ඇදි ඇදී එන බැඳුම්කරයේ ඉතිරි හරිය...
බැඳුම්කර මගඩියෙන් විශාල වශයෙන්ම විපාක විඳිමින් සිටින්නේ මේ රටේ මහජනයා බව අපගේ අදහසයි. මේ අලාභය ගැන විවිධ අය විවිධ කතා කියති. කවරක් නමුත් කිවයුත්තේ විගණකාධිපති වාර්තාවේ ඇත්තේ මේ වංචාව නිසා රජයට හෝ ආර්ථිකයට සිදුවූ මුළු අලාභය නොවේ. මේ ගැන වෝහාරික විගණනයක් කළ යුතුව ඇත්තේද මේ නිසාය. වරක් යහපාලන ආණ්ඩුවේ මුදල් රාජ්‍ය ඇමති ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර මගඩියෙන් රජයට වූ අලාභය රුපියල් ටි‍්‍රලියනයකට වඩා වැඩි බව ප‍්‍රකාශ කළේ රජයේ ඇමතිවරයෙක් ලෙස තොරතුරු ඇතිව විය යුතුය. එසේම මේ වංචාව සිදුවූ යහපාලන රජයේම ඇමතිවරයෙකුව සිටි වර්තමාන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේ රුපියල් බිලියන 11 යනු බැඳුම්කර විගණකාධිපති වාර්තාවේ සඳහන් පරිදි පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ඉපයූ අයුතු ලාභය වුවත් මේ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කළහොත් බැඳුම්කර වංචාව නිසා රුපියල් ටි‍්‍රලියන ගණනක පාඩුවක් සිදුව තිබෙන බවත් ඒ ගැන තර්කයක් නැති බවත්ය. ඉන් පසු වරක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද සිය ප‍්‍රකාශයක දී ආර්ථික විශේෂඥයන් ප‍්‍රකාශ කර ඇති පරිදි මේ බැඳුම්කර වංචාව නිසා රුපියල් බිලියන දහසක පමණ අලාභයක් සිදුව ඇතැයි කී බව අපට මතකය. මෙසේ කීවේ රටේ රාජ්‍ය නායකයාය. ඔහුට මේ අගය ගැන බොරුකීමට අවශ්‍ය බවක් අපට නම් නොසිතේ. ටි‍්‍රලියනයක් යනු රුපියල් බිලියන දහසකි. බිලියනයක් යනු රුපියල් කෝටි සියයක් වන නිසා මේ අගය රුපියල් කෝටිවලින් නම් රු.කෝටි 100,000කි. මෙය මොන තරම් අතිවිශාල මුදලක්ද ? එහෙත් මේ ලියුම්කරුගේ අදහස නම් මේ වංචාව නිසා රජයට, අර්ථසාධක අරමුදලට සහ වෙනත් රාජ්‍ය ආයතනවලට වූ අලාභයට අමතරව මුළු මහත් ජනසමාජයටම අති විශාල පිරිවැයක් දැරීමට සිදුව තිබෙන නිසා සමස්තයක් ලෙස ආර්ථිකයට මේ නිසා සිදුව ඇති අලාභය ගණනය කිරීමට පවා අපහසු අගයක් බවයි. මහ බැංකුවේ කීර්තිනාමයට වූ හානිය සහ කැළල කිසිදා මැකිය නොහැකි තරම් විශාලය. අපගේ අදහස නම් ඒ විශාල හානිය මහ බැංකුවට සිදු කිරීමට වගකිව යුත්තේ අර්ජුන මහේන්ද්‍රන් පමණක් නොවන බවයි. මීට නියම සහ අනියම් වශයෙන් සහාය දුන් සහ න්‍යාය සැපයූ මහ බැංකුවේ වෙනත් අයද මෙයට වගකිව යුතු වේ. එහෙත් මේ අය නීතිය හමුවට ඉදිරිපත් කරනු ඇතිදැයි සැක සහිතය. පසුගිය කාලයේ මේ ගැන අසන්නට සහ දකින්නට සිදුවූ දේවල් අනුව මේ කුප‍්‍රකට වංචාවේ පරීක්‍ෂණ තවමත් නිසි ලෙස සිදු වන්නේද යන්න ගැන ජනසමාජයට ඇත්තේ බලවත් සැකයකි.

මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩුව ගණනය කිරීම සඳහා වෝහාරික විගණනයක් සිදු කිරීමට පසුගියදා පැවැති කැබිනට් රැුස්වීමේදී තීරණය කර ඇති බවට ද මාධ්‍ය වාර්තා කර තිබුණි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම කැබිනට් රැුස්වීමට වෝහාරික විගණනයක් සිදුකිරීමට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවද සඳහන් විය. අදාළ වෝහාරික විගණනය කිරීම සඳහා විශේෂඥයන් පත්කිරීමටත් ඊට අවශ්‍ය මුදල් වෙන්කිරීමටත් මෙම කැබිනට් පත‍්‍රිකාව මගින් ඉඩ සැලසෙනු ඇත.එහෙත් මේ වෝහාරික විගණනයන් කළ යුතුව ඇත්තේ බැඳුම්කර කොමිසමේ නිර්දේශ ප‍්‍රකාරවය. 2015 වසරෙන් පසුව සිදුවූ මගඩිය මුලින්ම සොයා ගතයුතුය. ඊට පෙරත් බැඳුම්කර වංචා සිදුව ඇත්නම් ඒවා වෙනම සෙව්වාට අපට කම් නැත. එහෙත් මේ අවස්ථාවේ මුළු මහත් ජනසමාජයම බලා සිටින්නේ 2015.02.27 න් පසුව සිදුවූ බැඳුම්කර

මගඩියට අදාළ පරීක්‍ෂණ දෙසය. ඒ නිසා මේ බැඳුම්කර වංචාවේ වෝහාරික විගණනයන් 2015 ට පෙර කාලයටද අදාළව කිරීමෙන් සිදුවන්නේ් මේ සියල්ල ප‍්‍රමාද වීමයි. එය එක අතකට නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සෙවීම හා සමානය. මේ කරුණ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අවධානයට ගත යුතු කරුණකි. ඇත්ත වශයෙන්ම මේ වංචාවට වගකිවයුත්තන් මෙහි විපාක විඳිය යුතු වුවත් මේ වැඩවලින් වන්නේ දිගින් දිගටම මේ මගඩියේ විපාක මහජනතාවට විඳින්නට සිදු වීම නොවේද?

මේ අතර ඉකුත් මාර්තු 25 වැනිදා සුවිශේෂී සිදුවීමක් වාර්තා විය. එනම් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු සහ භාණ්ඩාගාර බැඳුම්කර ටෙන්ඩර් මණ්ඩලයේ හිටපු සභාපති වූ පී.සමරසිරි මහතා සහ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්‍ෂවරුන් පිරිසක් අත්අඩංගුවට පත් වූ පුවතයි. ලබන අපේ‍්‍රල් 05 වැනිදා දක්වා ඔවුන් රිමාන්ඞ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් මාර්තු 25 දා නියම කළ පුවත ඊට පසු දින බොහෝ පුවත්පත් තම ප‍්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණි. රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් එදිනම (25දා* කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවා තිබුණි. එහිදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පරීක්‍ෂණවලින් අනතුරුව එම සැකකරුවන් පස්දෙනා අත් අඩංගුවට ගත් බවයි. මෙම සැකකරුවන් ලියාපදිංචි ස්කන්ධ හා

සුරැුකුම්පත් ආඥා පනත යටතේ කුමන්ත‍්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම යන වැරදි සිදුකර ඇති බවට සහ ඔවුන්ට අදාළ සාක්ෂි පිළිබඳ සාරාංශයක් අධිකරණය හමුවට

