ස්ථාවර රජයක අවශ්‍යතාව
රටේ ආර්ථික ක‍්‍රියාකාරීත්වය කිසියම් ආකාරයකින් අකර්මණ්‍ය වී ඇති සැටියකි. ජනසමාජයේ මිනිසුන් තම එදිනෙදා සාමාන්‍ය දෛනික කටයුතු කරමින් සිටින බව සත්‍යයකි. එහෙත් රටේ තිබෙන අවිනිශ්චිත වාතාවරණය නිසා බොහෝ ව්‍යාපාරිකයන් මෙන්ම ආයෝජකයන් තීන්දු තීරණ ගෙන ක‍්‍රියාත්මක වෙනවා වෙනුවට නැවතී බලා සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවක් පෙනේ. ඔවුන්ට රටේ ක‍්‍රියාත්මක වන ඉදිරි ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ගැන පැහැදිලි නැත්නම්, ඒ ගැන නිශ්චිතභාවයක් නැත්නම් ඔවුන් අලූතින් ව්‍යාපාරික සහ ආයෝජන තීරණ ගන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ අලූත් ව්‍යාපාර සහ ආයෝජන තීරණ ගැනීම පසුවට කල් දමමින් රටේ සිදුවන්නේ කුමක්දැයි බලා සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. විශේෂයෙන් දේශපාලන ස්ථාවරත්වය සමග ඔවුන්ට රටේ ක‍්‍රියාත්මක වන ආර්ථික ප‍්‍රතිපත්තිය කුමක්ද යන්න ගැන පැහැදිලි අදහසක් තිබිය යුතුය. ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීමෙන් පසු යම් යම් ආර්ථික තීන්දු තීරණ ගෙන ක‍්‍රියාත්මක කළත් ඔහුගේ සහ ඇමැති මණ්ඩලයේ ධුර දැරීම දැන් අභියාචනාධිකරණය විසින් අත්හිටුවා තිබේ. ඒ නිසා දැන් රටේ තිබෙන්නේ ආණ්ඩුවක් නැති තත්ත්වයකි. අප දන්නා තරමින් ආණ්ඩුවක ක‍්‍රියාකාරීත්වය අත්හිටු වූ මෙවැනි තත්ත්වයක් ලංකාවේ මින් පෙර සිදුව නැත. ඒ නිසා මේ ගත වෙමින් පවතින්නේ ඉතා සුවිශේෂී කාලපරිච්ජේදයකි. මෙවැනි ඉතා අවිනිශ්චිත සහ අර්බුදකාරී අවස්ථාවකදී සිදු වනු ඇත්තේ රටේ ආර්ථික ක‍්‍රියාකාරීත්වය ද මන්දගාමී වීමයි. දැන් මුළු රටම බලා සිටින්නේ උසාවියේ තීන්දු තීරණ දෙසය. විශේෂයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට කුමක් සිදුවේද යන්න ගැනය. කෙසේ වෙතත් පවතින පාර්ලිමේන්තුව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට අපහසු තීරණාත්මක කඩඉමකට පැමිණ තිබේ. ආර්ථිකමය පැත්තෙන් බැලීමේදී කුමන හෝ ස්ථාවර රජයක අවශ්‍යතාව තදින්ම තිබේ. කවර දේශපාලන මත තිබිය හැකි නමුත් මහ මැතිවරණයකට ගොස් ජනමතයට ඉඩ දීමෙන් හැර මේ දේශපාලන අර්බුදයට විසඳුමක් ඇති කර ගත හැකිවනු ඇති සිතීමට අපහසුය.

අභියාචනාධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 03 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් නිසා අග‍්‍රාමාත්‍ය ධුරය හා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනාගේ අමාත්‍ය ධුර දැරීම අත්හිටුවා තිබේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරය දැරීම ඇතුළු අනෙකුත් ඇමැතිවරුන්ගේ ධුර දැරීම තාවකාලිකව බල රහිත වී තිබේ. මේ තත්ත්වය හමුවේ නිලධාරීන් වුවත් වෙනදා මෙන් තීන්දු තීරණ ගනිමින් නිසි ලෙස ක‍්‍රියාත්මක වනු ඇතැයි සිතීමට අපහසුය. රටම කිසියම් ආකාරයකට අකර්මණ්‍ය තත්ත්වයකට පත්ව තිබේ. මෙලෙස දැනට උත්සන්න වී පවතින දේශපාලන අර්බුදය නිසා දිගින් දිගටම රටට සහ ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල වෙමින් ආර්ථිකය තවදුරටත් අගාධයට ගමන් කරමින් තිබේ. කෙසේ වෙතත් පසුගිය යහපාලන රජයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු කියන්නට උත්සාහ කරන්නේ මේ සියල්ල සිදු වූයේ පසුගිය ඔක්තෝබර් 26 වැනිදායින් පසුව බවය. එහෙත් එය සත්‍යයක් නොවේ. ඒ වන විටත් ආර්ථිකය බලවත් අහිතකර තත්ත්වයකට පත්ව තිබිණි. යහපාලන රජය පැවතියදී ද දේශපාලන ස්ථාවරත්වයක් මෙන්ම නිශ්චිත ස්ථාවර ප‍්‍රතිපත්තියක් රට තුළ ක‍්‍රියාත්මක වූයේ නැත. එය රටම දන්නා දෙයකි. ඒ නිසා ඉතා හොඳට තිබූ රටක් හෝ ආර්ථිකයක් ඔක්තෝබර් 26 වැනිදා එක රැුයකින් නරක අතට හැරුණා නොවේ. එහෙත් පසුගිය ඔක්තෝබර් 26 වැනිදායින් පසුව රට පත්ව තිබූ නරක තත්ත්වය තවත් උත්සන්න වූ බව නම් ඇත්තය. මේ තත්ත්වයෙන් රටත් ආර්ථිකයත් මුදා ගැනීමට නම් වර්තමාන දේශපාලන අර්බුදය සමනය කර ගනිමින් වර්තමාන මහජන මතය අනුව පාර්ලිමේන්තු බහුතරය සහිත රජයක් බිහි කර ගත යුතුව තිබේ. 2015 ජනමතය අනුව පත්ව තිබෙන එසේම මන්ත‍්‍රීවරුන්ට මුදල්මය අගයන් ඉදිරිපත්ව තිබෙන බවට රටේ නායකයාම ප‍්‍රකාශ කර ඇති වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව බහුතරය බැලීමත් රජය කුමක්දැයි තීරණය කිරීමත් නොකළ යුතු දෙයකි. එය අදට වලංගු නැති බව කථානායක කරු ජයසූරිය මහතාට නොතේරුණත් එය රටේ බහුතර ජනයාට තේරෙන දෙයකි.

දිගින් දිගටම පිරිහෙමින් තිබූ රුfea8 2පියල මේ වන විට තරමක් ස්ථාවර වී තිබේ. එනම් විනිමය අනුපාතයේ කිසියම් ස්ථාවරත්වයක් ඇතිව තිබෙන බවකි. එහෙත් එය තාවකාලිකව පමණක් විය හැකිය. ඒ නිසා මහින්ද රාජපක්ෂ අගමැති සහ මුදල් හා ආර්ථික කටයුතු ඇමැති වීමෙන් පසුව වුවද රුපියල පිරිහීමට බලපාන සාධක එලෙසම තිබෙන්නේ නම් රුපියල පිරිහෙන තත්ත්වය සමනය වන්නේ නැත. ඒ සඳහා ගත හැකිව තිබෙන කෙටි කාලීන, මැදි සහ දිගුකාලීන පියවර නිසි පරිදි කඩිනමින් ගත යුතුව තිබේ. එහෙත් දැන් ආණ්ඩුව අක‍්‍රියව පවතින නිසා රජයට ද මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් කරන්නට දෙයක් නැත. ඒ නිසා ඒ ගැන දැන් රජයට දොස් කීමට ද පුළුවන් කමක් නැත. කවර රජයක් යටතේදී හෝ විදේශ විනිමය ඉපයීම් වැඩි කර ගන්නා පිළිවෙතකට යොමු විය යුතුව තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ඇමැති මණ්ඩලයේ ධුර දැරීම අත්හිටුවා තිබෙන අතරේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලමින් ද අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත්ව