ඩුබායි කියන්නේ ලංකාවට ඉතාම වැදගත් සංචාරක වෙළෙදපොළක්


ඩුබායි ඇතුළු අරාබිකරය ගැන කිව් සැනින් අපට මතක් වන්නේ කාන්තාරය ගැනය. එසේම රට ඉදි ගැනය.එහෙත් අද වන විට මේ රටවල් විශාල දියුණුවක් ලබා තිබේ.විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය එනම් යුඒඊවලට අයත් ඩුබායි සහ සාජාවල සංචාරය කරන්නට මේ ලියුම්කරුට අවස්තාව ලැබිණි.ඒ ඩුබායිහි ජේ.ඩබ්ලිව් මැරියට් මාකිව්ස් හෝටලයේ දී පසුගිය පෙබරවාරි 24 දින සිට පෙබරවාරි 27 දින දක්වා 'දකුණු ආසියාතික ආරථික ඒකාබද්ධතාවයේ ආර්ථික ප්‍රතිලාභ ' මැයෙන් පැවති සමුළුවකට සහභාගී වීමට ලද ආරාධනයකට අනුවය.එහි වෙසෙන ශ්‍රී ලාංකික ලේඛිකාවක් වන සුරංගි අතුකෝරල මහත්මියගේ සහ ඇයගේ ස්වාමියාගේ ආරාධනයෙන් ඩුබායි සහ සාජාවල බූ ස්ථානවල සංචාරය කිරීමට මේ ලියුම්කරුට අවස්තාව ලැබුණු අතර ඒ අතරතුර ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට ද ගොස් එහි සිටින අපේ කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා ද හමු වී සංවාදයක යෙදීමට අවස්තාව ලැබිණි. ඔහුට දෙරටේ ආර්ථික වෙළෙද සහ සංචාරක කටයුතු ගැන විශාල දැනුමක්ද තිබෙන බව එම කතාබහේදී පැහැදිලි වූ කරුණකි.ඒ අනුව මෙවර 'ආර්ථික ඇසින් 'තීරුව වෙන් වන්නේ ඩුබායිහි සිටින ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා සමග කළ ආර්ථිකමය සංවාදයකටය.


ප්‍රශ්නය - ඩුබායිවල දැනට ශ්‍රී ලාංකිකයන් කොපමණ ඉන්නවද ?
පිළිතුර - රටක් විදියට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන තැනක් මේක.

මේ රටේ 250,000 ක් පමණ ඉන්නවා කියන එකයි දළ වශයෙන් ඇස්තමේන්තුව. එක්සත් අරාබි එමීර් රාජ්‍යය එනම් යුඒඊ හැදිලා තියෙන්නේ එමිරේට 7 කින්.එතකොට ඩුබායි කියන්නේ ඉන් එක එමිරේට් එකක්.ඩුබායිවල ලක්ෂ දෙකක් පමණ සහ මුළු රටම තුළ ලක්ෂ දෙකහමාරක් පමණත් ඉන්නවා කියල තමයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ.ඒ අනුව අබුඩාබිවල පනස් දහසකට වඩා අඩුවෙන් ඉන්නේ.මේ අයගේ සංයුතිය ගත්තොත් ඉහළ රැකියා කරන අයගේ සිට පහළම දක්වා ඉන්නවා.ගෘහ සේවිකාවන් කරන සේවයත් අපි අගය කරනවා.ඔවුන් මේ පිරිසෙන් සියයට 25 ක් පමණ ඉන්නවා.ඒ අයට මෙහෙ ඉලුමකුත් තියෙනවා.මෙහෙ ජනගහනය මිලියන 9.2 ක් ඓතර වෙනවා.ඒකෙන් ගොඩක් පිටරට අය ඉන්නේ.මේ රටේ ඉන්නේ මිලියන 1.4 ක් විතර එම ජනගහනයෙන්.ඒ අය වගේම වෙනත් පිටරටින් ආපු අයත් බොහොම ඉහළ ආදායම් ලබන අය.ඒ අයගේ කටයුතු කරග ගන්න ගෘහ සේවිකාවන්ටත් ඉල්ලුමක් තියෙනවා.ලංකාවට අමතරව පිලිපීනය,ඉන්දීයාව.බංගලිදේශය සහ ඉතියෝපියාව වගේ රටවල ගෘහ සේවිකාවන් මෙහෙ ඇවිත් වැඩ කරනවා. ඊට අමතරව ක්ලීනින් කරන අයත් ඉන්නවා.

