අවස්තාවක් ලද සැණින් රජය පෙරලීම විපක්ෂයේ ප්‍රතිපත්තියයි - බන්දුල ගුණවර්ධන

ශ්‍රීලනිප මන්ත්‍රීවරු එජාපය පැත්තේ සිට ගන්නවා වෙනුවට ජනතාවගේ පැත්තේ සිට ගන්නා තත්වයට පත් කරගනිමින් මේ අයවැය පරාජය කර මහ මැතිවරණයක් ලබා ගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තවත් උත්සාහයක් ගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුනවර්ධන මහතා ඊයේ (17) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

මෙවර අයවැය පරාජය කර මේ රජයේ අහිතකර වැඩපිළිවෙල වෙනස් කර ගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂා කළත් අවසානාවකට ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජන්දය දීමෙන් වැළකී සිටි බවද මන්ත්‍රීවරයා කීවේය.

එහෙත් එතුමා මේ සදහා නැවත තවත් උත්සහයක් දරන බවද බන්දුල ගුනවර්ධන මහතා ඊයේ මාධ්‍ය හමුවේදී 'දිවයින' අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.

අවස්තාවක් ලද සැණින් රජය පරාජය කර මහ මැතිවරණයක් ලබා ගැනීම විපක්ෂයේ මුලික ප්‍රතිපත්තියක් බවද මන්ත්‍රීවරයා කීවේය.
රට වැනසෙන තීන්දු තීරණ ගන්න ආණ්ඩුවක් තියෙන එක නතර කර ගැනීම එහි අරමුණ බවද ඔහු කීවේය

ඔක්තෝබර් 26 දින මේ සදහා ගත් උත්සාහය අසාර්ථක වුවත් මේ ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි කිරීමට විපක්ෂය සමත් වූ බවත් ඒ තුලින් මේ ආණ්ඩුවට තුනෙන් දෙකකින් කළ හැකි විනාශය නතර කරගෙන ජයග්‍රහණයක් ලබා ගත් බවත් ඒ මහතා කීවේය.

ශ්‍රීලනිප මන්ත්‍රීවරු එජාපය පැත්තේ සිට ගන්නවා වෙනුවට ජනතාවගේ පැත්තට ගන්නා උත්සාහය දිගටම කරන බවත් ඇතැම් විට ඒ උත්සාහය සියයට සියයක් සාර්ථක නොවනු ඇති බවත් බන්දුල ගුනවර්ධන මන්ත්‍රීවරයා කීවේය.

දිවයින - මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩක් තිබෙන බවද මේ කියන්නේ ?
බන්දුල ගුණවර්ධන මහතා - ජනාධිපතිවරණයට තව කල් තියෙනවනේ.ඉල්ලුවත් අපට ප්‍රශ්නයක් නැ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා - ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලය හොර ගුහාවක් කියල අයින් වුනත් අපි ඒ වැරදි ගිවිසුමේ සම අනුග්‍රාහකත්වය දක්වමින් තවමත් ඉන්නවා . විශේෂයෙන් කාලයත් දික් කරගෙන තියෙනවා කොන්දේසි ඉටු කිරීමට කියල.ඒ නිසා රටට ආදරේ නැති නිවාට පාලකයන් ඉන්නකම් මේ රටට සෙතක් වෙන්නේ නෑ.
Views
332
2019-03-17 04:45:54