තිබේ. යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් මේ පෙත්සම ඉදිරිපත් කර ඇත. රජය සමග ව්‍යාපාර කිරීමෙන් නීතියට පටහැනිව කටයුතු කර ඇති නිසා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහගේ මන්ත‍්‍රී ධුරය අත්හිටුවන ලෙස කෝ වොරෝන්ටෝ (ූමද උ්රර්බඑද* රිට් ආඥාවක් ඉල්ලා කොළඹ මහ නගර සභා මන්ත‍්‍රිනී ශර්මිලා ගෝනවල විසින් අභියාචනාධිකරණයේ මේ පෙත්සම ගොනු කර ඇති අතර පෙත්සම්කාරිය කියා සිටින්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනවලට අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට රජයේ ආයතන සමඟ කොන්ත‍්‍රාත්වලට එළඹ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම මන්ත‍්‍රී ධුර දැරීමට නුසුදුසුකමක් සේ අර්ථකථනය කර ඇති බවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව එම තත්ත්වය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරීමට නුසුදුසුකමක් යැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය මෙයාකාරයෙන් ව්‍යාපාරික කටයුතුවල නිරත වීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතාගේ මන්ත‍්‍රී ධුරය ද පසුගිය කාලයේ අහෝසි කළ බව පෙන්වා දෙයි. මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡුන්දය ප‍්‍රකාශ කිරීම තහනම් කිරීමේ අතුරු ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාරිය වැඩිදුරටත් සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙලෙස වත්මන් දේශපාලන අර්බුදයට මැදිව සිටින දෙපාර්ශ්වයටම නොයෙකුත් නීතිමය අභියෝගයන්ට ද මුහුණ දීමට සිදුව තිබේ.

දේශපාලන අර්බුදය තිබුණත් පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට සංචාරක පැමිණීම් සියයට 16.8 කින් වැඩි වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් මේ දේශපාලන අර්බුදය හමුවේ අනාගත සංචාරක පැමිණීම් අවලංගු වෙමින් පවතින බව සංචාරක අංශයේ අය කියති. අඩු තරමේ සංචාරක ඇමැති ලෙස පත් වූ වසන්ත සේනානායක කළේ දෙපැත්තට පැන පැන සිටීමයි. ඒ හැරෙන්නට ආණ්ඩුවේ සිටි දින කිහිපයේ හෝ විදෙස් සංචාරකයන්ගේ විශ්වාසය තහවුරු කිරීමට මේ වසන්ත සේනානායක කළ දෙයක් නැත. ඔහු පත් වූ වහාම රට සවාරියක් නම් ගියේය. මේ නිසා උසාවි තීන්දුව ලැබෙන තෙක් නොසිට ජනාධිපතිතුමා හෝ මැදිහත් වී සංචාරක මණ්ඩලයේ නිලධාරීන් කැඳවා රටේ පවතින අභ්‍යන්තර දේශපාලන අර්බුදය, රටේ සංචාරයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට කිසිදු බලපෑමක් නොමැති බවට වන යම් නිල ප‍්‍රචාරයක්, අඩු තරමේ මාධ්‍ය නිවේදනයක් හෝ මේ මොහොතේ නිකුත් කළ හැකි නම් හොඳය. උසාවි තීන්දුවලින් හෝ ඉදිරි මහ මැතිවරණයෙන් පසු ඉතා ක‍්‍රියාශීලී අලූත් සංචාරක ඇමැතිවරයෙක් පත් කොට සංචාරක කර්මාන්තයට නායකත්වය භාර දිය යුතුව තිබේ. රට බලවත් ලෙස විනිමය අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක සංචාරක අංශයට බලපා තිබෙන මේ අනතුරුදායක තත්ත්වය වළක්වා ගැනීමට කඩිනම් පියවරක් ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එහෙත් අධිකරණයේ අතුරු තහනම් නියෝගය හමුවේ එය සිදු වනු ඇතැයි ද සිතිය නොහැකිය. මේ නිසා සංචාරක කර්මාන්තය දිගින් දිගටම අපේ විභව හැකියාවට පහළින් තිබෙන තත්ත්වය වළක්වා ගත යුතුව තිබේ.

