බුදුන් උපන් බිම ලූම්බිණිය
ජීවිතයේ දුක හඳුනාගෙන ඉන් මිදීමේ විමුක්ති මාර්ගය සියලූ ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කළ උතුම් මිනිසා බුදුන් වහන්සේය. එවන් උතුම් මිනිසෙකු ලොවට බිහි වූ ස්ථානය දැක ගත හැකි නම් එය මහඟු භාග්‍යයකි. එය බුදුන් වහන්සේ විසින් ද දේශනා කර තිබේ. එනම් බුදුන් උපන් තැන සෑම බොදුනුවෙක් විසින්ම දැක බලා පහන් සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරෙන් එකක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කර තිබේ. ගෞතම බුදුන් වහන්සේ වැඩ සිට ඇත්තේ ක‍්‍රි. පූ. 563 සිට 483 කාලය තුළයි. ඒ බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සිදු වූ ස්ථානය ලූම්බිණියයි. එය මහා මායා දේවිය විසින් සිද්ධාර්ථ කුමරුන් මේ ලොවට බිහි කළ ස්ථානයයි. නේපාලයේ රුපන්ඬේශිලා දිස්ත‍්‍රික්කයේ මෙය පිහිටා ඇති කලින් සඳහන් කළ ලෙස ලූම්බිණිය ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු ප‍්‍රධාන පූජනීය ස්ථාන හතරෙන් එකකි. මේ උතුම් ස්ථානය දැක වන්දනාමාන කිරීමට පසුගියදා නේපාලයට ගිය අවස්ථාවේ මේ ලියුම්කරුටද අවස්ථාව ලැබිණි. සෑම බෞද්ධයෙකු විසින්ම දැකබලා පහන් සංවේගය උපදවාගෙන වන්දනා මාන කළ යුතු පූජනීය වූ ස්ථාන හතර පිළිබඳව බුදු රජාණන් වහන්සේ විසින් පරිනිර්වාණ සූත‍්‍රයෙහි දේශනා කර ඇත්තේය. සිද්ධාර්ථ බෝසතාණන්ගේ උත්පත්තිය සිදුවුණු ලූම්බිණිය අමතරව බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වූ බුද්ධගයාව, උන්වහන්සේ විසින් ප‍්‍රථම ධර්ම දේශනාව සිදු කළ ඉසිපතනය සහ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සාල වනය අනෙක් ස්ථාන වෙයි. බුදුන් උපන් තැන සෑම බොදුනුවෙක් විසින්ම දැක බලා පහන් සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරෙන් එකක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කර තිබෙන නිසා ශ‍්‍රී ලාංකික බෞද්ධයන්ගේද පරම අභිලාශයක් වන්නේ සිය මරණයට පෙර කෙසේ හෝ මේ ස්ථාන දැක බලා ගැනීමටයි. ශ‍්‍රී ලාංකික බෞද්ධයන් පමණක් නොව වෙනත් රටවල පිරිස්ද දිනපතාම මේ ස්ථානයට පැමිණෙමින් සිටිති.අප යන අවස්ථාවේත් බොහෝ විදේශිකයන් එහි පැමිණ සිටි අයුරු අපට දක්නට ලැබිණි. ඔබට එහි ගිය විට සිදුහත් කුමරා උපන් එම ස්ථානයේ අශෝක අධිරාජයා විසින් පිහිටවූ අශෝක ස්ථම්භය ද දැක බලා ගත හැකියි. හිමාලය කඳු වැටිය පාමුල නේපාලයේ ලූම්බිණිය පිහිටා ඇති අතර සිද්ධාර්ථ කුමරුන් කුඩා කල සිට වයස අවුරුදු 29 දක්වා හැදුණේ වැඩුණේ මෙම ප‍්‍රදේශ කපිලවස්තු නගර සභා ප‍්‍රදේශයේ සිට කි.මී. 25 ක් නැගෙනහිර දෙසින් පිහිටියකි ”කපිලවස්තු” යනු මෙම ප‍්‍රදේශයේ නමයි. මායා දේවී විහාරය ඇතුළු විහාර ගණනාවක් මෙහි ඇති පුෂ්කරණි පොකුණ සහ කපිල වස්තු මාළිගයේ නටබුන් ද මේ ලූම්බිණියෙහි දක්නට ලැබේ.

