අවිනිශ්චිත පරිසරයක ආර්ථික කළමනාකරණය


මේ වර්ෂය (2019) ඉතාම අභියෝගාත්මක වර්ෂයක් බවට කිසිම සැකයක් නැත.තවමත් 2018 වර්ෂයේ දී ආරම්භ වූ ද දේශපාලන අර්බුදය සමථයකට පත් වී නැත.එය අළු යට ගිනි පුපුරු මෙන් තවමත් දුම් දමමින් තිබේ.එය ඕනෑම මොහොතක යළි ගිනි ඇවිලීමට ඉඩ තිබෙන්නකි.මේ නිසා උසාවි තීන්දුවෙන් පසු යළි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරගෙන ආණ්ඩුවක් පත් කරගෙන තිබුණත් ඔවුන්ට ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබේද යන්න ප්‍රශ්නයකි.මේ ලියුම්කරුගේ අදහස නම් රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන දෙපාර්ශවයටම පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතර බලයක් නොමැති බවයි.මේ ආණුඩුවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජන්ද එකතු කර උසාවියට බහුතරය තිබෙන බව පෙන්නුවත් ඒ මන්ත්‍රීවරුන් සියලු දෙනා ආණ්ඩුව කරගෙන යාමේදී එලෙසම සහය දෙනු ඇති බවට කිසිම සහතිකයය්ක් නැත. අතුරු සම්මත ගිණුමට ලැබුණු ජන්ද ගණනින් එය පැහැදිලිය.ඒ නිසා අගමැති ධුරයට සහය දුන් සියලු දෙනා ආණ්ඩුව කරගෙන යාමට එලෙසම සහය නොදෙන තත්වයක් තුළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ සියලු ජන්ද එකතු කළ ද පාර්ලිමේන්තුවේ බහුතර බලය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් තිබේ.මෙවැනි පසුබිමක් තුළ උත්සන්න වී ඇති ආර්ථික අර්බුදය ද සමනය නොවී ආර්ථිකයද දිගටම පීඩාවට පත්වෙමින් තිබේ. .එනම් ආර්ථික ප්‍රගතියට රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි.එය නොමැති නිසාත් පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා කළ පරිදි ඉඩ නොලැබීම නිසාත් දැන් සිදු වනුයේ මේ අභියෝගවලට මුහුණ දෙමින් ආර්ථික සහ මූල්‍ය මූල්‍ය කළමනාකරණය සිදු කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමටය.මේ පසුබිම තුළ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ආර්ථික සහ දේශපාලන අභියෝගවලට මුහුණ දෙමින් වඩාත් තීරණාත්මක කාලයකට මුහුණ දීමට රටට සහ ජනයාට සිදු වනු ඇත .රුපියල ද දිගින් දිගටම පිරිහෙමින් තිබේ .මේ තත්වය තුළ මේ වර්ෂයේදි විදේශ විනිමය අර්බුදයට දැඩිව මුහුණ දීමට සිදුවන වර්ෂයක් ලෙස ද අපට මේ වර්ෂය නම් කළ හැකිය.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊයේ (02) 2019 සහ ඉදිරිය සදහා මුදල් සහ මුල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්ම ඉදිරිපත් කළේය.ඔහුද 2019 වර්ෂයේ අභියෝගාත්මක තත්වය පැහැදිලි කළේය.විදේශ සංචිත තත්වය මෙන්ම අපේ රුපියලට ඇති පීඩනය ගැනද ඔහු කීවේය.මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියූ පරිදි ගිය වර්ෂය (2018) සදහා ගණනය කර ඇති ආර්ථික වර්ධනය් සියයට 3 ක් තරම් අඩු එකකි.ආර්ථික වර්ධනය අපේක්ෂිත අගයට වඩා බොහෝ අඩු වී තිබේ.එනම් පසුගිය මහා බැංකු වාර්තාවෙන් කියා තිබුනේ 2018 වර්ෂයේදී සියයට 5ක් පමණ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.අපේක්ෂාවන් එලෙසම ඉටු නොවන බව සත්‍යයකි.ඒ නිසා අපේක්ෂිත ඉලක්කයන්ගේ එහා මෙහා වීම් සිදු විය හැකිය. එහෙත් මේ වෙනස එසේ මෙසේ වෙනසක් නොව විශාල වෙනසකි.යහපාලන රජයේ පැවති නිසි ප්‍රතිපත්තියක් නොමැතිකම ද මෙයට හේතු වූ බවට කිසිම සැකයක් නැත.ඊට අමතරව දිගටම අඩු වැඩි අශයෙන් දේශපාලන ස්ථාවරත්වයක් නොතිබීම ද එසේම පසුගිය ඔක්තෝබර් 26 දිනෙන් පසු මේ තත්වය තවත් උත්සන්න වීමද රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය මන්දගාමී වීමට හොදටම බලපෑවේය.ඊයේ 2019 සහ ඉදිරිය සදහා මුදල් සහ මුල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්ම ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසුවේ මේ වර්ෂයේ (2019) ආර්ථික වර්ධන ඉලක්කය කොපමණද කියාය.එහෙත් මහ බැංකු අධිපතිවරයා කීවේ තවමත් එම අගය ප්‍රකාශ කළ නොහැකි බවය. ඒ නිසා මේ වර්ෂයේ කොපමණ ආර්ථික වර්ධනයක් ලැබෙනු ඇතිද යන්න ගැන මහ බැංකුවටවත් තවමත් අදහසක් නැත. එසේ නම් රටේ අනෙකුත් ය ආයෝජකයන් සහ ව්‍යවසායකයන් තම ආර්ථික හා ව්‍යාපාරික තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක වන්නේ කෙසේද යන ප්‍රශ්නය බරපතල ලෙස තිබේ.අනෙක් අතට මහා බැංකු අධිපතිවරයා කියන්නේ ආර්ථික වර්ධනය හරි හැටි වාර්තා නොවන තත්වයක් ඇති බවයි. මේ නිසා ආර්ථික වර්ධනය අඩුවෙන් තක්සේරු වන බව තම අදහස බවද 2018 වසරේ ආර්ථිකය සියයට 3.5 - 4.0 ත් අතර අගයකින් වර්ධනය වී ඇති බව තම පුද්ගලික අදහස බවද මහ බැංකු අධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළේය.එය ඔහුගේ පුද්ගලික අදහස විය හැකි නමුත් එය ඉතා බරපතල කතාවකි.අපේ සැබෑ ආර්ථික වර්ධනය අඩුවෙන් තක්සේරු වෙනවානම් එය හිතා මතා නොකලත් එය ඉතා බරපතල තත්වයකි.ඒ නිසා මේ ගැන ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තව තම බලවත් ලෙස සැලකිල්ලට ගතයුතුව තිබේ. මහා බැංකු අධිපතිවරයා සිය ප්‍රතිපත්ති පෙර දැක්ම ඉදිරිපත් කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

