තවත් ඉදිරියට ඇදෙන බැදුම්කර නාටකය


ජනාධිපති බැදුම්කර කොමිසමෙන් මෙන්ම එය ඇතුළු අනෙකුත් බැදුම්කර වංචාවට අදාළ පරීක්ෂණවලින් මෙතෙක් මහජනතාවට යුක්තිය ඉටුව නැත.එම පරීක්ෂණ සහ විමර්ශන යනාදිය මාධ්‍ය හරහා සමාජගත වීම නිසා මේ සම්බන්ධයෙන් ජනසමාජය පුළුල් වශයෙන් දැනුවත් වුවත් ඒ දැනුවත් වීම නිසාම මේ සදහා යුක්තිය ඉටු වනු දැකීමේ අපේක්ෂාව අතිමහත් බහුතර මහජනතාවට ඇත.ඔය කියන ජනාධිපති කොමිෂන් සභාවලට ,පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වලට වැය කළෙත් එමෙන්ම ඔය පරීක්ෂණ සහ විමර්ශන කටයුතු කරන නීතිපති සහ අපරාධ පරීක්ෂණ යන දෙපාර්තමේන්තුවල නිලධාරීන්ට වැටුප් ගෙවන්නේද මහජන මුදලින්ය. පරීක්ෂවලින් නිසි යුක්තිය ඉටු නොවන්නේ නම් බැදුම්කර මගඩිය නිසා සිදුව ඇති අතිමහත් පාඩුවට අමතරව මේ වියදම්ද පැටවෙන්නේ මහජනතාව පිටය.එබැවින් බැදුම්කර වංචාව නිසා රටට වූ පාඩුව අයකරගෙන ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර නොගතහොත් වන්නේ බැදුම්කරයේ පාඩුවට මේ වැය බරත් එකතු වී බැදුම්කර මගඩියේ පාඩුව තවත් ඉහළ අගයක් ලෙස ගණනය කිරීමට සිදු වීමයි.මේ සියලු විපාක විදීමට සිදුව ඇත්තේ මහජනයාටය.ඒ නිසා එය වැලැක්වීම සදහා ප්‍රමාද නොකර නිසි නීතිමය පියවර ගැනීම හරහා මේ මගඩියෙන් වූ පාඩුව අය කර ගැනීම සහ ඊට වගකිවයුත්තන්ට දඩුවම් ලබා දීම කළ යුතුමය.අතිමහත් බහුතර මහජන අපේක්ෂාව එයයි.එහෙත් බැදුම්කර කොමිසමේ නිර්දේශ ප්‍රකාරව ඒ සදහා තවමත් හරි හමන් නඩුවක්වත් පවරා නැත.එහෙත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා රහස් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව නම් නඩුවක් පවරා විභාග වෙමින් තිබේ.හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ප්‍රධාන සැකකරුවා වන්නේත් ඔහුට වරෙන්තු නිකුත් වන්නේත් මේ නඩුව ප්‍රකාරව බව අප දන්නා දෙයයි.එහෙත් මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ බැදුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ ප්‍රකාරව පැවරු නඩුවක් නොවන බව අප දන්නා සත්‍යයයි. 2016.11.25 දින කුමාරස්වාමි මහතා සිදු කළ පැමිණිල්ලේ වැඩිදුර විමර්ශන අනුව පසුගියදා හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන පී.සමරසිරි මහතා සහ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පස් දෙනෙක් රහස් පොලිස් අත්අඩංගුවට පත්ව උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත විය.