විශේෂයන් කියන්න ඕන අපේ ඉහළ රැකියා කරන අයත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ප්‍රමාණ සමීක්ෂකවරු ඉන්නවා දහසකට වැඩි ප්‍රමාණයක්.ඒක තමයි අපේ ප්‍රධානතම වෘත්තීය රැකියා කරන කොටස.ඒකෙ ගොඩක් ආදායමක් උපයන අය ඉන්නවා.තව අපේ ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරු ,හෝටල් කර්මාන්තයේ නිරත අය සහ බැංකුකරුවන් වගේ වෘත්තීකයන් විශාල ප්‍රමාණයක් මේ රටට දායකත්වය සපයනවා. ඒ අය මේ රටේ ( ඩුබායි ) ආර්ථිකයට ලොකු දායකත්වයක් සපයනවා.එසේම ඒ අය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ප්‍රේෂණ යවල ලොකු දායකත්වයක් අපේ රටටත් සපයනවා.
මෙතන සංඛ්‍යාලේඛන පැත්තෙන් පොඩි ගැටළුවක් තියෙනවා. එනම් ඒ අය ගාව නැහැ හරියට සංඛ්‍යාලේඛන මෙහෙන් පමණක් පමණක් එන අය ගැන.ඒ අය දෙන්නේ කලාපයටම අදාලවයි.මම දන්නේ නෑ ඒකට හේතුව කුමක්ද කියල. ඒ අය කියන්නේ එහෙම ගණනය කරන්නේ නෑ කියලයි.

ප්‍රශ්නය - ඒ කියන්නේ මහ බැංකුව සංඛ්‍යාලේඛන දක්වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එනම් යුඒඊ කියලද ?

පිළිතුර - නෑ මැදපෙරදිග කලාපයටම.ඒ අය කියන්නේ වෙනම ගණනය කරන්නේ නෑ කියලයි. අපේ තිබුණු ඇමරිකානු ඩොලර් බිලියන 7.2 ක් පමණ වූ අපේ විදේශ විනිමය ප්‍රේෂණවලින් බිලියන 3.7 ක් ගිහින් තිබුණේ මැදපෙරදිග කලාපයෙන්.ඒ නිසා ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ප්‍රේෂණ ලැබීම්වලට ලොකු දායකත්වයක් සපයනවා.ඒ අනුව මෙහෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් හෝ දෙකක් අතර ප්‍රමාණයක දායකත්වයක් ඇති.නමුත් ඒ සදහා හරියටම ගණනක් කියන්න අපහසුයි.මහ බැංකුව එය ගණනය නොකරන නිසා.එහෙත් කලාපය ගත්තම එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදී අරාබිය ,කුවේට් ,කටාර් වගේ මැද පෙරදිග කලාපයට අයත්.ඒ නිසා මේ කලාපයෙන් යුඒඊ කියන එක ප්‍රධාන තැනක් උසුලනවා.මේ නිසා පහළ මට්ටමේ රැකියා කරන අය මෙන්ම ඉතා ඉහළ වැටුප් ලබන ඉහළ රැකියා කරන සැලකිය යුතු පිරිසකුත් මෙහෙ ඉන්නවා.

ප්‍රශ්නය - මින් ලාංකිකයන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ කොහෙද ?
පිළිතුර - මෙහෙ ඉන්න ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ ඩුබායි සහ සාජාවල.

