කිරි දෙනුන් ගෙන්වීමේ ගිවිසුම අමාත්‍යංශයේ නැති බව කොමිසමේදී හෙළි වෙයි


රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසම

දැනට ආන්දෝලනයට තුඩු දී ඇති ගැබ්බර කිරි දෙනුන් ගෙන්වා මෙරට කිරි ගොවීන්ට බෙදා දීමේ රජයේ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමේ මුල් පිටපත ඊයේ (04 ) උදේ රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවවට ඉදිරිපත් කරන ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධර්මසිරි ආරියපාල මහතාට නියෝග කර තිබුණත් එම ගිවිසුමේ මුල් පිටපත එම අමාත්‍යංශය සතුව නොමැති බව ඊයේ කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය විය.

එම ගිවිසුම එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ ඕස්ට්‍රේලියාවේ වෙලාර්ඩ් ග්‍රාමීය අපනයන සමගම සමග වර්ෂ 2014 දී අත්සන් කළ එකක් බවද කොමිසමේදී අනාවරණය විය.


මුලින්ම අදාළ ගිවිසුම පෙරේදා ( 03) කොමිසමට ඉදිරිපත් කරන ලෙස කොමිසම විසින් ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධර්මසිරි ආරියපාල මහතාට දන්වා තිබුණත් අතිරේක ලේකම්වරයා කොමිසමට එදින ඉදිරිපත් කළේ අමාත්‍යංශ ලේකම්වරයා සහතික කළ ජායා පිටපතක් නිසා ඒ ගැන සක්ෂිකරුට අවවාද කළ කොමිසම නැවත ඊයේ දින එහි මුල් පිටපත රැගෙන උදේ 9.30 ට යළි කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරන ලදී.

ආරියපාල මහතා ඊයේ කොමිසමට පැමිණි අතර එහිදී අනාවරණය වුයේ ඕස්ට්‍රේලියාවේ වෙලාර්ඩ් ග්‍රාමීය අපනයන සමගමට ලබා දුන් මුල් ගිවිසුමේ පිටපත මත පදනම්ව ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය කටයුතු කළ බවයි.2016 වර්ෂයේදී මේ ගිවිසුමේ සංශෝධනයක් වී තිබුණත් එහි දිනයක් පවා නොමැති බවද ඊයේ කොමිසමේ සාක්ෂි විභාගයේදී හෙළි විය.

2018 පෙබරවාරි සිටම මේ කිරි හරක් ගැන චෝදනා එල්ල වී තිබියදී තවත් හරක් 15000 ක් වෙනුවෙන් අත්තිකාරම් මුදල් ගෙව්වේ මන්දැයි කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කීවේ එම ගවයන් මිලදී ගැනීමට හෝ නොගැනීමට සහ එම ගිවිසුම අවලංගු කරන්නේද යන්න ගැන තවමත් අමාත්‍යංශය තීරණයක් ගෙන නොමැති බවයි.

දියත් කළ ගැබ්බර කිරි දෙනුන් ගෙන්වා බෙදා දීමේ ව්‍යාපෘතිය යටතේ ලබා දෙන ලද දෙනුන් ගිවිසුම්ගත තත්වයට වඩා පටහැනි නිසා ගොවිපොළ හිමියන්ට විශාල පාඩු විසින්නට සිදුව ඇති නිසා ඒ ගැන පුර්ණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටින බව මස්කෙළිය ලැමමෝර් සත්ත්ව ගොවිපොළේ සභාපති අමල් සුරියගේ මහතා මීට පෙර රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඉල්ලා තිබිණි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කොමිෂම ඊයේ (04) උදේ 10.00 ට පමණ රැස් විය.

මෙම කොමිෂමේ පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


Views
71
2019-04-04 20:10:59
ජනප්‍රිය පුවත්