වූ කරුණු සඳහා පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ. මෙම පසුබිම තුළ, වෙළඳ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා වූ ජාතික අපනයන ක්‍රමෝපාය සහ නව වෙළඳ ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය විනය සහ රාජ්‍ය ණය තිරසාරභාවය පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන සහ මිල ස්ථායීතාව තිරසාරව පවත්වා ගැනීම සහතික කිරීම සඳහා 2020 වසර වන විට මහ බැංකුව නම්‍යශීලී උද්ධමනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම ඇතුළත් වන දැනටමත් හඳුන්වා දී ඇති ප්‍රතිසංස්කරණ සැලැස්ම කඩිනම් කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් විසින් ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරීම ඉතා වැදගත් වේ. මෙම ප්‍රතිසංස්කරණ නිසි කලට ස්ථාපිත කිරීම ඉන්දියන් සාගරයේ ආයෝජන සඳහා ඉහළ අවධානයක් ඇති ක්‍රමෝපායික පිහිටීමක් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික පෙර දැක්ම හා අපේක්ෂාවන් වැඩි දියුණු කිරීම සඳහා පමණක් නොව, රටේ ජනතාවගේ සමස්ත ජීවන තත්ත්වය සහ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ද අත්‍යාවශ්‍ය වේ. ශ්‍රී ලංකාව මැදිකාලීව ඉහළ හා ස්ථාවර වර්ධන මාවතක් ඔස්සේ ඉදිරියට යෑමට සහ දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පසුපසින් සිටි රටවල් සමඟ තරගකාරී වීමට නම්, ‍මෙම ප්‍රතිසංස්කරණ තවදුරටත් කල් දැමීම සිදු කළ නොහැක.















































Views
52
2019-04-25 13:01:40
ජනප්‍රිය පුවත්