'තවදුරටත් අභියෝග සහ තර්ජන පවතින බව අප වටහාගෙන ඇති අතර , සමස්ත සාර්ව ආර්ථික සහ මුල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය මත තවදුරටත් පීඩනයක් ඇති කළ හැකි අවදානම් රාශියක් ද පවතී.මෙම අභියෝග අවම කර ගැනීමටත් අවසානයේදී අප ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීම සදහා පරිසරයක් නිර්මාණය කිරීමටත් හැකිවන පරිදි මිල , ආර්ථික සහ මුල්‍ය පද්ධති ස්ථායිතාව සාක්ෂාත් කර ගැනීම සදහා අපගේ ආර්ථිකය හා මුල්‍ය ක්ෂේශ්ත්‍රය නිවැරදි දිශාවකට යොමු කර ගැනීමට පුර්වොපයික සහ සඵලදායි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහාය වනු ඇති බව අපි විශ්වාස කරන්නෙමු.වර්තමානයේ පවතින නිතර වෙනස්වන සුළු සහ අවිනිශ්චිත පරිසරය තුළ කිසියම් අවශ්‍යතාවක් පැනනැගුනහොත් , නිසි ප්‍රතිපත්ති හදුන්වා දීමට සහ ප්‍රතිපත්තිවල වෙනස්කම් සිදු කිරීමටත් අපි සුදානම් වී සිටිමු."

ඊයේ (02) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති, ‘2019 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්ම‘ එළිදක්වමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.


