වෝහාරික විගණනයක් කළහොත් බැදුම්කර වංචාවේ පාඩුව රුපියල් ට්‍රිලියන ගණනක් විය හැකියි - සුසිල් ප්‍රේමජයන්ත
රුපියල් බිලියන 11 යනු බැදුම්කර විගණකාධිපති වාර්තාවේ සදහන් පරිදි පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම ඉපයූ යුතු ලාභය වුවත් මේ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කළහොත් බැදුම්කර වංචාව නිසා රුපියල් ට්‍රිලියන ගණනක පාඩුවක් සිදුව තිබෙන බවද ඒ ගැන තර්කයක් නැතැයිද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසුල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (19) කොළඹ විපක්ෂ නායක කාර්ලාලයෙදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

එය අංශ ගණනාවක් යටතේ වෙන වෙනම වර්ෂ තිහකට, තිස් පහකට පමණ ගණනය කළ යුතුව ඇති බවද ප්‍රේමජයන්ත මහතා කීවේය.

එය ගණනය කිරීමට අපේ රටේ විශේෂඥයන් නැති බවද ඇත්ත මුල්‍ය පාඩුව සෙවීමට වෝහාරික විගණනයක් කළ යුතු බවට බැදුම්කර කොමිසමෙනුත් නිර්දේශ කරලා තියෙන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.

බැදුම්කර වංචාවේ පාඩුවට වඩා මහපොළ අරමුදලේ පසුව වැඩි බව සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කිරීමත් සමග මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම මෙහි පාඩුව බිලියන දහසකට (රුපියල් ට්‍රිලියනයකට ) වඩා වැඩි බව ප්‍රකාශ කර ඇති නිසා බැදුම්කර වංචාවේ පාඩුවට වඩා මහපොළ අරමුදලේ පාඩුව වැඩි බව කියන්නේ කෙසේද යන්නයි.

එයට පිළිතුරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුසුල් ප්‍රේමජයන්ත මහතා මේ බව කීවේය.

දැන් මේ මොන දේ කළත් බැදුම්කර සිද්ධිය යට ගොස් ඇති බවද ඔහු කීවේය.

රජයේ විගණකාධිපති වාර්තාවේ මේ බැදුම්කර මගඩිය නිසා අදාළ සමාගම රුපියල් බිලියන 11 ක අයුතු ලාභයක් උපයා ඇති බවට සදහන්ව ඇති බවද එම අගයට සාපේක්ෂව මහපොළ අරමුදලේ පාඩුව වැඩි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මෙය මතුපිටින් සරලව විගණකාධිපතිතුමා සොයාගෙන තිබෙන අගය බවත් මෙහි සැබෑ පාඩුව සෙවීමට වෝහාරික විගණනයක් කළ යුතුව ඇති බවද සුසුල් ප්‍රේමජයන්ත මහතා කීවේය. ඒ නිසා බදුම්කරයෙන් වූ පාඩුව බිලියන 11 ක් කියා තමන් ප්‍රකාශ නොකර බවද ඒ මහතා කීවේය.

ප්‍රශ්නය - විගණකාධිපතිතුමා ඔහුගේ වාර්තාවේ කියල තියෙන්නේ සමස්ත ආර්ථිකයට වූ පාඩුව නෙවෙයි.ඔබ තුමා ඇයි මේ බැදුම්කර මගදියේ පාඩුව අඩු තක්සේරුවට දාන්නේ ?

පිළිතුර - දැන් අපේ අතේ තියෙන්නේ විගණකාධිපති වාර්තාවනේ.ඒකේ යම් කිසි අගයක් සදහන් වෙලා තියෙනවනේ ?
ප්‍රශ්නය - එහෙත් එය බැදුම්කර මගඩියේ පාඩුව නෙවෙයි ?

පිළිතුර - ඒක තමයි මම කියන්නේ ඒක තාම ගණනය කරලා නෑනේ.වෝහාරික විගණන වාර්තාවක් නැති තැන විගණකාධිපති කිව්ව ගාන වගේ කීප ගුණයක් මහපොළ පාඩුව වැඩියි කියන එකයි මම කිව්වේ.

ප්‍රශ්නය - නමුත් ජනාධිපතිතුමාම කිව්වනේ ආර්ථික විශේෂඥයන ප්‍රකාශ කරන පරිදි මේ පාඩුව බිලියන දහසකට වැඩියි කියල.ඒ නිසා ඔබතුමා ලංකා ඉතිහාසයේ ලොකුම මගඩිය තුට්ටු දෙකට දාන්න එපා ?

පිළිතුර - ඒක මම නැහැයි කියන්නේ නැහැනේ.අපි මේ බැදුම්කර වාර්තාව ගැන ඉතා සරලව පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළා.මම බැදුම්කර පළමු කෝප් කමිටුවේ හිටපු සාමාජිකයෙක්.දෙවෙනි එකේ හිටියේ නැහැ.පළමු කෝප් වාර්තාව දානකොට තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ.වෝහාරික විගණනයක් කළහම ට්‍රිලියන ගණනක පාඩුවක් එන්න පුළුවන්.සාමාන්‍ය ජනතාවට ඔය වෝහාරික කියන වචන තේරෙන්නේ නැහැ.ඒ නිසා විගණකාධිපති වාර්තාව අනුව මතුපිටින් බැලු බැල්මට රුපියල් බිලියන 11 ක අයුතු ලාභයක් පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම උපයල තියෙනවා කියන එක තමයි කිව්වේ.ඒ ගානට වඩා මහපොළ පාඩුව වැඩියි.එහෙම කිව්වම හරිනේ.


ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ මහතාගේ දින පනස් ගණනේ ආණ්ඩුවෙනුත් අර්ජුන මහේන්ද්‍රන් ගේන්න මුකුත් කළේ නැහැ නේ ?

ප්‍රේමජයන්ත මහතා - ජනාධිපතිතුමා සිගප්පුරුවට ගිය වෙලාවේ අදාළ බලධාරීන්ට සියලු ලේඛන භාර දුන්න.දැන් අර්ජුන මහේන්ද්‍රන් ගෙන්න ගැනීමේ පළමු වගකීම කාටද තියෙන්නේ ? අගමැතිතුමාටයි.
Views
189
2019-02-19 15:06:14