මාධ්‍ය වාර්තා කළ පරිදි පී.සමරසිරි මහතා සහ ජෙෆ්රි ඇලෝසියස් මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට පත් වුයේ ඉකුත් මාර්තු 25 වැනිදාය.එනම් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු සහ භාණ්ඩාගාර බැදුම්කර ටෙන්ඩර් මණ්ඩලයේ හිටපු සභාපති වූ පී.සමරසිරි මහතා සහ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතා ඇතුළු එම පිරිස අත්අඩංගුවට පත් වූ පුවත එදින රටටම අසන්නට ලැබිණි. ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන අප්‍රේල් 05 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් මාර්තු 25 නියම කළ පුවත ඊට පසු දින බොහෝ පුවත්පත් තම ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණි.රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් එදින (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවන ලැබ තිබුණි. එහිදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දන්වා ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පරීක්ෂණවලින් අනතුරුව එම සැකකරුවන් පස්දෙනා අත් අඩංගුවට ගත් බවයි. මෙම සැකකරුවන් ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම යන වැරදි සිදු කර ඇති බවට සහ ඔවුන්ට අදාළ සාක්ෂි පිළිබඳ සාරාංශයක් අධිකරණය හමුවට ගොනු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණය හමුවේ දන්වා සිටි බව මාධ්‍ය වාර්තා කළේය.සැකකාර මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති සමරසිරි මහතා 2015 වසරේ පෙබරවාරි මස 27 වනදා සිදුවූ ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති බවටත් රජයේ නියෝජ්‍ය සොලිසිටර ජනරාල් වරිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.
මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔවුන් වෙනුවෙන් ඇප ලබා දෙන ලෙස ඉල්ලා තිබිණි. එම නීතිඥවරුන්අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් එම සිද්ධියට අදාළ පරික්ෂණවලදී රහස් පොලීසියට පූර්ණ සහය ලබා දී ඇති බවත්
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විසිපස් වතාවක් පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිට අවශ්‍ය කරන ලේඛන ඇතුළු සාක්ෂි ඔවුන් විසින් සපයා දීමට පියවර ගෙන ඇති බවත් උසාවිය හමුවේ කියා සිට ඇත. ඔවුන් කිසිදු අවස්ථාවක අධිකරණය මගහැර යන ආකාරයෙන් කටයුතු කර නොමැති බවත් නිතිඥවරුන් ප්‍රකාශ කර තිබිණි. මොවුන්ට අදාළ චෝදනා ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ඉදිරිපත් කර තිබෙන බැවින් ඔවුන්ට ඇප දීමට අධිකරණයට බලයක් පවතින බව විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටිමින් ඔවුන් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

1937 අංක 07 දරණ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනතේ 56 (අ ) 1 වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුවන් සිදු කර ඇත්තේ රජයේ මුදල් අරභයා විශාල අලාභයක් බවත් ,මෙය බරපතල වරදක් බැවින් සැකකරුවන්ට ඇප ලබාදුනහොත් මහජන කැළඹීමක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇති බවත් මහේස්ත්‍රාත්වරිය පවසා ඇති බව මාධ්‍ය වාර්තාවල සදහන් විය.ඒ අනුව ඇප පනතේ 14 (1) (අ ) වගන්තිය ප්‍රකාරව සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති මහේස්ත්‍රාත්වරිය ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.මේ අනුව රක්ෂිත බන්ධනාගාරගත වුයේ ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් , පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රන්ජන් හුළුගල්ල ,මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි යන අයයි.එසේම මෙම සිද්ධියේ නවවැනි සැකකරු වූ අජාන් ගාර්දී පුංචිහේවා නැමැත්තා විදෙස්ගතව සිටින බැවින් අත්අඩංගුවට ගත නොහැකි වූ බවද එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කියා සිටියේ මෙම සැකකරුවන් ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනත ප්‍රකාරව වැරදි සිදුකර ඇති බවයි.මේ අය පෙර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ අධ්‍යක්ෂවරුන් ලෙස සේවය කර ඇති අය බවත් මෙහි දසවැනි සැකකරු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස සේවය කරමින් සිටියදී 2015 පෙබරවාරි 27 දින පවත්වන ලද භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී අදාළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස එම වරදට දායකත්වය දක්වා ඇති බවත් සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දී ඇත.කවරක් නමුත් රහස් පොලිසිය සිය බී වාර්තාව මගින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා නොතිබිණි.

