එවකට අගමැති රනිල් කටාර් යෝජනා වලට එරෙහි වූ නිලධාරීන් නියෝජිත කණ්ඩායමෙන් ඉවත් කළා
ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම



කටාර් ගුවන් සේවයේ ගුවන් යානා වැඩි ප්‍රමාණයක් කොළඹට පැමිණීම සම්බන්ධයෙන් වර්ෂ 2003 දී කටාර් රාජ්‍ය සමග සාකච්ජා කරමින් සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නියෝජිතයන් පිරිසක් එම ඇතැම් කටාර් යෝජනාවන්ට විරෝධය පළ කිරීම නිසා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔවුන් එම නියෝජිත කණ්ඩායමෙන් ඉවත් කළ බව අද (05) ශ‍්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය විය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජෙය්ෂ්ඨ කළමනාකරු (ජාත්‍යන්තර සම්බන්දතා ) නිමල් සේනානායක මහතා අද (05) ශ‍්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර ඔහුගේ සාක්ෂි විභාගයේදී පිළිබදව අනාවරණය විය.

මෙම සාකච්ජා දෝහා නගරයේදී පැවැත්වුණු බව නිමල් සේනානායක මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවේය.

කටාර් රාජ්‍ය සමග පවතී එම සාකච්ජා අතරතුර ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස ඇතැම් කටාර් ඉල්ලීම්වලට විරෝධය පළ කළ බව කී ඔහු එම නියෝජිත පිරිස නැවත කැදවා ගත බවද කීවේය.

ඉන් පසු ඉහළ පෙළේ දේශපාලන බලධාරීන් විසින් සාකච්ජා කරන ලද ගිවිසුමකට අත්සන් කිරීම සදහා වෙනත් නියෝජිත පිරිසක් පසුව පිටත් කර යැවූ බවත්සාක්ෂිකරු කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කීවේය.
ඇත්තවශයෙන්ම රටවල් දෙකක් අතර ද්විපාර්ශවික සාකච්ජා ඉහළම මට්ටමින් සිදු විය හැකි බවද සමහර අවස්ථාවල දී දේශපාලන නායකත්වය විසින් ඔවුන්ගේ සමස්ථ අරමුණ සාකච්ජා කරන රජයේ නියෝජිතයන්ට දැනුම් දීම සිදු වන බවද ඔහු කොමිසමට කීවේය.

ගුවන් සේවා සම්බන්ධ සාකච්ජාවලදී සාමාන්‍යයෙන් දිගටම සිදු වූ ක්‍රමවේදය වන්නේ එම නියෝජිත පිරිසට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජිතයින් පුර්ණ සාමාජිකයන් ලෙස සහභාගී වීමත් ඒ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියෝජිතයින් නිරීක්ෂකයින්ලෙස සහභාගී වීම බවත් බවද සාක්ෂිකාර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජෙය්ෂ්ඨ කළමනාකරු (ජාත්‍යන්තර සම්බන්දතා ) නිමල් සේනානායක මහතා ඊයේ තවදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේය.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ නීල් උනම්බුව මහතා ඇතුළු නීතීඥ මණ්ඩලයක් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටියි.

කොමිසම අද (05) උදේ 10.30ට පමණ කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

Views
314
2019-02-05 11:57:51