බුදුන් දවස ලූම්බිණිය, කපිල වස්තු සහ දේවදහ අතර පිහිටි උයනක් විය. පෙර කී අශෝක ස්ථම්භය පිහිටුවූයේ අශෝක රජු ලූම්බිණිය දැක බලා ගැනීමට පැමිණීම සිහිවීම පිණිසයි. එහි සලකුණු කරන ඇති විස්තර අනුව ලූම්බිණි උයන භාරව සිටි එකල ජනයා විසින් අශෝක රජුගේ පැමිණීම සහ පුද පඬුරු දීම සිහිවීම පිණිස එම කුලූණ පිහිටුවා තිබේ. මෙම උයන ඊට කලින් හඳුන්වා තිබුණේ රුමින්දෙයි යනුවෙනි. ශාසන ඉතිහාසයේ බුදුන් වහන්සේ ලූම්බිණි ජනපදයේ, ශාක්‍යයන්ගේ ගමක ඉපදුණු බව සඳහන් වන අතර බුදුන් වහන්සේ දෙව්දහ නුවරට වැඩි ගමනේ දී ලූම්බිණි වනයේ නැවතී සිට දේවදහ සූත‍්‍රය දේශනා කළ බවද සඳහන්ය. වර්තමානයේ ලූම්බිණිය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කළ බිමකි. නේපාලයේ ලූම්බිණියට ඔබ ගියහොත් ලූම්බිණි පූජනීය පෙදෙස් වටා විහාර ආරාම රාශියක් පිහිටා ඇති බව පෙනෙනු ඇත. එය බටහිර සහ නැගෙනහිර පූජනීය පෙදෙස් වශයෙන් කොටස් දෙකකට බෙදා ඇති අතර නැගෙනහිර පැත්තේ ථෙරවාදී පන්සල් තිබේ. බටහිර පෙදෙසෙහි වෙනත් විහාර ආරාම ආදිය දක්නට ඇත. ලූම්බිණිය පූජා භූමියේ පුරාණ පූජනීය ස්ථානවල නටබුන් අදටත්දැක තිබේ. ඒවා අතර පූජනීය බෝධි වෘක්ෂය, පුරාණ නාන පොකුණ, අශෝක කුලූන සහ මායාදේවී පන්සල ප‍්‍රධානය. මෙම මායාදේවි පන්සල පිහිටියේ බුදුන් උපන් ස්ථානයේ ලෙස සැලකේ. ලූම්බිණියට සහ බුදුන්ගේ අෂ්ඨ ධාතු තැන්පත් කර ඇති රාමග‍්‍රාම ස්ථූපය සහ සිදුහත් කුමරුගේ මෑණියන් වූ මහාමායා දේවියගේ ජීවිතයට සම්බන්ධ දෙව්දහ ස්ථානවලට ගියත් ඒ සැම තැනකම විවිධ රටවලින් පැමිණි භක්තිකයන් දැක ගත හැකියි. ඔවුන් එම ස්ථානවල භාවනානුයෝගීව සිටිනු ද දැක ගත හැකි විය. දැන් මේ ස්ථාන තවත් ප‍්‍රචලිත කිරීම නේපාලයේ සංචාරක බලධාරීන්ගේ අපේක්ෂාවයි. බුදුන් වහන්සේගේ ධර්මය සියලූ ලෝක සත්වයාටම අදාළ එකක් බැවින් එක් ආගමකට, එක ජාතියකට හෝ රටකට අයත් ජනයාට නොව සියලූම දෙනාටම ලූම්බිණියට පැමිණිය හැකියි. මෙම අශෝක ස්ථම්භය බුදුන් උපන් මායා දේවි පන්සල අසලම පිහිටා ඇත. මේ ලිපිය සමග එහි ජායාරූපයක්ද දැක්වේ.