ප්‍රශ්නය - ඩුබායි ඉන්න අය ශ්‍රී ලංකාවේ සංචාරය සදහා යනවද ?
පිළිතුර - ඔව්. ඒත් මෙතන පොඩි ගැටළුවක් තියෙනවා.අපි රටක් විදියට සංචාරක දත්ත ගණනය කරන්නේ පාස් පෝට් එක පදනම් කරගෙන.මෙහෙ ඉන්න ඇමරිකන් කෙනෙක් ශ්‍රී ලංකාවට ගියත් එයා ගණනය වෙන්නේ ඇමරිකාවේ කෙනෙක් ලෙසයි.ඇත්තටම මේ රටේ ඉදන් ඉතා විශාල ප්‍රමාණයක් ලංකාවට යනවා. දැනට අඩුම තරමේ එක දිනකට ගුවන් ගමන් දහයක් පමණ තියෙනවා ඩුබායි සහ සාජා සිට කොළඹට. මම මේ අබුඩාබි අයින් කරලා කිව්වේ.ඒකත් ආවම තවත් ලොකු ප්‍රමාණයක්.එමිරේට්ස් , ශ්‍රී ලන්කන් ,එයා ඇරාබියා ,ෆ්ලයි ඩුබායි ඒ ඔක්කොම ගත්තම දිනකට විශාල ගුවන් ගමන් රැසක් තියෙනවා කොළඹ සහ මෙහේ අතර. ඒ නිසා ඉතා විශාල විදේශිකයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට යනවා.මගේ අදහස එක ලකෂෙකට වඩා වැඩි වෙන්න ඕන කියන එකයි.නමුත් ඒ දත්ත ගණනය වෙන්නේ ඒ අයගේ ගුවන් ගමන් බලපත්‍රය අනුව.ඒ නිසා හරි සංඛ්‍යාලේඛන ගන්න බෑ.උදාහරණයක් ලෙස දැනට ලනකාවේ වැඩිම සංචාරක පැමිණීම් තියෙන්නේ ඉන්දියාවෙන්නේ.ඊට පස්සේ එක්සත් රාජධානියෙන් එන්නේ.දැන් මෙහෙ ඉන්දියානුවෝ ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා.ඒ අය මෙහෙ ඉන්නවා මිලියන 3.3 ක් විතර.

ප්‍රශ්නය - ඒ සියලු දෙනා ඉන්දියානු ගුවන්ගමන් බලපත් හිමි අය ?

