දේශපාලන අර්බුදය හමුවේ ආර්ථිකයේ ඉරණම


රටේ තවමත් ආණ්ඩුවක් නැති ගානය.මෙය ලියමින් සිටින මොහොත වන විටත් නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කර නැත.ඇතැම් විට මේ ලිපිය ඔබ කියවන මොහොත වන විට අමාත්‍ය මණ්ඩලය පත් කර තිබෙන්නට පුළුවන.ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කළ පෙත්සමට ලැබුණු අධිකරණ තීන්දුව වුයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවයි.ඒ අනුව ශ්‍රී ලංකාවේ 08 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී සහ බල රහිත එකක් බවට පත් විය. එය විනිසුරු මණ්ඩලයේ ඒකමතික තීරණයක් බවද අපි දනිමු.මේ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් 09 වැනිදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට්‌ නිවේදනයද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර තිබේ.ඒ අනුව සිදු වන්නේ පවතින පාර්ලිමේන්තුවම තවදුරටත්ඉදිරියට ගෙන යාමටය. වර්තමාන බහුතර ජනමතය කුමක් වුවත් 2015 මහමැතිවරණයේ ජනමතයට අනුව අනුව පත්ව තිබෙන මේ පාර්ලිමේන්තු සංයුතිය තුළ කවර රජයකට වුවත් ස්ථාවර ලෙස ක්‍රියාත්මක වීම ඉතාමත් දුෂ්කරය.කවරක් නමුත් මේ ලියුම්කර මීට පෙර කියා ඇති පරිදිම නැවතත් කිව යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය නැති බව හොදටම දැන සිටියේ නම් ( බහිතරය පසුව හදා ගන්න බව සිතාගෙන ) මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය භාර ගැනීම මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමද එතරම්සුදුසු දෙයක් නොවන බවයි.කෙතරම් හොද චේතනාවෙන් රට ගැන සිතා යයි කිව්වත් ඇත්ත වශයෙන්ම මහ මැතිවරණයකට යාමට අවශ්‍ය වුයේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අලුත් අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත් නොකර ද සිදු කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැකිව තිබුණා නොවේද ? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම දියත උයන අසල පැවති ජන රැලියේදී කීවේ කීවේ 113 හදල ඉවරයි කියාය.පොහොට්ටුවේ අයත් කීවේ තමන්ට බහුතරය තිබෙන බවය.මහින්ද රාජපක්ෂ මහතාත් කීවේ අවශ්‍ය වෙලාවට බහුතරය පෙන්වන බවය. ඒ නිසා බොහෝ දෙනෙක් සිතුවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිව්රුම් දුන්නේ ඇත්තවශයෙන්ම බහුතරය හදාගෙන බවය.එහෙත් එය එසේ නොවන බව දැන් කව්රුත් දනී.අගමැතිවරයෙක් හෝ ඇමතිවරු පත් කිරීමට පාර්ලිමේන්තු බහුතරයක් අවශ්‍ය නොවුනත් සුළුතර රජයක් ලෙස හෝ ආණ්ඩුව කරගෙන යාමට පාර්ලිමේන්තු බහුතරය හෝ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකගේ සහාය අවශ්‍ය වේ.අවසානයේ එවැනි තත්වයක් ඇති කර ගැනීමට අපොහොසත් වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්වයකට ජනාධිපතිවරයා පත් විය.එහෙත් ඒ සදහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩක් නොමැති බව උසාවි තීන්දුවෙන් පැහැදිලි වූ දෙයි.මේ අනුව ඉතාම සරලව කියන්නේ නම් දැන් සිදු වනු ඇත්තේ අන් කිසිවක් නොව පවතින අස්ථාවර පාර්ලිමේන්තුවම ඉදිරියට ගෙන යාමට සිදු වීම නිසා දේශපාලන අර්බුදය තවත් දිග්ගැසෙන එකක් වීමයි. මේ පසුබිම තුළ ආර්ථිකයට කවර ඉරණමකට මුහුණ දීමට සිදු වනු ඇතිදැයි අපි මේ ලිපියෙන් සාකච්ජා කරමු.