සිදුහත් කුමරා ලූම්බිණියේ උපන් බවට තහවුරු කෙරෙන එක් ප‍්‍රබල නිදර්ශනයක් වන්නේ අශෝක රජු විසින් කරවූ රුමින්දේයි ටැම් ලිපියයි. නේපාලයේ ලූමිබිණි හෙවත් රුමින්දේයිහි පිහිටුවා ඇති මෙය අශෝක රජු විසින් කරවූ කුළුණෙහි ලේඛනගත කර තිබෙන්නකි. මෙය බුදුන් වහන්සේ පිළිබඳ සඳහන් ප‍්‍රබල සාක්ෂියක් වන අතර මෙහි අක්ෂර පැරණිතම ලක්ෂණ පෙන්වන ක‍්‍රි. පූ. 3 වන සියවසට අයත් බව සැලකේ. එහි සඳහන්ව ඇත්තේ මෙවැන්නකි.

1. දෙවාන පියෙන පියදසින ලාජින වීසති වසාභිසිතෙන

2. අතනආගාච මහීයිතෙ හිදබුධෙජාතෙ සක්‍යමුනීති

3. සිලාවිගඩභීචා කාලාපිත සලාථභෙච උසපාපිතෙ

4. හිදභගවංජාතෙති ලූංමිනිගාමෙ උබලිකෙකටෙ

5. අඨභාගියෙච

එහි අදහස මෙසේ පරිවර්තනය කර ඇත.

1. දෙවියන්ට ප‍්‍රිය වූ ප‍්‍රියදර්ශි රජුගේ විස්සක් වර්ෂ අභිෂේකයෙන්

2. තමාම පැමිණ වඳින ලදි මෙතන බුදුන් ඉපදුනාවූ ශාක්‍යමුණි

3. ගලින් වෙනස් කරන ලද බිත්තියක් කරවන ලදි ශිලා ස්ථම්භයක්ද ඔසවන ලදි

4. මෙතන භාග්‍යවතුන් ඉපදුනා වූ ලූම්බිණි ග‍්‍රාමයෙ නිදහස් කළා දුන්න බදු

5. අටෙන් එකක් ද කළා

එහි අර්ථය දක්වා ඇත්තේ මෙලෙසය.

”දෙවියන්ට ප‍්‍රිය වු ප‍්‍රියදර්ශී රජුගේ අභිශේකයෙන් විසි වැන්නේ ශාක්‍යමුණි බුදුන් ඉපදුණිවූ මෙතන තමාම පැමිණ වඳින ලදි. කැටයම් කරන ලද ගල් බිත්තියක්ද කරවන ලදි. ගල් කණුවක්ද ඔසවන ලදි. බුදුන් ඉපදුණාවූ ලූමිබිණි ග‍්‍රාමය බදුවලින් නිදහස් කර බද්ද අටෙන් එකක් කරන ලදි / භෝග අටක් වවන ප‍්‍රදේශයක් කරන ලදි”