පිළිතුර - ඔව්.ඒ අය ඉන්දියානු ගුවන්ගමන් බලපත් හිමියොනේ.ඒ අයට මේ රටේ පාස්පෝට් ලැබෙන්නේ නැනේ.මේ රටේ පාස්පෝට් ලැබෙන්නේ මෙහේ අයට විතරයි.මේ රටේ අය යන ප්‍රමාණය 10,000 කට වඩා අඩු ප්‍රමාණයක්. ඒ අයගේ ඉන්නේ මිලියන 1.4 ක වගේ ජනගහනයක්නේ.ඒකත් වර්ධනය කර ගන්න නොයෙකුත් වැඩසටහන් කරනවා.මෙහෙ සියයට 85 කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ විදේශිකයින්.ඒ නිසා මේ රට විදේශ සංචාර පැත්තෙන් ඉතා වැදගත්.අනිත් එක මෙහෙ ඉන්නේ හොදට ආදායම් උපයන අය. මෙහෙ ඉදන් ලංකාවට යන්න ගත වෙන්නේ පැය හතරහමාරයිනේ. ලංකාවට ගුවන් ගමන් ඕන තරම් තියෙනවා.ඒ නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්න නේවාසිකයන්ගෙන් ඉතා ලොකු ඉල්ලුමක් තියෙනවා ලංකාවේ සංචාරය කරන්න.ඒ අය විවිධ ජාතිකයන්.ඒ අයට විවධ රටවල පාස්පෝට් තියෙන්නේ.ඉන්දියන් ,පකිස්තාන් ,ඇමරිකන් සහ එක්සත් රාජධානියේ වගේ රටවල අය.මේ නිසා අපේ රටේ සංචාරක දත්තවල මේ රටවලින් ආවා කියල කියන අයගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නේවාසික මෙහෙන් ගිය අයත් සැහෙන ප්‍රමාණයක් ඉන්නවා.
ප්‍රශ්නය -ඔබ කියන්නේ මෙහෙ සිට ලංකාවට යන අය ලංකාවේ සංචාරක දත්තවල සටහන් වෙන්නේ ඒ අයගේ පාස්පෝට් එක හිමි රට අනුව එම රටින් පැමිණියා කියලයි ?
පිළිතුර - ඔව් මෙහෙ පදිංචි වෙලා ඉන්න නේවාසිකයන් ලංකාවට ගියාට ඩුබායි වලින් ගියා කියල ගණනය වෙන්නේ නෑ.ඒක තමයි දැනට අපට තියන ලොකුම ප්‍රශ්නය මෙහෙ ඉදන් කී දෙනක් ලංකාවට ගියාද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න.මෙහෙ පාස්පෝට් තියන අය යන්නේ 10,000 කට අඩු පිරිසක් නිසා සමහරු හිතනවා මේක වැදගත් නෑ කියල.නමුත් මේක ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් සංචාරක වෙළෙදපොලක්.හේතුව ගොඩක් ඉහළ ආදායම් ලබන පිරිසක් ඉන්නවා. එනිසා මෙතන අපේ සංචාරක ප්‍රවර්ධන කටයුතු නිතර කරන්න ඕන තැනක්.දැන් මම ආවට පස්සේ ගොඩක් සංචාරක ප්‍රවර්ධන කටයුතු කරන්න පටන් අරන් තියෙනවා.
ප්‍රශ්නය - අපේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ක එකතු වෙලාද ඒවා කළේ ?

පිළිතුර - ඔව්.ඇත්තටම අපි ගිය අවුරුද්දේ ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් කළා.ගිය අවුරුද්දේ අපේ 25 වන සංවත්සරය සම්පුර්ණ කළා මේ කොන්සල් ජනරාල් කාර්යාලය ස්ථාපිත කරලා.ඒකටත් අපි ලොකු වැඩසටහනක් කළා 'ශ්‍රී ලංකා දිනය' () කියලා.ඒක තමයි යුඒඊ වල තිබුණු ලොකුම ශ්‍රීලංකන් ඉවෙන්ට් එක. 25,000 කට වඩා ශ්‍රී ලාංකික පිරිසක් එකට ඇවිත් හිටියා.එතැනදී විදේශිකයන් අතරත් අපේ රට ගැන ලොකු ප්‍රවර්ධනයකුත් සිදු වුණා.ඒ සදහා අපි වැඩසටහන් ගණනාවක් කළා.ඊට අමතරව සංචාරක ප්‍රවර්ධනය පැත්තෙන්ම ගත්තම අර්මානි හොටෙල් එකේ වැඩසටහක් කළා.මෙහෙ තියන ප්‍රධානම හොටෙල් එක බර්ජ් කලීෆාවල තියන.එක තමයි ලෝකේ උසම ගොඩනැගිල්ල.ඒකෙ තියෙනවා හොටෙල් එකක් අර්මානි කියලා පල්ලෙහාම.ඒකෙ තමයි අපි ජාතික දිනය කළේ.එහි ප්‍රමුඛ අවධානය අපි යොමු කළේ විදේශිකයන්ව.එනම් විදේශීය කොන්සල් ජනරාල්වරු ,සංචාරක නියෝජිත ආයතනවල නියෝජිතයන් සහ ඉහළ ආදායම් ලබන ව්‍යාපාරික පිරිස් වගේ අය ඉලක්ක කරගෙන අපි ඒක කළේ.ඔක්කොම හාරසියයකට වඩා ඇවිත් හිටියා.එකේදී අපි ශ්‍රී ලංකාව ගැන ලොකු ප්‍රවර්ධනයක් කළා.චන්දන වික්‍රමසිංහ තමයි නැටුම් කළේ.ඒ නිසා ගොඩක් පිරිසක් ලංකාවට ගියා.