මේ අනුව වර්තමානයේ පවතින්නේ නිතර වෙනස්වන සුළු සහ අවිනිශ්චිත පරිසරයක් බව මහා බැංකුවත් කියන කාරණයකි.එවන් පරිසරයක් තුළ ප්‍රතිපත්තිවල සිදු විය හැකි වෙනස්කම් ගැන මහ බැංකුව කියයි.පසුගිය විනිමය අර්බුදය හමුවේද රජයත් මහ බැංකුවත් එක්ව ආනයන වියදම් අඩු කර ගැනීමේ නොයෙකුත් පියවර ගත්තේය. එහෙත්රුපියල නම් තවමත් මස්ත බාල්දු වෙමින් තිබේ.මේ වසරේ (2018) මුලසිට දෙසැම්බර් 21 දින දක්‌වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලසියයට 15.5 කින් පිරිහීමට ලක්‌ව ඇත. පසුගිය 2017 වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල පිරිහීමට ලක්‌වූයේ සියයට 2 කින් පමණි.එසේම මේ වසරේ දෙසැම්බර් 21 දින දක්‌වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්‍ෂවද පිරිහීමට ලක්‌ව ඇත.මේ අනුව යුරෝ මුදලට සාපේක්‍ෂව සියයට 11.9 කිද, ස්‌ටර්ලින් පවුමට සාපේක්‍ෂව සියයට 10.2 කින්ද, ජපන් යෙන් මුදලට සාපේක්‍ෂව සියයට 16.6 කින්ද කැනේඩියානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 9.2 කින්ද, ඕස්‌ටේ්‍රලියානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 7.5 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‍ෂව සියයට 7.7 කින්ද ශ්‍රී ලංකා රුපියල අදාල කාලයේදී (දෙසැම්බර් 21 දින දක්‌වා) පිරිහීමට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සදහන් විය.මේ නිසා අපේ රුපියලේ ප්‍රශ්නයට මේ වසරේදී තවදුරටත් තීරණාත්මක ලෙස මුහුණ දීමට සිදු වීම වැළක්විය නොහැකිය. මේ උත්සන්න වී ඇති රටේ විදේශ විනිමය අර්බුදයට පිළියම් ලෙස විදේශ විනිමය ඉපයුම් වර්ධනය කරගැනීමට පැහැදිලි වැඩපිළිවෙලක් රජයට ඇති බවක් ද පෙනෙන්නට නැත. මේ නිසා මේ වසර අග වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල කවර අගයක් ගනීදැයි සිතා ගැනීමටත් අපහසුය.විපක්ෂ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා නම් කියන්නේ මේ සිංහල අවුරුද්ද වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් පිරිහී ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 200ද ඉක්මවා යනු ඇති බවයි.

අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපාලනය වැඩිදියුණු කිරීම, මූල්‍ය අංශයේ අධීක්ෂණය සවිමත් කිරීම සහ රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අමතරව, විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය වැඩිදියුණු කිරීම සහ මුදල් ප්‍රතිපත්ති රාමුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව හඳුන්වා දීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස මුදල් නීති පනත සඳහා පුළුල් සංශෝධන සිදු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ වන විට ලබා ගෙන ඇත. ඒ අනුව, දිගු කාලීනව ගැටලුවක්ව පවත්නා මහ බැංකුවේ මූලික නොවන සහ රාජ්‍ය මූල්‍ය කටයුතු හා සබැඳුණු ඇතැම් ක්‍රියාකාරකම්, රාජ්‍ය මූල්‍ය මූල්‍යයනය යනාදියට විසඳුම් සපයන අතර, මුදල් ප්‍රතිපත්තිවලට අදාළ බලතල සහ ක්‍රියාකාරකම් පැහැදිලිව දැක්වීම තුළින් මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කෙරෙන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නීතී විශේෂඥයන්ගේ සහයෝගය ද සහිතව මුදල් නීති පනතෙහි සිදුකෙරෙන සංශෝධන මේ වන විට අවසන් අදියරේ පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊයේ මාධ්‍ය හමුවේදී පැවසීය.බැදුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ පරිදි ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනු වලින් සිදුව ඇති පාඩු සෙවීම සදහා ප්‍රධාන වෝහාරික විගනණයන් හයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී කීවේය.
මේ අනුව පැහැදිලි වන්නේ එම විගණනය කිරීමට අදාළ ක්‍රියාවලිය ආරම්භ කර ඇතත් අදාළ කිසිදු විගණන කටයුත්තක් තවමත් ආරම්භ කර නොමැති බවයි.මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා ඇති කතාව සත්‍යයකි.එනම් එම විගණනය තවමත් කර නොමැති බව ඔහු කීවේය.එනම් මෙම අතිවිශාල මුදල් අක‍්‍රමිකතාවය පිළිබද නිවැරුදි තොරතුරු ලබාගැනීම සදහා බැදුම්කර ජනාධිපති කොමිසම විසින් වෝහාරික විගණනයක් සිදු කළ යුතු බවට 2018-01-18 වන දින තීරණය කළ ද මේ වන විට වසරක් ගතව ඇතත්, එය සිදුව නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.මේ ප්‍රමාදය බරපතළ වරදක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජාවකදී පැහැදිළි කර තිබිණි.මේ ගැන කළ විමසුමකට පිළිතුරු ලෙස මහ බැංකු අධිපතිවරයා නම් කීවේ ඇත්ත වශයෙන්ම එවැනි ප්‍රමාදයක් සිදුව නැති බවයි.කුමාරස්වාමි මහතා කියන්නේ විගණනය කිරීමට අදාළ ක්‍රියාවලිය ආරම්භ කළ බවකි.එය ඇත්ත විය හැකි නමුත් තවමත් එම විගණනයන් කිසිවක් සිදු කිරීම තබා ආරම්භ කිරීමවත් සිදුව නැති බව පැහැදිලිය,එසේම මෙහිදී මේ පිළිබද කරුණු පැහැදිලි කළ මහ බැංකුවේ ජෙයෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේ බැදුම්කර වංචාවේ පාඩුව රු.බිලියන දහසක් බවට මහ බැංකුව හෝ මහ බැංකු නිලධාරීන් ප්‍රකාශ කර නැති බවත් සිදුව ඇති පාඩුවේ අගය සොයා ගැනීම සදහා සහ සිදුව ඇති වැරදි සොයා ගැනීමට මේ වෝහාරික විගණනය සිදු කරන බවත්ය.ඒ කරුණ සත්‍ය නමුත් ඔහු තවදුරටත් කීවේ

එම අගය වීගණනය කරන්නේ නීතිමය කාර්යයක් වෙනුවෙන් නොවන බවයි.පාඩුවේ ප්‍රමාණය සහ සිදුව ඇති වැරදි සොයා ගන්නේ එසේ නම් කුමටද ? පාඩුවේ අගය ගණනය කර එය නැවත ය කර ගැනීම සහ ඊට වගකිවයුත්තන්ට නීතිමය පියවර ගැනීම මහජන අපේක්ෂාවයි.මේ වෝහාරික විගණනය මගින් සොයා ගන්නා කරුණු නීතිමය පියවරයන් හෝ පාඩුව නැවත අය ගැනීමට ප්‍රයෝජනයට නොගන්නවනම් ඔය වෝහාරික විගණනයන් කරන්නේ කුමකටද ? මහා බැංකුවේ වැරදි හදා ගැනීමට පමණද ? එවිට සිදුව ඇති පාඩුවට කරන්නේ කුමක්ද ? අප දන්නා පරිදි මේ විගණනයන් යටතේ සේවක අර්ථසාධක අරමුදලට සිදුව ඇති පාඩුව ගණනය කිරීමට නියමිතය. එයට අදාළ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර ඒ සදහා ජාත්‍යන්තර විගණන ආයතනවලින් ජාතික ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය අනුව ලංසු කැදවිය යුතුව ඇත.මේවා කවදා අවසන් වනු ඇතිද ? ඒ අනුව බැදුම්කර හොරුන්ට දඩුවම් ලැබෙන්නේ කවදාද ? එසේම මින් මහජනයාට වූ පාඩුව අය කරගන්නේ කවදාද ? මේ ප්‍රශ්න මහජනයාට මතු වන බවට නම්කිසිම සැකයක් නැත.මහා බැංකුව කියන පරිදි මෙය විගනකධිපතිගේ කාර්යයකි . එය රජයේ විගණකාධිපතිව්රයාගේ වගකීමක් බැවින් මහ බැංකුව කරන්නේ ඊට පහසුකම්
සැලසීම පමණක් බවද මහ බැංකුව කියයි.එසේ නම් මේ ගැන රටේ ජනයාට කරුණු පැහැදිලි කරන ලෙස අපි රජයේ විගනකධිපතිවරයගෙන්ද ඉල්ලා සිටිමු .

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Views
318
2019-01-03 01:28:53
ජනප්‍රිය පුවත්