නේපාලයේ සංචාරක මණ්ඩලය සහ නේපාල සංචාරක නියෝජිත සංවිධානය ප‍්‍රථම වතාවට සංවිධානය කළ ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප‍්‍රදර්ශනය (Buddhist International Travel Mart -2019 ) ජනවාරි 11 වැනිදා සිට 12 වැනිදා දක්වා ලූම්බිණියේ ටයිගර් පැලස් හෝටලයේදී පැවැත්විණි. මෙයට රටවල් රැසකින් නියෝජිතයින් පැමිණ සිටියේය. මේ සඳහා මේ ලියුම්කරුට ආරාධනාවක් ලැබී තිබිණි. මා මෙයට සහභාගී වූයේ ඒ අනුවය. මා සිතා සිටියේ මෙයට සහභාගී වීමට ශ‍්‍රී ලංකාවෙන් තවත් අය පැමිණ සිටිනු ඇති කියාය. එහෙත් නේපාලයේ කත්මන්ඩු නුවරට ඉකුත් ජනවාරි 08 වැනිදා දහවල් ගිය මට දැක ගැනීමට ලැබුණේ ශ‍්‍රී ලංකාවෙන් වෙනත් කිසිවෙක් එයට පැමිණ නැති බවය. ඒ අනුව ශ‍්‍රී ලංකාවෙන් මෙයට සහභාගී වීමට ආරධනා ලැබූ එකම නියෝජිතයා වූයේද මේ ලියුම්කරුය. ලූම්බිණිය ඇතුළු නේපාලයේ බෞද්ධ ආගමික ස්ථාන වෙත වැඩි වැඩියෙන් සංචාරකයන් සහ වන්දනාකරුවන් ගෙන්වා ගැනීමට නේපාලය අපේක්ෂා කරයි. ඒ තුළින් නේපාලයේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කරගෙන වැඩි විනිමය අදායමක් උපයා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ’ බෞද්ධ වන්දනා ගමන් බුදුන් උපන් ලූම්බිණියෙන් ආරම්භ කිරීම ප‍්‍රවර්ධන කිරීමට ද ඔවුන්ට අවශ්‍ය වී තිබේ. මේ අරමුණින් ලූම්බිණියේ පිහිටි සිදුහත් කුමරා උපන් ස්ථානය මුල් කර ගනිමින් බෞද්ධ වන්දනා සංචාරක ස්ථානයක් ලෙස එරට ප‍්‍රචලිත කිරීම මේ ප‍්‍රදර්ශනයේ අරමුණ වී තිබේ. මිනිසුන් නොයෙකුත් හේතු නිසා සංචාරවල නිරත වේ. රට ඇතුළේ මෙන්ම රටින් රටටද ඔවුහු සංචාරය කරති. මේ අතරින් ආගමික සංචාරක ව්‍යාපාරයටද සැලකිය යුතු තැනක් හිමිව ඇත. ලෝක සංචාරක සංවිධානය පවසන පරිදි වාර්ෂිකව බැතිමතුන් දසලක්ෂ ගණනක් තමතමන්ගේ ආගමික ස්ථාන කරා වන්දනාවේ යෙදේ. ලෝකයේ බොහෝ දෙනෙකුට කුමන හෝ ආගමක් තිබේ. එහෙත් ආගමක් තිබුණත් නැතත් ඕනෑම අයෙකුට බුදු දහම පිළිපැදිය හැකිය. සාමාන්‍යයෙන් බුදු දහම ආගමක් ලෙස හඳුන්වන නමුත් බුදු දහම වූ කලී ආගමක් නොව පිළිපදින ජීවන මාර්ගයක් (Buddhism is not a religionits way of life) එය බුදුන් වහන්සේ දේශනා කළේ සියලූ ලෝක සත්වයාටය. එනිසා ලෝකයේ ඕනෑම රටක ඕනෑම ආගමක් අදහන අයෙකුට බුදු දහමේ ප‍්‍රයෝජන අත්විඳීමට මෙන්ම බෞද්ධ සංචාරක ස්ථාන කරා ගමන් කිරීමටද පුළුවන. අද එය සිදු වෙමින් තිබේ. පසුගිය ජනවාරි 08 වැනිදා සිට ජනවාරි 13 වැනිදා දක්වා නේපාලයේ සංචාරය කිරීමට මට අවස්ථාව ලැබිණි. ලූම්බිණියට පමණක් නොව තවත් බොහෝ ස්ථාන වෙත අපි සංචාරය කළෙමු. එහෙත් අපගේ සංචාරයේ ප‍්‍රධානතම ස්ථානය වුයේ ලූම්බිණියයි. මේ ලූම්බිණියේ බුදුන් උපන් උපන් ස්ථානය දැක ගැනීමට ලෝකය පුරා බොහෝ දෙනෙක් දිනපතාම පැමිණෙති. ශ‍්‍රී ලාංකික බෞද්ධ ජනයාද සිය දඹදිව වන්දනා චාරිකා වලදී ලූම්බිණිය අනිවාර්යයෙන්ම යන ස්ථානයකි. ලූම්බිණියට අමතරව බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ තවත් ස්ථාන ද නේපාලයේ ඇත.