යළිත් අගමැතිවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාව පත් කිරීමෙන් පසු ඒ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ එජාපෙ මන්ත්‍රීවරු ළග තබාගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා සර කතාවක් කළේය.රනිල් වික‍්‍රමසිංහ මහතා කටක් හෙල්ලුවේ නැත. කළේ ඒ සියල්ලම ඉතා අපහසුවෙන් නමුත් අසාගෙන සිටිමයි.ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු කතා කළේ සජිත් ප්‍රේමදාස මහතා පමණි.එයත් ජනාධිපතිගේ කතාව අනියමින් අනුමත කිරීමක් බව අපට හැගුණු දෙයයි.ජනාධිපතිවරයා එහිදී මෙසේ කීවේය.

'පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බවට මා සිදුකළ ප‍්‍රකාශය මගේ පෞද්ගලික දේශපාලන මතය වන අතර, එම මතය අදත් එලෙසම තිබෙනවා. පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයකු ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට ආරාධනා කර අග‍්‍රාමාත්‍ය ධුරය ලබාදීමට මම තීරණය කළා.'

අගමැතිවරයෙක්‌ නම් කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට බලයක්‌ හිමිව නොමැති අතර, එම බලය ඇත්තේ විධායක ජනාධිපතිවරයාට බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය. ගැටුමකින් තොරව රජයේ කටයුතු ඉදිරියට ගෙන යැම තම අපේක්‍ෂාව වන අතර ගැටුම් ඇති කර ගැනීම තුළින් රට ආපස්‌සට ඇද වැටෙන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා හෙට දවස වෙනුවෙන් රට ගොඩනැඟීමට අවශ්‍ය වන්නේ දූෂණයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක්‌ බව ද කියා සිටියේය.යහපාලන දේශපාලන සංකල්පය අසාර්ථක වූ බවත් එය අමු අමුවේ විනාශ කළ බවත් ජනාධිපතිවරයා කීවේය.ජනාධිපතිවරයා කියූ ඒ කතාව අසත්‍ය එකක් නොවන බව මධ්‍යස්ථ ඕනෑම අයෙකුට පිළිගැනීමට බැරි කමක් නැත.මේ අනුව යහපාලන රජය තුළ දේශපාලන අර්බුදයක් ලෙස මේ මතුව ඇත්තේ අන් කිසිවක් නොව ආර්ථික අර්බුදයේම කිසියම් උත්සන්න වූ අවස්ථාවකි. කොටින්ම බැදුම්කර මගඩි අතුළු යහපාලන සංකල්පයට විරුද්ධව රාජ්‍ය ක්‍රියාකාරීත්වය සිදු වීම නිසාත් එයට ජනාධිපතිවරයා විරුද්ධ වීමේ උපරිම අවස්ථාවකට පත්වීමත් නිසා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධුරයෙන් ඉවත් කළා වන්නට පුළුවන. ඒ අනුව ගත තීරණ උසාවිය හමුවේ අභියෝගයට ලක් වීමෙන් පසුව අකමැත්තෙන් හෝ යලි රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ලෙස පත් කරන්නට සිදුව තිබේ.එහෙත් මේ නව ආණ්ඩුව ජනාධිපතිවරයා සමග කෙතරම්සහයෝගයෙන් කටයුතු කරනු ඇතිද යන්න නම් ප්‍රශ්නයකි.එසේම ජනාධිපතිවරයා ද නව ආණ්ඩුව සමග කෙතරම් සහයෝගයෙන් කටයුතු කරනු ඇතිද යන්නත් ප්‍රශ්නයකි.
මේ අනුව රජයේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යා හැකිද යන ප්‍රශ්නය තිබේ.නිසි ලෙස තීන්දු තීරණ ගනිමින් කිසියම් නිශ්චිත ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතිද ? මේ සියල්ලම ප්‍රශ්නාර්ථයක් පමණි.අපට හැකි වන්නේ ඉදිරි කටයුතු සිදු වන ආකාරය දෙස බලා සිටීම පමණි.මේ අතර විපක්‍ෂනායක ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඉකුත් 18 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් පොහොට්ටුවේ එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් බව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් වූ බව අපට මතකය. මේ අනුව කථානායකවරයාගේ එම පත් කිරීමට විරෝධය පළ කළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මහතා කරුණු දක්වමින් කීවේ මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂනායක ලෙස පත් කළ නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් කතානායකවරයා තීරණයක් දීමට නියමිතව තිබේ.මේ අනුව පැහැදිලි වන්නේ පාර්ලිමේන්තුව තුළ මෙන්ම පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකය ) සහ ජනාධිපතිවරයා ( විධායකය ) අතරත් තවදුරටත් ගැටුම් ඇති වීමට ඉඩ තිබෙන බවයි.මේ නිසා ස්ථාවර ආණ්ඩුවක් ඇති නොවීමෙන් ආර්ථිකය පවතින අහිතකර තත්වයෙන් ගොඩ ගැනීමද ඉමහත් අභියෝගාත්මක කාර්යක් වනු ඇත.