ගොනුකර ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ දන්වා සිටි බව මාධ්‍ය වාර්තා කර තිබුණි. සැකකාර හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති සමරසිරි මහතා 2015 වසරේ පෙබරවාරි මස 27 වැනිදා සිදුවූ ප‍්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති බවටත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයන් එම සිද්ධියට අදාළ පරීක්‍ෂණවල දී රහස් පොලීසියට පූර්ණ සහය ලබාදී ඇති බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විසිපස් වතාවක් පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිට අවශ්‍ය කරන ලේඛන ඇතුළු සියලූම සාක්ෂි සපයාදීමට පියවර ගෙන ඇති බවත්ය. ඔවුන් කිසිදු අවස්ථාවක අධිකරණය මගහැර යන ආකාරයෙන් කටයුතු කර නොමැති බවත් නීතිඥවරුන් ප‍්‍රකාශ කර තිබිණි. මොවුන්ට අදාළ චෝදනා ලියාපදිංචි ස්කන්ධ හා

සුරැුකුම්පත් ආඥා පනත යටතේ ඉදිරිපත් කර තිබෙන බැවින් ඔවුන්ට ඇප දීමට අධිකරණයට බලයක් පවතින බව විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටිමින් ඔවුන් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බවද මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියේ මෙම සැකකරුවන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇප ලබාදීමට අධිකරණයට බලයක් පැවතියද ඇප පනතේ 14 (2*(ආ* වගන්තිය යටතේ මෙම වරද රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට අදාළවන බැවින් ඊට අදාළව මහජන කැළඹීම් ඇතිවීමට ඉඩකඩ පවතින බවය. ඒ අනුව ඔවුන්ට ඇප ලබාදීමට අධිකරණයට බලයක් පැවතියද ඇප පනත යටතේ ඔවුන්ට ඇප ලබාදීම ප‍්‍රතික්‍ෂේ්ප කරන බව සඳහන් කළ මහේස්ත‍්‍රාත්වරිය ඒ අනුව ඔවුන් අපේ‍්‍රල් මස 05 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත් කරන බවට නියෝග කර ඇත. මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකළ සැකකරුවන් අතර පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එහි අධ්‍යක්ෂවරුන් වන රන්ජන් හුළුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන්, පුෂ්‍යමිත‍්‍ර ගුණවර්ධන සහ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ද ඇතුළත් වූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. දැන් මේ අය අපේ‍්‍රල් 05 දා දක්වා සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාර ගතවයි.

මේ අය අත්අඩංගුවට පත්වුවද අර්ජුන මහේන්ද්‍රන් නම් තවමත් සිටින්නේ විදෙස්ගතවය. ඔහු ශ‍්‍රී ලංකාවට භාරදෙන ලෙස කළ ඉල්ලීමට සිංගප්පූරුව පැත්තෙන් ලැබෙන සහායේ අඩුවක් ඇති බවට පසුගියදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කළ චෝදනාවට සිංගප්පූරුව පැත්තෙන් ප‍්‍රතිචාරයක් ලැබී තිබුණි. ඒ අනුව ප‍්‍රකාශ වූයේ ශ‍්‍රී ලංකාව පැත්තෙන් භාරදීමට ඇති තවත් ලේඛන අප විසින් එරටට භාරදී නොමැති බවයි. එහෙත් මීට ප‍්‍රතිචාර වශයෙන් 2019.03.21 දින ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කීවේ එය සිංගප්පූරු රජයේ නිල ප‍්‍රකාශයක් නොවන බවයි. එය ඇත්තක් විය හැකිය. එහෙත් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයෙන් තවදුරටත් තහවුරු වූයේ කුමක්ද ? එනම් සිංගප්පූරුව පැත්තෙන් තවදුරටත් ඉල්ලා ඇති තොරතුරු අප විසින් තවමත් සපයා නොමැති බව නොවේද? ඊට ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ අන්තිම ෙඡ්දය සාක්‍ෂි සපයයි. ඒ මෙසේය.