නේපාලයේ ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප‍්‍රදර්ශනය ජනවාරි 11 වැනිදා ලූම්බිණියේදී ආරම්භ වී එය පසුගිය ජනවාරි 12 වැනිදා නිමාවට පත් විය. ප‍්‍රථමයෙන් විදෙස් රටවල සංචාරක නියෝජිතයන් සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ලූම්බිණියේ සිදුහත් කුමරා උපත ලද ස්ථානය බැලීමට ජනවාරි 11 වැනිදා උදේ ගොස් එය වන්දනාමාන කරන ලදී. එසේම මේ විදෙස් නියෝජිතයින් බොහෝ දෙනෙක් නේපාලයට පැමිණියේ ජනවාරි 07 වැනි සඳුදාය. නේපාලයේ කත්මන්ඩු නුවරට පැමිණ නොයෙකුත් ප‍්‍රදේශවල සංචාරය කිරීමෙන් පසු අවසානයේ ජනවාරි 11 වැනිදා ඔවුහු ලූම්බිණියට පැමිණියහ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ ස්ථානය දැකගෙන එය වන්දනාමාන කිරීමට අප කැඳවාගෙන ගිය අවස්ථාවේ එම ස්ථානයට බොහෝ බැතිමතුන් පැමිණ සිටි අතර ඇතැම් අය එම ස්ථානයේ භාවනානුයෝගීව සිටිනු දැක ගත හැකිවිය. විවිධ රටවල බෞද්ධ භික්ෂුන් වහන්සේලාද ඒ අතර විය. සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදු වූ ස්ථානය දැක වන්දනාමාන කිරීමට සැලකිය යුතු පිරිසක් පෝළිම් ගැසී සිටියහ. ඒ පෝළිමේ ගොස් නේපාලයේ ප‍්‍රථම ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප‍්‍රදර්ශනයට පැමිණි අනිත් සියලූ විදෙස් නියෝජිතයන්ද සමග මම ද එම ස්ථානය අපිරිමිත භක්තියෙන් වන්දනා කළෙමි. අපගේ නියෝජිත කණ්ඩායමේ සෑම කෙනෙක්ම බුදුන් උපන් ස්ථානය වන්දනාමාන කිරීමෙන් පසු මෙම නේපාලයේ ප‍්‍රථම ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප‍්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය පැවැත්වෙන ස්ථානයට අපව කැඳවාගෙන ගියේය. නේපාල සංචාරක බලධාරීන් අපව ඉතා උණුසුම් ලෙස පිළිගත්තේය. එහිදී ලූම්බිණිය මුල් කර ගනිමින් සිදු කරන සංචාරක ප‍්‍රවර්ධන වැඩපිළිවෙලේ අරමුණ මෙන්ම ලූම්බිණි ප‍්‍රදේශය දියුණු කිරීමේ ඉදිරි සැලසුම්ද අපට පැහැදිලි කර දෙන ලදී. එම දේශකයන්ගෙන් ප‍්‍රකාශ වූ පරිදි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ ලූම්බිණිය ඔවුන් සලකනුයේ සැගවී ඇති රත්රන් නිධානයක් ලෙසය. එය කණින්න කණින්න රත්තරන් මතු කරගත හැකි බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. දැන් ඔවුන් ඒ බව හොඳින් වටහාගෙන මුළු ලෝකයටම ලූම්බිණිය සංචාරක ස්ථානයක් ලෙස ප‍්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලකට අත ගසා ඇත. ඒ තුළින් නේපාලයට විශාල විනිමය ආදායමක් උපයා ගැනීමට හැකි වනු ඇත.