වර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය ඔක්තෝබර් 26 වැනිදා සිට අලුතින්ම ඇති වූ දෙයක් නොවේ.එය යහපාලන රජය ආරම්බයේ සිටම දළුලා වැදුණු යහපාලනය කඩ කිරීම ඇතුළු ආර්ථික කරුණු මුල් කරගත් එකක් බව ඉතාම පැහැදිලිය. මේ ආර්ථික කරුණු අතර ප්‍රබලම සිදු වීම නම් මේ ලියුම්කරු 'බැදුම්කර මගඩිය' ලෙස මුල සිටම හදුන්වන ලද ජනාධිපතිවරයා සිය කතාවේ මහ බැංකු මංකොල්ලය ලෙස හදුන්වන සිද්ධියයි.පැවති යහපාලන ආණ්ඩුවේ හොද නමට වඩාත්ම කැළැල් කළ සිදු වීමත් එයයි.කව්රු නිර්දේශ කළත් මහ බැංකු අධිපතිගේ පත් වීම ජනාධිපතිවරයාගේ පත්වීමකි. ඒ නසා මේ ලියුම්කරු පවා ලීවේ අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද වගකිව යුතු බවයි.ඔහු පත් කරන විට මෙරට පුරවැසියෙකු නොවූ අතරම සෑම රාජ්‍ය සේවකයෙකු විසින්ම අනිවාර්යෙන්ම දියයුතු දිව්රුම පවා ඔහු ලබා දී නොතිබුණි. නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව ඉකුත් 16 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාවෙන්ද වත්මන් දේශපාලන අර්බුදයා හේතු වූයේ මේ බැදුම්කර මංකොල්ලය ඇතුළු ආර්ථික කරණා බව තවදුරටත් තහවුරු වන්නකි.ජනාධිපතිවරයා එහි මෙසේද ප්‍රකාශ කළේය.

' අපි මුහුණ දුන් ඉතාම කටුක අත්දැකීම් ගත්තම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පරාජය කරලා රටේ ජනාධිපතිවරයෙක් පළමු වතාවට පරාජය කරලා හැට දෙලක්ෂ පනස්දහසක ජනතාව මාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ විශේෂයෙන්ම එදා ඒ ආණ්ඩුවේ තිබුණ බරපතළ වැරදි නිසා. ඒ තුළ මූලිකම දේ තමයි දූෂණය සහ වංචාව. එතකොට දූෂණයට සහ වංචාවට විරුද්ධව ජනතාව ජනතාවාදී ආණ්ඩුවක් පත්කරගත්තම තමන්ගේ ඡන්දයෙන් මාස තුනක් යන්න කලින් ඇති වූ මහ බැංකු මංකොල්ලය, අවස්ථා දෙකක දී වාර්තා වූ සිද්ධින් අනුව අපි දූෂණයට විරුද්ධව ගෙනගිය සටන සම්පූර්ණයෙන් දූෂිත කළා. එය සම්පූර්ණයෙන් ජනතාවගේ ප‍්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් සුණු විසුණු කරලා තිබෙනවා. යහපාලන දේශපාලන සංකල්පය විනාශ කරලා තිබෙනවා.

මම අද උදේත් දුරකථනයෙන් මහ බැංකු අධිපතිවරයාට කතා කරලා ඇහුවා ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශ කරන ලද නිර්දේශ තුළ ප‍්‍රධාන නිර්දේශයක් වූ වෝහාරික විගණනය අද වෙනකන් කරලා තියෙනව ද කියලා. අද වෙනකන් එය කෙරිලා නැහැ. ජනාධිපති කොමිෂන් සභාව පැහැදිලිිව කියනවා. මහ බැංකු මංකොල්ලයේ මූල්‍ය වටිනාකම තවම මෙතකැයි කියා සීමාවක් කිව නොහැකයි.