තව ඇරබියන් ට්‍රැවල් මාට් කියල එකක් තියෙනවා.එක තමයි මේ කලාපයේ තියන ලොකුම සංචාරක වෙළෙද ප්‍රදර්ශනය.මේකට ශ්‍රී ලාංකික සමාගම් 50 කට වැඩිය සහභාගී වෙනවා.ඒ අය වෙළෙද කුටි එහෙම දානවා ඔවුන්ගේ.එකේ වැදගත්කම තියෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එනම් යුඒඊ වලට පමණක් නෙවෙයි මැදපෙරදිග කලාපයටම එක අදාලයි.ඒකට සමගාමීව අපි road shows කීපයකුත් කළා.එකක් සාජාවල එකක් ඩුබායිවල සහ තව එකක් අබුඩාබිවල කළා.තව ටෙස්ට් ඔෆ් ඩුබායි කියල පාරිභෝගික ප්‍රදර්ශනයක් තියෙනවා.එකටත් අපි ගිය වසරේ සංචාරක මනදලයත් එක්ක සහභාගී වුණා.මේ සැරෙත් සහභාගී වෙනවා.තව මෙහේ කරනවා රග්බි සෙවන්ස් කියල ඉතා ඉහළ මට්ටමේ වැඩසටහනක්.ඒක දෙසැම්බර් මාසේ තිබ්බේ එකට අපි සහභාගී වුණා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයත් එක්ක.ඒක හරි වැදගත් මොකද එකට ඔක්කොම ලක්ෂයක් විතර එනවා.එක දවස් තුනක් වගේ තියන කානිවල් වගේ එකක් රග්බිවලට.ඒකට සහභාගී වුණා හේතුව එතනට එන්නේ විශේෂිත පිරිසක් නිසා.ඔය වගේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් අපි වසර පුරාම වැඩසටහන් ගණනාවක් කරනවා.හේතුව මේක අපට ඉතා වැදගත් වෙළෙදපොලක් සංචාරක පැත්තෙන්.මේ රටේ විශාල ප්‍රමාණයක් විදේශිකයෝ නේවාසිකව ඉන්න නිසා.මීළග අප්‍රේල් මාසේ තියන ඇරබියන් ට්‍රැවල් මාට් එකට අපි සහභාගී වෙනවා.මේ පාරත් ශ්‍රී ලාංකික සමාගම් 50කට වඩා එයි කියල අපි බලාපොරොත්තු වෙනවා. ඒක යුඒඊ වලට පමණක් නෙවෙයි කලාපයටම තියන එකක් නිසා අපට ඉතා වැදගත්.එතැනදී සංචාරක නියෝජිත සහ ව්‍යාපාරික හමු තියෙනවා.එක අපේ සංචාරක කර්මාන්තය ඉස්සරහට දියුණු කරන්න ඉතා වැදගත්.මේ වසරේදී MICE සංචාරක වැඩසටහනකුත් කරන්න ඉඩ තියෙනවා.ඒ ගැන අපි දැනට සාකච්ජා කරගෙන යනවා.

ප්‍රශ්නය - ඩුබායිවල ආර්ථික ශක්තිය ඔබ දකින්නේ කොහොමද ?