මෙලෙස බුදුන් උපන් ස්ථානය නේපාලයේ පිහිටා තිබීම නේපාලයේ සංචාරක ප‍්‍රවර්ධනයට විශාල ශක්තියක් වී ඇති අතර මේ අනුව බෞද්ධ වන්දනා සංචාරක ගමන් නේපාලයෙන් ආරම්භ කිරීම ප‍්‍රවර්ධනය කිරීමට නේපාල සංචාරක නියෝජිතයෝ අපේක්ෂා කරති. ඒ සඳහා සංචාරක ගමන් පැකේජ අලූතින් හඳුන්වා දීමට ද ඔවුහු සැලසුම් කර ඇත. නේපාලයට පැමිණි පිරිස අතර මා ඇතුළු විදෙස් මාධ්‍යවේදීන් සිටියේ කිහිප දෙනෙක් පමණි. අනිත් සියලූ දෙනා වෙනත් රටවල සංචාරක නියෝජිතයන් විය. ශ‍්‍රී ලංකාවෙන් කිසිම සංචාරක නියෝජිතයෙකු සහභාගී වී නොසිටියේ මන්දැයි පැහැදිලි නැත. වාර්ෂිකව බුදුන් උපන් ලූම්බිණිය බලන්නට ශ‍්‍රී ලංකාවෙන් විශාල පිරිසක් නේපාලයට යන නිසා නේපාලයට ශ‍්‍රී ලංකාව යනු සැලකිය යුතු සංචාරක වෙළෙඳපොළකි. බෞද්ධ සංචාරක ව්‍යාපාරය නේපාලය සහ ශ‍්‍රී ලංකාව අතර දෙරටටම ප‍්‍රවර්ධනය කළ හැකිය. එමගින් දෙරටටම ආර්ථික ප‍්‍රතිලාභ ඇති කර ගත හැකි වනු ඇත. වර්තමාන ජනයාගේ දිනපතා ජීවිතය ඉතා කාර්ය බහුල වී තිබේ. බටහිර රටවල අයගේ පමණක් නොව දැන් දැන් අප රටවල අයගේ ජීවිත පවා ඉතාමත් සංකීර්ණ සහ කාර්යබහුල තත්ත්වයට පත්වෙමින් තිබේ. මේ නිසා මේ බහුතරයක් දැඩි මානසික අසහනයන්ගෙන් පෙළෙති. මේ නිසා බුදු දහම කෙරෙහි මේ බොහෝ පිරිසකගේ නැඹුරුවක් ඇත. විදෙස් සංචාරකයා පැමිණෙන්නේ විනෝදාස්වාදය ලබන්නට පමණක්ම නොවේ. මෙරට සංචරණයේ යෙදෙන බොහෝ විදේශිකයන්ට මෙන්ම නේපාලයේ දී අප දුටු සංචාරකයන්ද එයට නිදසුන්ය.

ලොව සිව් දිගින් බෞද්ධ වන්දනාකරුවන් වෙසක් මාසයේ ඉන්දියාවට සහ නේපාලයට ඇදී එති. එය දිගු කලෙක සිටම සිදු වන්නකි. එහිදී ඔවුහු බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනිති. භාවනා කරති. මේ ප‍්‍රවණතාව ශ‍්‍රී ලංකාව කරාද ව්‍යාප්ත වෙමින් පවතින්නකි. ඉන්දීය. ජපන් චීන, ටිබෙට්, මියන්මාර් සහ තායිලන්ත වැනි රටවල මෙන්ම බටහිර සංචාරකයන්ද දැන් ඉන්දියාවේ සහ නේපාලයේ බොදු සිද්ධස්ථාන දැක වැඳ පුදා ගැනීමේ අරමුණෙන් වැඩි වැඩියෙන් පැමිණෙමින් සිටිති. බුදු දහම කෙරෙහි බටහිර ලෝකයේද අද විශාල උනන්දුවක් තිබීම මෙයට හේතුවකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
නේපාලයේ සංචාරයකින් පසු
දිවයින ඉරිදා සංග්‍රහය - 2019.01.27
Views
349
2019-01-27 08:27:43