එතකොට ආර්ථික විශේෂඥයන් මට පහුගිය සතියෙත් මේ පිළිබද සාකච්ඡාවක දී කිව්වා වසර ගණනාවක් පුරා සිදුව ඇති මේ මහා මංකොල්ලය බිලියන් දාහකට එහා කියලා කිව්වා. අද වෙනකන් කිසිම විගණනයකින් කොමිෂන් සභා වාර්තාව අනුව සොයාගෙන නැති මුදල් කන්දරාවක්. එතකොට මේ ප‍්‍රශ්නයේ දී පැහැදිලිිව රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා දන්නවා,අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කරන අවස්ථාවේ මම දැඩි ලෙස විරුද්ධ වුණා. නමුත් මාව ජනාධිපති විදියට පත්කරලා සතියක් වගේ කාලයක් තුළ මම කළගුණ දන්නා කෙනෙක් විදියට රනිල් වික‍්‍රමසිංහ මහතා සමග මට කිසිදු ගැටුමක් අවශ්‍ය නැති නිසා එතුමාගේ දැඩි ඉල්ලීමට මම අර්ජුන මහේන්ද්‍රන් පත් කළා. ඒක මගේ පත්වීමක්. ඒ නිසා මටත් චෝදනාවක් ආවා එහි වගකීම මමත් භාරගත යුතුයි කියලා. එසේ වූ අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ කි‍්‍රයාකාරිත්වය තුළ මේ සිදුවීම් සිදුවෙලා රට තුළ මහා ගින්නක් වගේ ඇතිවුණා. විශාල උණුසුමක් වුණා. අර්ජුන මහේන්ද්‍රන් මහතා අදත් නැහැ. ඔහු අල්ලා ගැනීම පිළිබදව වැඩපිළිවෙළක් හරියට කි‍්‍රයාත්මක වුණේ නැහැ. මේ මංකොල්ලය පිළිබදව ජනාධිපති කොමිෂන් සභාවට සහයෝගය දුන්න ද, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ අනිත් නිලධාරීන්ට තර්ජන ආවා, ඒ අයට බලපෑම් ඇති වුණා. ඒ අයට විරුද්ධව පරීක්ෂණ පැවැත්වුවා."

ජනාධිපතිවරයාට කව්රු කැමති වුවත් නැතත් විවිධ අය තුළ කවර දේශපාලන මත තිබුණත් ජනාධිපතිවරයා කියන මේ කිසිවක් බොරු නොවන බව පැහැදිලිය.බැදුම්කර මගඩියට ජනාධිපතිවරයාගේ කිසිම සම්බන්ධයක් නැතත් අර්ජුන මහේන්ද්‍රන්ගේ පත් වීම ඔහුගේ එකක් නිසා මේ සිද්ධියෙන් ඔහුගේ නමට කැළලක් විය.අර්ජුන මහේන්ද්‍රන් මහතා අදත් නැති බවත් ඔහු අල්ලා ගැනීම පිළිබදව වැඩපිළිවෙළක් හරියට කි‍්‍රයාත්මක වුණේ නැති බවත් කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාමය.අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වගකියන බව කියන අය පසුව කීවේ ඔහු සිටින තැනක් නොදන්නා බවකි.මේ තත්වය තුළ වැරදි කරුවන්ට දඩුවම් කරන්නේ කෙසේද ? කොල්ල කෑ ඇති විශාල මහජන මුදල නැවත රජයට අය කර ගන්නේ කෙසේද ? ඒ සම්බන්ධයෙන් තිබෙන්නේ ඉතාමත් අවිනිශ්චිත තත්වයකි.මේ ගැන ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශයෙන් කියන්නේ මෙවැන්නකි.

'මම මහින්ද රාජපක්ෂ මහත්තයා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේ ඔක්තෝබර් 26 වැනිදා. ඊට දවස් හතරකට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහබැංකු මංකොල්ලයේ වැරදිකරුවන්ට දඬුවම් පැමිණීම අවශ්‍යයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළ අල්ලස් හා දූෂණ කොමිෂන් සභා සංශෝධන පනත වචන කිහිපයක් සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවට යවලා මාස 05 කට වැඩිය මේක කබඞ් ඇතුලේ තිබුණා. මම මේ ගැන අවස්ථා කිහිපයක් තලතා අතුකෝරළ ඇමැතිනියට කිව්වා එතුමිය අධිකරණ ඇමැතිනි නිසා. කිරිඇල්ල ඇමැතිතුමාට කිව්වා. කිරිඇල්ල ඇමැතිතුමා කියලා බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් අවසානයේ දින නියමයක් නැතිව එම සංශෝධනය කල් දැම්මා. දැන් ඒ කල්දැමීම තුළ ඒ පනත සංශෝධනය වෙන්නේ නැහැ. අවුරුදු 15 කට 20 කටවත් මේ බිලියන් දාහකට වැඩියි කියන මහ මංකොල්ලයේ පරීක්‍ෂණය කෙරෙන්නේ නැහැ. වැරදිකරුවන්ට දඬුවම් ලැබෙන්නේ නැහැ. මුදල් අය කර ගැනීමට හැකි වන්නේ නැහැ. මේ ප‍්‍රශ්නය අදත් බරපතළයි.'

