සුරේන් රත්වත්ත ශ්‍රී ලංකන් කොමිසමට

ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම

2016 වසරේදී එයා බස් ඒ 350 - 900 ගුවන් යානා මිලදී ගැනීමේ ලීස් ගිවිසුම් අවලංගු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත මහතා ශ‍්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවට කැදවන බව
කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඊයේ (14) කොමිසමේ සාක්ෂි විභාගය අතරතුර ප්‍රකාශ කළේය


මේ ගුවන් යානා ලීස් ගිවිසුම් අවලංගු කිරීමේ ගනුදෙනු ගැන තමා සම්පුර්ණ විස්තර නොදන්නා බව ඊයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මුල්‍ය කළමනාකරණ අංශ ප්‍රධානී යසන්ත දිසානායක මහතා කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

යසන්ත දිසානායක මහතා මේ බව ප්‍රකාශ කිරීමෙන් පසු කොමිසමේ සභාපතිවරයා මේ බව කීවේය.
මේ ජනාධිපති කොමිසම පටන් ගන්නා තෙක් මීට සම්බන්ධ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ජා සටහන් පවා තමා නොදුටු බවද ඒ නිසා මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සිතු ආකාරය ගැන තමාට අවබෝධයක් නැති බවද යසන්ත දිසානායක මහතා කොමිසමට කියා සිටියේය.

මීට පෙර අවස්තථාවක කොමිසම හමුවේ සාක්ෂි දුන් අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ 2016 වසරේදී එයා බස් ඒ 350 - 900 ගුවන් යානා හතරක් මිලදී ගැනීමේ ලීස් ගිවිසුම් අවලංගු කිරීමේ තීරණය ගැන අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීමක් නොකළ බවයි. මේ ලීස් ගිවිසුම් අවසන් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කළ බව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් නමුත් ඒ සදහා පසුව අනුගමනය ක්‍රියාවලිය ගැන අමාත්‍ය මණ්ඩලයට දැනුම් නොදුන් බවද ඔහු කීවේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය කළමනාකරණය විසින් වර්ෂ 2013 දී නව ඒ 350 පුළුල් බඳ ගුවන් යානා මිලදී ගැනීමට තීරණය කර තිබු අතර 2015 දී නව රජය බලයට පත් වීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව කළමනාකරණය විසින් 2016 වසරේදී එයා බස් ඒ 350 - 900 මුල්ගුවන් යානා හතර මිලදී ගැනීමේ ලීස් ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කරන ලදී.මේ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 90 කට අධික මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුව තිබෙන බවට පුරෝකථනය කර තිබිණි.

ජනාධිපති නීතීඥ නීල් උනම්බුව මහතා ඇතුළු නීතීඥ මණ්ඩලයක් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටියි.

කොමිසම ඊයේ (14 ) උදේ 10.30ට පමණ කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
Views
325
2019-03-15 07:39:40
ආර්ථික පුවත්