බැදුම්කර පරක්ෂණ - නොකෙරෙන වෙදකමක්ද ?
පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක කසුන් පලිසේන යන දෙදෙනා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 2018 වසරේ පෙබරවාරි 4 වැනිදාය. ඔවුන් දෙදෙනා දිගින් දිගටම ඇප ලබා ගැනීමට උසාවියෙන් ඉල්ලීම් කළත් ඇප නොලැබුණු බැවින් ඔවුන් මාස 11 ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. මේ සිද්ධිය එසේ මෙසේ සිද්ධියක් නොව ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාව ලෙස සැලකෙන බැඳුම්කර මගඩියයි. කෙසේ හෝ ඔවුන් ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක කසුන් පලිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පසුගිය ජනවාරි 01 වැනිදා නියම කළාය. ඒ අනුව එක් එක් සැකකරු රුපියල් මිලියනයක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට නියම කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඇපකරුවන් හතර දෙනාගෙන් දෙදෙනකු ළඟම ඥාතීන් විය යුතු බව ද නියම කර තිබුණි‘ ඇපකරුවන් සියලූ දෙනා ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීමේ සහතික අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව ද දැනුම් දුන් මහෙස්ත‍්‍රාත්වරිය සැකකරුවන්ගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත් අධිකරණය වෙත බාර දිය යුතු බව ද නියම කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ. එසේම සැකකරුවන්ගේ විදේශ ගමන් ද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණය වෙත බාරදිය යුතු බවටත් නියම කළ අතර” එමෙන්ම සෑම ඉරු දිනකම පෙරවරු 9 ත් 12 ත් අතර රහස් පොලිසිය හමුවේ වාර්තා කළ යුතු බවට ද සැකකරුවන්ට නියම කර තිබේ. මීට පෙර අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කළ ඔවුන්ගේ නීතිඥවරු සඳහන් කර සිටියේ සැකකරුවන් දෙදෙනාගේ දරුවන් සහ බිරින්දෑවරුන් රෝගී තත්ත්වයන්ට මුහුණ පා ඇති බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඇප මත මුදා හරින ලෙසයි. ඒ අනුව අදාළ කරුණ සුවිශේෂී කරුණු සේ පිළිගත් මහෙස්ත‍්‍රාත්වරිය මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන අර්ජුන් මහේන්ද්‍රන් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති නිසාත් පරීක්ෂණ නිමා වන කාලය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති නිසාත් එම කරුණ ද සුවිශේෂි කරුණක් සේ සලකා මෙම ඇප නියෝගය ප‍්‍රකාශයට පත්කරන බවද සදහන් කර ඇත. මේ සියල්ලම දැන් ඔබ දනී. මේ දෙදෙනාට ඇප දීමේ කාරණය මෙන්ම බැඳුම්කර පාඩු ගණනය කිරීමේ වෝහාරික විගණනයන් ගැනත් මේ දිනවල සමාජය තුළ අවධානය යොමුව ඇත.

badumakara2මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවා අර්ජුන් මහේන්ද්‍රන්ය. ඔහු මේ දක්වා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව නැත. මෙය ද අර්ජුන් ඇලෝසියස්ට හා කසුන් පලිසේනට ඇප ලබා දීමේදී සලකා ඇති කරුණකි. එසේම පරීක්ෂණ නිමා වන කාලය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති නිසාත් එම කරුණ ද සුවිශේෂි කරුණක් සේ සලකා මෙම ඇප නියෝගය ප‍්‍රකාශයට පත් කරන බවද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි‘ ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් රහස්‍ය තොරතුරු උපයෝගී කරගනිමින් මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අයුතු ලෙස මුදල් උපයා ගැනීමේ චෝදනා යටතේ මේ දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඇප ලබා දීමේදී මේ දෙදෙනාට දැඩි කොන්දේසි පනවා තිබේ. කුමන ආකාරයේ බරපතළ චෝදනා එල්ල වී තිබුණත් නඩු විභාගයක් පවත්වා වැරැදිකරුවන් කරනා තුරු සෑම සැකකරුවකුටම නිර්දෝෂ භාවයේ පූර්ව නිගමනය පවතින බව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය පෙන්වා දී ඇත. කවරක් නමුත් එම සැකකරුවන් දෙදෙනාට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා නීතිපතිවරයා විරෝධතා ඉදිරිපත් කර තිබිණි‘ එහෙත් ඉදිරිපත් කළ නීතිපති විරෝධතා ප‍්‍රතික්ෂේප කරමින් මෙවර මේ සැකකරුවන්ට ඇප ලබා දී ඇත. මේ අයට ඇප ලබා දීම උසාවි නියෝගයකි. මේ නියෝගයට ගරු කළත් ජන සමාජය තුළ මේ ගැන නොසතුටක් තිබේ. අර්ජුන මහේන්ද්‍රන් තවම අල්ලාගත නොහැකි වීමත් මේ පරීක්ෂණ නිමා වන කාලය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව තිබීමත් නිසා මේ මගඩිය සම්බන්ධයෙන් මහජනතාවට යුක්තිය ඉටු වීම ගැන නොයෙකුත් සැක සංකා තිබේ. බැඳුම්කර මගඩිය ගැන මුල සිට යහපාලන රජයේ අය අනුගමනය කළේ චෝදනා එල්ල වූ අය රකින ප‍්‍රතිපත්තියකි. ඒ නිසා මහජනයා තුළ මතුව ඇති එම සැක සංකා ඉතාම සාධාරණය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් 2018.10.28 වැනිදා සිදු කරනු ලැබූ විශේෂ ප‍්‍රකාශයේ එක තැනක මෙසේ සඳහන්ය.