ජනාධිපතිවරයා කියන මේ කතාව මොන තරම් බරපතල එකක්ද ? මේ වැරදි හදාගැනීමට මේ රජයේ අයට පුලුවන්ද ?සජිත් ප්‍රේමදාස මහතා නම් කීවේ වැරදි හදාගෙන ඉදිරියට යන බවකි.එහෙත් ඒ ගැන නම් රටේ බහුතර ජනයාට විශ්වාසයක් තැබීමට අපහසු තත්වයක් තිබේ. ජනසමාජයේ මිනිසුන් තම එදිනෙදා සාමාන්‍ය දෛනික කටයුතු කරමින් සිටින බව සත්‍යයකි රටේ ආර්ථික ක‍්‍රියාකාරීත්වය කිසියම් ආකාරයකින් අකර්මණ්‍ය වී ඇති සැටියකි.දේශපාලන අවුල කලදෙමින් පවතින තත්වය හමුවේ සිදුවනු ඇත්තේ අන් කිසිවක් නොව රට සහ ආර්ථිකය අස්ථාවර වීමයි.මෙය අවසානයේ බලපානේ රටේ ඇති මහත් බහුතර ජනතාවටයි.

රටේ තිබෙන අවිනිශ්චිත වාතාවරණය නිසා බොහෝ ව්‍යාපාරිකයන් මෙන්ම ආයෝජකයන් තීන්දු තීරණ ගෙන ක‍්‍රියාත්මක
වෙනවා වෙනුවට නැවතී බලා සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව අපි ගිය සතියේ ලිපියෙන්ද කියා සිටියෙමු.
මේ දේශපාලන අර්බුදය හමුවේ ඔවුන්ට රටේ ක‍්‍රියාත්මක වන ඉදිරි ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ගැන පැහැදිලි බවක් , ඒ ගැන නිශ්චිතභාවයක් ඇති කර ගන්නේ කෙසේද ?විශේෂයෙන් දේශපාලන අස්ථාවරත්වය සමග ඔවුන්ට රටේ ක‍්‍රියාත්මක වන ආර්ථික ප‍්‍රතිපත්තිය කුමක්ද යන්න ගැන පැහැදිලි අදහසක් ඇති කර ගැනීමේ අපහසුවක් තිබේ.මෙවැනි ඉතා අවිනිශ්චිත සහ අර්බුදකාරී අවස්ථාවකදී සිදු වනු ඇත්තේ රටේ ආර්ථික ක‍්‍රියාකාරීත්වය ද මන්දගාමී වී ආර්ථික වර්ධනය අඩු වීමයි.එය දැනටමත් සිදුව තිබේ.එනම් මේ වසරේ (2018) මුලින් අපේක්ෂා කළ සියයට 5 ක ආර්ථික වර්ධනය දැන් සියයට 4 කටත් වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.පවතින පාර්ලිමේන්තුව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට අපහසු තීරණාත්මක කඩඉමකට පැමිණ තිබෙන අතර ආර්ථිකමය පැත්තෙන් බැලීමේදී කුමන හෝ ස්ථාවර රජයක අවශ්‍යතාව තදින්ම තිබේ. කවර දේශපාලන මත තිබිය හැකි නමුත් මහ මැතිවරණයකට ගොස් ජනමතයට ඉඩ දීමෙන් හැර මේ දේශපාලන අර්බුදයට විසඳුමක් ඇති කර ගත හැකිවනු ඇති බව සිතීමට අපහසුය. ඒ අනුව පවතින දේශපාලන අර්බුදය කල් පවතින එකක් වුවහොත් ඒ නිසා ආර්ථිකය කබලෙන් ලිපට වැටීම වැළක්විය නොහැකි වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

Views
348
2018-12-20 01:59:32