”අර්ජුන මහේන්ද්‍රන් මහතාට අදාළ චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන ලෙස සිංගප්පූරු නීතිපතිවරයා විසින් ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ශ‍්‍රී ලංකාවේ නීතිපතිවරයා වෙත දන්වා ඇති අතර මෑතකදී ලැබුණු එම ලිපියට අදාළ කරුණු සිංගප්පූරුව වෙත යැවීම සඳහා මෙරට නීතිපතිවරයා මේ වන විට විධිමත් ලෙස කරුණු සකස් කරමින් පවතී. ඉහත සිද්ධිය සම්බන්ධයෙන් සිංගප්පූරු විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙකු කරනලදැයි කියන වාර්තාවක් පදනම් කර ගනිමින් මෙරට මාධ්‍යවල පළවී තිබූ ප‍්‍රකාශ කිසිසේත් සිංගප්පූරු රජයේ නිල ප‍්‍රකාශ වශයෙන් පිළිගත නොහැකි බව අප රජයේ අදහසයි.”

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිංගප්පූරු මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් මෙරට මාධ්‍යවල පළවී තිබු ප‍්‍රකාශ කිසිසේත් සිංගප්පූරු රජයේ නිල ප‍්‍රකාශ වශයෙන් පිළිගත නොහැකි බවට ජනපති මෛත‍්‍රිපාල සිරිසේන වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙසේ ප‍්‍රකාශ කළත් එහිම සඳහන් වන්නේ සිංගප්පූරුව වෙත යැවීම සඳහා මෙරට නීතිපතිවරයා මේ වන විට විධිමත් ලෙස කරුණු සකස් කරමින් පවතින බව නොවේද? සිංගප්පූරුවට දොස් කියන අවස්ථාවේ ජනාධිපතිවරයා මෙසේ අර්ජුන මහේන්ද්‍රන් මහතාට අදාළ චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන ලෙස සිංගප්පූරු නීතිපතිවරයා විසින් ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ශ‍්‍රී ලංකාවේ නීතිපතිවරයාට ලිපියක් එවා ඇති බවක් කීවේ නැත. ඔහු ඒ බවක් ඒ වන විට නොදැන සිටියාදැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයෙන් රටට පැහැදිලි වූ සත්‍යය නම් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු මාධ්‍යට කර තිබූ සඳහන එරට රජය විසින් මෙරටට ලබා දුන් නිල ප‍්‍රකාශයක් නොවුණත් එහි සඳහන් කරුණ සත්‍යයක් බවයි. එය මෙරට රජයට ලබා දුන් නිල ප‍්‍රකාශයක් යයි මෙරට මාධ්‍ය කියා සිටියේ නැත. ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ මෙසේද සඳහන්ය. එනම් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට උදර්පනය කරන ලෙස ශ‍්‍රී ලංකා රජය විසින් පසුගිය වසරේ මැයි මස 28 වැනි දින රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් නිල ඉල්ලීමක් සිදුකළ බවයි. අදාළ නිවේදනයේ මේ වනවිට එම ඉල්ලීම සිංගප්පූරු නීතිපතිවරයාගේ අවධානයට යොමුවී ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙරට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අදාළ අංශ වෙත දන්වා ඇති බවද දැක්වේ. ජනාධිපතිවරයාගේ සිංගප්පූරු නිල සංචාරයේදී අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ‍්‍රී ලංකාවට උදර්පනය කරන ලෙස සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති අතර එම ඉල්ලීම සිදුකර ඇත්තේ ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කර ඇති රතු වරෙන්තුව පදනම් කරගෙන බව ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ දැක්වේ. මේ සියල්ලම ඇත්තය. එහෙත් මෑතකදී සිංගප්පූරු නීතිපතිවරයා එවන ලද ලිපියට අනුව ඉල්ලා ඇති තොරතුරු සිංගප්පූරුව වෙත යැවීම සඳහා මෙරට නීතිපතිවරයා මේ වන විට විධිමත් ලෙස කරුණු සකස් කරමින් පවතින බවට ජනාධිපති මාධ්‍ය අංශයම කියනවෘ නම් අපේ පැත්තේ වගකීම් තවත් ඉටු කිරීමට තිබෙනවා නොවේද? එ් නිසා ඒවා ඉටු නොකර නිකන්ම සිංගප්පූරුවට දොස් කීමෙන් ඵලක් නැති බව අප නැවතත් කියා සිටිමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com
දිවයින - 2019.03.28
Views
300
2019-03-28 00:30:49
ජනප්‍රිය පුවත්