”උතුම් පරමාර්ථ මුල් කරගෙන පිහිට වූ මේ ජනතාවගේ උතුම් අභිලාෂයන් ඉටු කරගන්නා වූ යහපාලන ආණ්ඩු සංකල්පය” ආණ්ඩුව පිහිටුවලා මාස 03 ක් යන්නටත් කලින් බිඳ දැමුවා. මහ බැංකු මුදල් මංකොල්ලයෙන් අපේ රට ප‍්‍රබල ආර්ථික අගාධයකට ඇද වැටුණා. ලංකා ඉතිහාසයේ රාජ්‍ය වත්කම්” මුදල් පිළිබඳව මෙවැනි මහා මංකොල්ලයක් ඔබ දන්නවා මීට පෙර අප අසා තිබුණේ නැහැ. ඒ පිරිසිදු යහපාලන සංකල්ප ¥ෂණයෙන්” වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ගෙන යෑමට ජනතාව දුන්නා වූ ප‍්‍රතිඥාව ඒ සියල්ල අමු අමුවේ ඝාතනය කළා. මගේ මතකයේ තිබෙනවා ආදරණීය දෙමව්පියනි” දරුවනි මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් රටේ ඇති වූ ජනතා උද්ඝෝෂණ සහ හඬ” විපක්ෂයේ හඬ” දේශපාලන පක්ෂවල හඬ” සමාජ වගකීම් දරන්නන්ගේ” සිවිල් සංවිධානවල හඬ ආපු වෙලාවේ ආණ්ඩුව තුළ මොනතරම් අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා ද කියලා. ඒ අවස්ථාවල දී රනිල් වික‍්‍රමසිංහ මහතා හරිම නොසන්සුන් විදියට” හරිම කලබලකාරී විදියට හැසිරුණා. මහ බැංකුවේ කාර්ය මණ්ඩලය හමුවෙන්න යන්න මා ඒ අවස්ථාවේ තීරණය කළ විට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හදිසියේ ම මගේ නිල නිවසට දුවගෙන ඇවිත් බොහෝ කලබලකාරී ස්වභාවයෙන් මට කිව්වා” මහ බැංකුව අයිති වෙන්නේ මටයි” ඒ නිසා ඇයි ඔබ මහ බැංකුවට යන්නේ” කියලා මගෙන් ඇහුවා. මම ඒ වෙලාවේ එතුමාට කිව්වා” ඔබට ගැසට් නිවේදනයකින් භාරකාරිත්වය දී තිබෙන බව ඇත්ත” නමුත් මම ජනාධිපති” මට එතනට යන්න අයිතියක් තියෙනවා නේද” කියලා මම එතුමාට කිව්වා. මම කිව්වා මම තව ස්වල්ප වෙලාවකින් පිටත් වෙනවා කියලා. ඒ සමග ම එතුමා මගේ නිවසින් නික්ම ගියා. මම සුළු වේලාවකින් මහ බැංකු ගොඩනැගිල්ලට ඇතුථ වන විට මේ සිද්ධිය නිසා නිවාඩු දමා ඉවත් වී සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා බුලත් හුරුල්ලක් දී මා පිළිගන්න ඉදිරියට පැමිණියා. මම පුදුමයට පත් වුණා ඔහු කොහොමද මෙතනට ආවේ කියලා. ඒ නොසන්සුන්කාරි වාතාවරණය” කලබලකාරීව හැසිරුණු ආකාරය” ඔවුන්ගේ නොසන්සුන් මානසිකත්වය මම ඒ වෙලාවේ දැක්කා. අවසානයේ රටේ බරපතළ ආර්ථික අර්බුදයක් ඇති වුණා. දේශපාලන අර්බුදයක් ඇති වුණා. ‘