පිළිතුර - එක්සත් අරාබි එමීර් රාජ්‍යය එනම් යුඒඊ ගත්තම අබුඩාබිවල තමයි ප්‍රධාන වශයෙන් තෙල් තියෙන්නේ.මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් විතර තමයි තෙල් නියෝජනය කරන්නේ.මේකෙන් එමිරේටයක් ලෙස ඩුබායි ගත්තම ප්‍රධාන ආදායම් මාර්ගය තෙල් නෙවෙයි.ඩුබායි කියන්නේ තෙල් මත ගොඩනැගුනු ආර්ථිකයක් නෙවෙයි.ඩුබායි කියන්නේ මුලික වශය්ව්න් වානිජමය කටයුතු මත ඇති වූ ආර්ථිකයක්.එයිනුත් සංචාරක කර්මාන්තය ඉතා වැදගත්.ඒ කියන්නේ ගිය අවුරුද්දේ (2018) මෙහෙ ඇවිත් තියෙනවා මිලියන 16 ක් විතර. ඊට අමතරව මෙහේ එයාපෝට් එකේ ගිය වසරේ සම්පුර්ණ කළා ඒ අයගේ බිලියනය වැනි ගුවන් මගියා.එනම් මෙහේ ගුවන් තොටුපොල පටන් ගත්තට පස්සේ මේ ගුවන් තොටුපොලට පැමිණි බිලියනය වැනි ගුවන් මගියායි. සාමාන්‍යයෙන් මේ එයාපෝට් එක හරහා ගමන් කරනවා වසරකට මිලියන 90 ක් පමණ පිරිසක්.හිතන්නකෝ ආදායම කෙතරම්ද කියලා,ඊට අමතරව ව්‍යාපාරික කටයුතුවලට ඉතා හිතකර ආර්ථික ප්‍රතිපත්තියක් තමයි මේ රට අනුගමනය කරන්නේ. ඒ ආර්ථික ප්‍රතිපත්තියත් සමග මේ රටේ ආර්ථික වර්ධනයට ප්‍රධනතම හේතුව තෙල් නෙවෙයි.ඩුබායිවල දියුණුවට ප්‍රධානතම හේතුව වාණිජ ක්ෂේතරයන්ගේ දියුණුවයි.ඒක පැහැදිලිවම කියන්න පුළුවන්.විවිධ රටවලින් ඇවිත් මෙහෙ ව්‍යාපාරික කටයුතු කරන්න පුළුවන්. ඒ බිස්නස් පටන් ගන්න දේශීය සහකරුවෙක් ඕන කරනවා,නමුත් මෙහෙ නිදහස් කලාප වගයක් තියෙනවා ඒවායේ ඕන කෙනෙකුට කිසිම කෙනෙක් නැතුව තමන්ට තමන්ගේ බිස්නස් පටන් ගන්න පුළුවන්.මේ නිසා ව්‍යාපාර කටයුතුවලට හිතකර පරිසරයක් තමයි ගොඩනගල තියෙන්නේ.ඒ කියන්නේ ආදායම් බදු නෑ.ගිය අවුරුද්දේ ජනවාරි 01 1එනිද ඉදන් වැට් එකක් පටන් ගත්ත.ඒ හැරුනම වෙන ආදායම් බදු මොනවත් නෑ.ඒක ලොකු ලොකු පිටුවහලක් වෙලා තියෙනවා මේ රටට කට්ටිය එන්නත්.ලෝකේ තියන ලොකුම සමාගම් මෙහෙ තියෙනවා.
ඒවගේම සදහන් කරන්න ඕන ඩුබායි ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානය ගැන.ඒකට අපි කියන්නේ DIFC එක කියලා.එකට ලෝකේ තියන ලොකුම 500 කට වැඩි ප්‍රමාණයක් තියෙනවා.ඒක වෙනම කලාපයක් ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ.කලාපයක් විදිහට ඒ අයට පුළුවන් බැංකු කටයුතු කරන්න.හැබැයි ඒ අයට දේශීය සිල්ලර වෙළෙදපොළට එන්න බෑ.ඒ අයට අන්තර්ජාතික වශයෙන් සියලු කටයුතු කරන්න පුළුවන්.එකට අවශ්‍ය සියලු පහසුකම් සපයල තියෙන්නේ. ලංකාවේ තියෙන පොර්ට් සිටි එකෙත් ඔය කටයුතු කරන්න සුදානමක් තියෙනවා.

චරිත යට්ටෝගොඩ
ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
121
2019-03-15 08:16:20