මෙම සිද්ධියේ පළමුවැනි සැකකරු ලෙස නම් කර ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාය.ඔහු වෙත මේ වන විට වරෙන්තු නිකුත් කර තිබුණත් ඔහු අධිකරණයට ඉදිරිපත් නොවී විදෙස්ගතව සිටී.ඔහු මෙරටට ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවා එරට අගමැතිගෙන් ඉල්ලීමක් කර ඇත.ඒ ගැන පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිංගප්පුරුවට චෝදනා කිරීමක්ද කළේය.

එනම් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට භාර නොදීම සම්බන්ධයෙන් අපේ ජනාධිපතිවරයා සිංගප්පූරුවට දොස් කියනු අපට අසන්නට ලැබිණි. මෙය සිදු වුයේ පසුගිය මාර්තු 18 වැනිදා කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේදී පැවති අල්ලස් හා දුෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිණි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කළ කතාවේදී ඔහු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගැන කීවේය මෙලෙසය.
‘අපිට තවම පුළුවන් වෙලා නැහැ ප‍්‍රධාන වග උත්තරකාරයා අල්ල ගන්න. ඒක තමයි ඇත්ත තත්ත්වය. කොමිෂන් සභාව මේ කරුණු ඉදිරිපත් කරලා, අධිකරණයට ඉදිරිපත් කරලා, ඒ වගේම අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරලා, අන්තර් ජාතික වරෙන්තු නිකුත් කරලා. දැන් මම ප‍්‍රසිද්ධියේ කියන්නට ඕන මම පහුගිය දවසක සිංගප්පූරුවට ගියේ ඇත්තටම සිංගප්පූරුවේ පැවතුණා එක්සත් ජාතීන්ගේ ආසියාතික සංවිධානවල පරිසර සමුඵවක්. මට ඇත්තටම ඒ සමුඵවට යෑමේ එතරම් වුවමනාවක් තිබුණේ නැහැ. නමුත් මම ඒ හරහා ඇත්තටම ගියේ සිංගප්පූරු රජය සමග සාකච්ඡුා කරන්න මහ බැංකු වංචාව පිළිබඳ ප‍්‍රධාන වග උත්තරකාරයා අපිට භාරදීම පිළිබඳව සිංගප්පූරු රජයේ ප‍්‍රතිපත්තිය කුමක් ද කියලා විමසන්න. මම සිංගප්පූරු අගමැතිතුමත් එක්ක පුද්ගලිකවම කථා කළා. එතුමා සහ මම මේ ගැන කථා කළා. මම එතුමගෙන් ඇහුවා මේ විදියේ නිවේදන නිකුත් කරල තිබෙන, අන්තර්ජාතික වරෙන්තු නිකුත් කරලා තිබෙන කෙනෙක් මේ, රටේ පුරවැසියෙක් මේ විදියට මේ සම්බන්ධයෙන් අපි ඉල්ලීමක් කරල තිබෙනවා අපිට ලබා දෙන්න කියලා. සිංගප්පූරු අගමැතිතුමා නම් මට ඒ වෙලාවේ කිව්වේ, සිංගප්පූරුවේ පුරවැසියෙක් වුණත් පිට කෙනෙක් වුණත් එවැනි ප‍්‍රශ්නයකට සම්බන්ධ කෙනෙක් නම් අපි ඒ සම්බන්ධයෙන් කිසිසේත් පසුබට වෙන්නේ නැහැ කියන එක. නමුත් මට තියෙන කනගාටුව තමයි අද වෙනකම් සිංගප්පූරු රජයත් මේ පිළිබඳව පැහැදිලි ප‍්‍රකාශයක් විවෘතව කරලා නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය.’
ජනාධිපතිවරයා මෙසේ කීවත් සිංගප්පුරුව පැත්තෙන් එය ප්‍රතික්ෂේප කර තිබිණි.එනම් එහිදී ප්‍රකාශ වුයේ සිංගප්පුරුව ඉල්ලා ඇති ලේඛන නිසි පරිදි අප තවමත් එරටට ලබා දී නොමැති බවයි.එය මාධ්‍ය වාර්තාවක් බව අසහා එය සිංගප්පුරු රජය මෙරටට නිල වශයෙන් ඉදිරිපත් කළ දැනුම් දීමක් නොවුවත් එය සත්‍යය බව පසුව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයකින්ම පැහැදිලි විය.