ජනාධිපතිවරයාම කියන මේ අදහස් අනුව අර්ජුන මහේන්ද්‍රන් රකින්නේ කවුද යන්න ඉතා පැහැදිලිය. ඒ නිසා මහේන්ද්‍රන් ඔය තනතුරුවලට පත් කිරීමට නිර්දේශ කළ ඔහුව දිගින් දිගටම ආරක්ෂා කළ අය ඔහුව නීතිය හමුවට පැමිණ විය යුතු නොවේද?

අද ඔවුන් ඒ වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන දෙසුම් පවත්වමින් සිටිති. මේ අතර බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ පරිදි ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලින් සිදුව ඇති පාඩු සෙවීම සඳහා ප‍්‍රධාන වෝහාරික විගණනයන් හයක් සිදු කිරීමට මහ බැංකුව තීරණය කර ඇත. ඒ බව මහ බැංකු අධිපතිවරයා ඉකුත් ජනවාරි 02 වැනිදා පෙරවරුවේ ශ‍්‍රී ලංකා මහ බැංකු පරිශ‍්‍රයේ පැවති” ‘2019 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප‍්‍රතිපත්ති පෙර දැක්ම. එළිදැක්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී කීවේය.

මේ විගණන සිදු කිරීම වෙනත් ආයතනවලට භාර දීමට නියමිතය. බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් සිදුකිරීමට නිර්දේශිත වෝහාරික විගණනයේ සම්පූර්ණයෙන්ම භාරකාරයා ලෙස කටයුතු කරන්නේ විගණකාධිපතිවරයා බවත් ඒ සඳහා මහ බැංකුව විසින් සිදුකරනුයේ ප‍්‍රසම්පාදන හා පහසුකම් සැලසීම පමණක් බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති” ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ මාධ්‍ය හමුවේ කීවේය. ඔහු එහිදී මෙසේද කීවේය.

”මේ සියලූම විගණන සම්බන්ධ වෙලා තියෙන්නේ ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ කරලා තියෙනවා සමහර ඒවා කරන්න කියලා. ඒ ටික අනිවාර්යයෙන්ම ඇතුළත්. කොමිසම බැලූවේ 2015 ඉඳන් සීමිත කාලයකට. ඊට අමතරව කිව්වා 2008 ඉඳන් මේ වෙනකං සෘජු නිකුතු පිළිබඳ සොයන්න කියලා. ඒ ගැන සොයා බලන කොට අපි තීරණය කළා විගණන 6 ක් සිදුකරන්න. මේක මහ බැංකුව සම්බන්ධ නිසා මහ බැංකුවේ කිසිම කෙනෙක් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ.‘

මේ අනුව පැහැදිලි වන්නේ වෝහාරික විගණනයන් කිරීමට අදාළ ක‍්‍රියාවලිය ආරම්භ කර ඇතත් අදාළ කිසිදු විගණන කටයුත්තක් තවමත් ආරම්භ කර නොමැති බවයි. මේ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියා ඇති කතාව සත්‍යයකි. එනම් මෙම අතිවිශාල මුදල් අක‍්‍රමිකතාවය පිළිබඳ නිවැරැදි තොරතුරු ලබාගැනීම සඳහා බැඳුම්කර ජනාධිපති කොමිසම විසින් වෝහාරික විගණනයක් සිදු කළ යුතු බවට 2018.01.18 වන දින තීරණය කළ ද මේ වන විට වසරක් ගතව ඇතත්” එය සිදුව නැතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කියා සිටියේය. මේ ප‍්‍රමාදය බරපතළ වරදක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජාවකදී පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් විය. මේ ගැන කළ විමසුමකට පිළිතුරු ලෙස මහ බැංකු අධිපතිවරයා නම් කීවේ ඇත්ත වශයෙන්ම එවැනි ප‍්‍රමාදයක් සිදුව නැති බවයි. කුමාරස්වාමි මහතා කියන්නේ විගණනය කිරීමට අදාළ ක්‍‍්‍රියාවලිය ආරම්භ කළ බව විය යුතුය. එය ඇත්ත විය හැකි නමුත් තවමත් එම විගණනයන් කිසිවක් සිදු කිරීම ආරම්භ කර නැති බව පැහැදිලිය. එසේම මෙහිදී මේ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කළ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේ බැඳුම්කර වංචාවේ පාඩුව රු. බිලියන දහසක් බවට මහ බැංකුව හෝ මහ බැංකු නිලධාරීන් ප‍්‍රකාශ කර නැති බවත් සිදුව ඇති පාඩුවේ අගය සොයා ගැනීම සඳහා සහ සිදුව ඇති වැරදි සොයා ගැනීමට මේ වෝහාරික විගණනය සිදු කරන බවත්ය. එසේම ඔහු තවදුරටත් කීවේ එම අගය ගණනය කරන්නේ නීතිමය කාර්යයක් වෙනුවෙන් නොවන බවයි. පාඩුවේ ප‍්‍රමාණය සහ සිදුව ඇති වැරදි සොයා ගන්නේ එසේ නම් කුමක් සඳහාද ?

