අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා ජනපති කියන්නේ බොරු - සිංගප්පූරු රජයෙන් ප්‍රතිචාරයක්



මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන වගඋත්තරකරු ශ්‍රී ලංකාවට ලබා දීම සදහා සිංගප්පූරුව මේ දක්වා කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ චෝදනාව සිංගප්පූරු රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ඉල්ලීමට අදාළ කටයුතු ප්‍රමාද වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය තොරතුරු සහ ලේඛන ලබාදීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන වගඋත්තරකරු ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙසට සිංගප්පූරු අගමැතිවරයාගෙන් තමා පෞද්ගලිකව ඉල්ලීමක් කළ ද මේ දක්වා ඔවුන් ඒ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදු නොකිරීම සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවති උත්සවයකදි සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය පිළිබඳ පසුගිය ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සිංගප්පූරු බලධාරීන් සහයෝගයෙන් කටයුතු කර ඇති බවය.

අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නම් උදර්පණ නීතිය යටතේ සිංගප්පූරුවට තොරතුරු රැසක් අවශ්‍යවන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීම් සිදුකර ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කර ඇත.

කෙසේවෙතත් ඊයේ (20) දිනය වන තුරු ඊට අදාළ ලියකියවිලි සහ තොරතුරු සිංගප්පූරු බලධාරීන් වෙත ලැබී නොමැති බව ඔහු පෙන්වා දී ඇත.

එම තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව සිය රටේ නීතියට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බව ද සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.



Views
282
2019-03-20 16:53:08
ආර්ථික පුවත්