එනම් ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර වශයෙන් 2019.03.21 දින ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කීවේ එය සිංගප්පූරු රජයේ නිල ප්‍රකාශයක් නොවන බවයි.එය අත්තක් වුවත් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයෙන් තවදුරටත් තහවුරු වුයේ සිංගප්පූරුව පැත්තෙන් තවදුරටත් ඉල්ලා ඇති තොරතුරු අප විසින් තවමත් සපයා නොමැති බවයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ අන්තිම ජේදය ඊට සාක්ෂි සපයන්නේ මෙසේය.
‘ අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අදාළ චෝදනා සමබන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන ලෙස සිංගප්පූරු නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා වෙත දන්වා ඇති අතර මෑතකදී ලැබුණු එම ලිපියට අදාළ කරුණු සිංගප්පූරුව වෙත යැවීම සදහා මෙරට නීතිපතිවරයා මේ වන විට විධිමත් ලෙස කරුණු සකස් කරමින් පවතී.ඉහත සිද්ධිය සම්බන්ධයෙන් සිංගප්පූරු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු කරන ලදැයි කියන ලද වාර්තාවක් පදනම් කර ගනිමින් මෙරට මාධ්‍යවල පළ වී තිබු ප්‍රකාශ කිසිසේත් සිංගප්පූරු රජයේ නිල ප්‍රකාශ වශයෙන් පිළිගත නොහැකි බව අප රජයේ අදහසයි”

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිංගප්පුරු මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් මෙරට මාධ්‍යවල පළවී තිබු ප්‍රකාශ කිසිසේත් සිංගප්පූරු රජයේ නිල ප්‍රකාශ වශයෙන් පිළිගත නොහැකි බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශ කියා සිටියේය. මෙසේ ප්‍රකාශ කළත් එහිම සදහන් වුයේ එරටට යැවීම සදහා මෙරට නීතිපතිවරයා මේ වන විට විධිමත් ලෙස කරුණු සකස් කරමින් පවතින බවයි. සිංගප්පුරුවට දොස් කියන අවස්ථාවේ ජනාධිපතිවරයා මෙසේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අදාළ චෝදනා සමබන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන ලෙස සිංගප්පූරු නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට ලිපියක් ඒවා ඇති බවක් නොකීවේ ඇයි ?.ඔහු ඒ බවක් ඒ වන විට නොදැන සිටියා ද ? ඒ ගැන හරියටම අප දන්නේ නැත.කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයෙන් රටට පැහැදිලි වූ සත්‍යය නම් සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු මාධ්‍යට කර තිබු සදහන එරට රජය විසින් මෙරටට ලබා දුන් නිල ප්‍රකාශයක් නොවුනත් එහි සදහන් කරුණ සත්‍යයක් බවයි අනිත්අතට එය මෙරට රජයට ලබා දුන් නිල ප්‍රකාශයක් යයි මෙරට මාධ්‍ය කියා සිටියේ ද නැත. ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ මෙසේද සදහන්ය. එනම් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට උදර්පනය කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් පසුගිය වසරේ මැයි මස 28 වන දින රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නිල ඉල්ලීමක් සිදු කළ බවයි. අදාල නිවේදනයේ මේ වනවිට එම ඉල්ලීම සිංගප්පුරු නීතිපතිවරයාගේ අවදානයට යොමු වී ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙරට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අදාළ අංශ වෙත දන්වා ඇති බවද දැක්වේ.ජනාධිපතිවරයාගේ සිංගප්පුරු නිල සංචාරයේදී අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පනය කරන ලෙස සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇති අතර එම ඉල්ලීම සිදු කරඇත්තේ ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කර ඇති රතු වරෙන්තුව පදනම් කර ගෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයේ දැක්වේ.මේ සියල්ලම අපි අගය කරමු .ප්‍රමාද වී හෝ බැදුම්කර මගඩියට එරෙහිව පියවර ගැනීම අප අගය කරමු.එහෙත් මෑතදී සිංගප්පූරු නීතිපතිවරයා එවන ලද ලිපියට අනුව ඉල්ලා ඇති තොරතුරු සිංගප්පූරුව වෙත යැවීම සදහා මෙරට නීතිපතිවරයා මේ වන විට විධිමත් ලෙස කරුණු සකස් කරමින් පවතී යයි ජනාධිපති මාධ්‍ය අංශයම කියනවා නම් අපේ පැත්තේ වගකීම් තවත් ඉටු කිරීමට තිබෙනවා නොවේද ? එනිසා ඒවා ඉටු කර ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අපි ජනාධිපතිවරයාට කියා සිටිමු.