පාඩුවේ අගය ගණනය කර එය නැවත අය කර ගැනීම සහ ඊට වගකිවයුත්තන්ට නීතිමය පියවර ගැනීම මහජන අපේක්ෂාවයි. මේ වෝහාරික විගණනය මගින් සොයා ගන්නා කරුණු නීතිමය පියවරයන් හෝ පාඩුව නැවත අය කරගැනීමට ප‍්‍රයෝජනයට නොගන්නවා නම් ඔය වෝහාරික විගණනයන් කරන්නේ කුමකටද?

මහ බැංකුවේ වැරදි හදා ගැනීමට පමණද? එවිට සිදුව ඇති පාඩුව නැවත අය කර ගන්නේ කෙසේද? අප දන්නා පරිදි මේ විගණනයන් යටතේ සේවක අර්ථසාධක අරමුදලට සිදුව ඇති පාඩුව ද ගණනය කිරීමට නියමිතය. මේ වෝහාරික විගණන සිදුකිරීමට අදාළ ක‍්‍රියාවලිය ආරම්භ කර ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර විගණන ආයතනවලින් ජාතික ප‍්‍රසම්පාදන ක‍්‍රියාපටිපාටිය අනුව ලංසු කැඳවිය යුතුව ඇත. සිදුව ඇති බැඳුම්කර මගඩියෙන් වී ඇති පාඩුව වහාම ගණනය කළ යුතු මහජනතාව බලා සිටින දෙයයි. එසේ නැතුව භාණ්ඩාගාර බැඳුම්කර සෘජු නිකුතු වර්ෂ 1997 සිට පටන් ගත් බව කියමින් ඒ සියල්ල විගණනය කිරීමට යොමු වීමෙන් වන්නේ මෙය තවත් ප‍්‍රමාද වීමයි. එවැනි තීරණයක් මහ බැංකුවේ මණ්ඩලය ගත්තේ මහ බැංකුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ තිබියදීද? 1997 සිට මේවා විගණනය කරන්නේ බැඳුම්කර කොමිසමේ නිර්දේශ අනුව නොවේ. ආචාර්ය නන්දලාල් කියන පරිදි එය මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණයකි. මුදල් මණ්ඩලයට ඕන දේවල් වෙනම කරගත්තට අපට කමක් නැත. එහෙත් මේ සියල්ල පටලවා 1997 සිට විගණනය කරන්නේ මේ සිදුව ඇති මගඩිය යට ගසන්නට ද යන බරපතල සැකය දැන් දැන් මතුවෙන්නකි. ඔය කියන විදියට මේ වෝහාරික විගණන කවදා අවසන් වනු ඇතිදැයි අපට සිතා ගැනීමටත් අපහසුය. ඒවා අවසන් වුවත් එම විගණනය කරන්නේ නීතිමය කාර්යයක් වෙනුවෙන් නොවේ නම් බැඳුම්කර හොරුන්ට දඬුවම් ලැබෙන්නේ කවදාද? එසේම මින් මහජනයාට වූ පාඩුව අය කරගන්නේ කෙසේද? යන මේ ප‍්‍රශ්න මතුවේ. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් කීවා සේ මේ බැඳුම්කර පරීක්ෂණවලින් මහජනයාට යුක්තිය ඉටු කර දීම නොකෙරෙන වෙදකමක්දැයි අපි ප‍්‍රශ්න කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
220
2019-01-06 03:00:49