බැදුම්කර මගඩියෙන් බලවත් ලෙස අගතියට පත් වුයේ මේ රටේ ඇති මහත් බහුතර ජනතාවයි.මේ මගඩිය නිසා රජයට සිදු වූ පාඩුවට අමතරව සේවක අර්ථසාධක අරමුදලට ද පාඩු සිදු විය.ආර්ථිකයේ පොලී අනුපාත ඉහළ යාම නිසා මෙය සියලුම ජනයාට අහිතකර ලෙස බලපෑ කරුණකි.මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ ගැන ජනාධිපති කොමිසමක් පත් කිරීම ගැන බොහෝ දෙනෙක් සතුටට පත් විය.ජනයා අපේක්ෂා කළ අරමුණු ඒ අයුරින්ම මේ කොමිසමෙන් ඉටු නොවුණත් ඉන් යම් මෙහෙයක් වූ බව අප පිළිගත යුතුව තිබේ. ඒ නිසා බැදුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය ගැන අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා වගකීම පැවරුණු ආයතන විසින් මහජනයා දැනුම්වත් කිරීම අවශ්‍ය කරුණකි.මෙය බහුතර රටවැසියා බලා සිටින කරුණකි. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව , මහ බැංකුව සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වැනි ආයතන ප්‍රධාන තැනක් ගනී.මේ අතරින් මහ බැංකුව පසුගියදා මේ සම්බන්ධයෙන් යම් කරුණු පැහැදිලි කිරීමක් කර තිබුණි. එය අගය කරන නමුත් තවමත් අපැහැදිලි කරුණු තිබේ.මහජනයා මුල්ක වශයෙන් අපේක්ෂා කරන කරුණු දෙකක් වන්නේ මේ බැදුම්කර මගඩියට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් එම මගඩිය නිසා සිදු වූ පාඩුව අය කර ගැනීමත්ය.මේ කියන බැදුම්කර කොමිසමෙන් පුර්ණ යුක්තිය ඉටු නොවන බව අප මීට පෙරද සදහන් කර ඇත.බැදුම්කර කොමිසම මුලදී ක්‍රියාත්මක වූ ආකාරය ගැන විශාල මහජන ප්‍රසාදයක් තිබුනත් පසුව සිදු වූ දේවල් නිසා මහජනයා තුළ නොයෙකුත් සැක සංකා ඇති විය.කොමිසම ඇතැම් සාක්ෂිකරුවන් ගැන වෙනස් පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් කොමිසම ඒ දිනවල විවේචනයට ලක් විය.කෙසේ වෙතත් කොමිසමෙන් ඉටු වූ අර්ධ යුක්තිය හෝ යථාර්තයක් බවට පත් කර ගැනීමට නම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක විය යුතු අතර ඉදිරියේදී වෙනත් රජයක් යටතේ හෝ තවදුරටත් යුක්තිය ඉටු කර ගැනීමට අවැසි ක්‍රියාමාර්ග ද ගත යුතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Shyam.divaina@gmail.com
Views
154
2019-03-30 16:58:42