පසුගිය fea8 123දෙසැම්බර් 06 වැනිදා කොළඹ ශැන්ග‍්‍රීලා හෝටලයේ පැවති සංචාරක සම්මාන උලෙළේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතව සිටියත් ඔහු එයට සහභාගී නොවූ අතර එම උත්සවය පැවැත්වෙමින් තිබියදීම ජනාධිපතිවරයාගේ උපදෙස් මත නිකුත් කළ චක‍්‍රලේඛයක් අසන්නට ලැබිණි. එනම් රජයේ උත්සව සහ රැුස්වීම් රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහ ආයතනවල දී පමණක් සිදු කළ යුතු බවට සියලූ රාජ්‍ය නිලධාරීන්ට දන්වා තිබෙන බවට වන පුවතකි, ඉන් කියවුණේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රමුඛ සියලූම රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැුස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන් සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බවට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි. රට ආර්ථික අර්බුදයක තිබෙන මොහොතක රජයේ වියදම් පාලනය කිරීමට පියවර ගැනීම වරදක් නොවේ. ජනාධිපතිවරයා මෙයට නොපැමිණියේ එය සුපිරි ශැන්ග‍්‍රීලා හෝටලයේ පවත්වන ලද නිසාදැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් මෙය කලින් සැලසුම් කළ උත්සවයක් නිසා හදිසියේ එය වෙනත් තැනක පැවැත්වීමටද හැකියාවක් නැත. කවරක් නමුත් මෙවැනි උත්සවවලට අදාළ සංචාරක හෝටල් හිමියන් ද කිසියම් අනුග‍්‍රාහකත්වයක් සපයන්නේ නම් එය ඉතා හොඳය.

සාමාන්‍යයෙන් රජයේ මුදල් වියදම් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වේ. එහෙත් විසර්ජන පනතක් ඉදිරිපත් නොකරන අවස්ථාවකදී අතුරු සම්මත ගිණුමක් මගින් රාජ්‍ය වියදම් දැරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත හැකිය. එහෙත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඇතුළු කණ්ඩායමට මේ පාර්ලිමේන්තුවේ බහුතර බලය නැත්නම් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට ද හැකියාවක් නැත. එසේම පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවකදී ජනාධිපතිවරයාට මාස තුනක කාලයක් වියදම් දැරිය හැකිය. එහෙත් දැන් පාර්ලිමේන්තුවද විසුරුවා හැරීම ද අත්හිටුවා රජයේ ක‍්‍රියාකාරීත්වය ද නැවතී ඇති මොහොතක 2019 ජනවාරි 01 වැනිදා සිට රාජ්‍ය වියදම් දැරීම කළ නොහැකි බවට එජාප මන්ත‍්‍රීවරු අදහස් දක්වා තිබුණි. එහෙත් ඊට ප‍්‍රතිචාර ලෙස අනුර ප‍්‍රියදර්ශන යාපා මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවකදී කියා තිබුණේ 1982 අංක 40 දරන ණය (විශේෂ විධිවිධාන * පනත අනුව රජයට ණය ලබා ගැනීමට සහ වියදම් දැරීමට බාධාවක් නැති බවයි. පනතේ සඳහන් වන පරිදි ණය ලබාගෙන ඒ ණය මුදල්වලින් රජයේ වියදම් දැරීමට හැකි බව එම පනතේ සඳහන්ය. කවරක් නමුත් ඒ වියදම් සියල්ල පසුව ගෙනෙන විසර්ජන පනතට ඇතුළත් කර පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට සිදු වේ.

රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා වශයෙන් ක‍්‍රියාකිරීමට විශ්වාසය පළ කිරීම සඳහා ඊයේ(12 * පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡුන්ද 117 ක් ලැබී තිබේ. මේ පාර්ලිමේන්තු රැුස්වීම් නීත්‍යානුකුල ද යන්නත් උසාවිය හමුවේ අභියෝග කර ඇත. විශ්වාසය පළ කිරීමේ යෝජනාවකින් කිසිවෙක් අගමැති වන්නේ නැති වුවත් මහින්ද රාජපක්ෂ මහතාට 2015 ජනමතය අනුව පත් වූ පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති බව පැහැදිලිය. ඒ නිසා අපගේ අදහස නම් තමන්ට බහුතරය නැත්නම් ඔක්තෝබර් 26 වැනිදා අගමැති ධුරය භාර ගැනීම නොකළ යුතුව තිබූ දෙයක් බවයි. කෙසේ වුවත් ඉක්මන් මහා මැතිවරණයකට යෑමට හැකි වුවහොත් ගැටලූවක් නැත. එසේ නැත්නම් මේ පාර්ලිමේන්තුව තුළ බහුතර බලය නොමැතිව ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම කළ හැකි දෙයක් නොවේ. රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවකට අකමැති වුවත් එය පිළිගත යුතුව ඇති සත්‍යයකි. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනපති ගැසට් නිවේදනයට උසාවිය දෙන තීරණය අනුව ඉදිරි දේශපාලන සිතියමේ ගමන් මග තීරණය වනු ඇත. ඒ අනුව පවතින දේශපාලන අර්බුදය කල් පවතින එකක් වුවහොත් ඒ නිසා ආර්ථිකය කබලෙන් ලිපට වැටීම ද වැළැක්වීම දුෂ්කර කටයුත්තක් වනු ඇත.

දැනට අතුරු තහනම් නියෝග දී ඇති නඩුවලට අවසානයේ කවර තීන්දු උසාවියෙන් ලැබෙනු ඇතිද යන්න දැන ගැනීමට ලැබෙනුයේ ඉදිරි අධිකරණ ක‍්‍රියාවලිය හරහාය. ඒ කෙසේ වෙතත් මේ පසුබිම තුළ රාජ්‍ය නිලධාරීන්ට තීරණ ගැනීම සඳහා විශාල අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති බව නම් පැහැදිලිය. ඔවුන්ට සාමාන්‍ය තත්ත්වයකදී මෙන් තීරණ ගෙන ක‍්‍රියාත්මක වීමට කිසියම් අපහසු තත්ත්වයක් මේ මොහොතේ ඇති වී තිබේ. ඉක්මනට මහ මැතිවරණයකට යෑමට ඉඩ කඩ සැලසුනහොත් මේ තත්ත්වය සමනය වනු ඇති බව කිව හැකිය. එහෙත් ඒ සඳහා කවර නීතිමය අභියෝග මතුවේද යන්න පැහැදිලි නැත. ඒ නිසා දැන් ජනතා පරමාධිපත්‍ය බලය හිමි මහජනතාවට තීරණයක් ගැනීමට ඉඩකඩ සලසා දීම වඩාත්ම සුදුසු දෙය බව බොහෝ දෙනාගේ අදහස වුවත් උසාවිය කවරක් තීරණය කරයිද යන්න අප දන්නේ නැත. ජනමතයට ඉඩ දීමෙන් හැර මේ ප‍්‍රශ්නය උසාවියෙන් විසඳා ගත හැකි වනු ඇතැයි ද යන ප‍්‍රශ්නාර්ථය තිබේ. එනම් නිකුත් කළ ගැසට් නිවේදනය ප‍්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි නම් වනුයේ මහ මැතිවරණයක් පවත්වන තෙක්ම මේ දේශපාලන අවුල දිග්ගැසෙමින් රටටත් ආර්ථිකයටත් විශාල අහිතකර තත්ත්වයක් ඇති කරමින් මහජනතාවට අහිතකර තත්ත්වයක් උද්ගත වීමයි.දේශපාලන අර්බුදය සහ උසාවි නියෝග හමුවේ දැන් ආණ්ඩුව අකර්මණ්‍ය වී ඇති නිසා මේ සඳහා ආණ්ඩුවට ක‍්‍රියාත්මක විය හැකි බවක් ද පෙනෙන්නට නැත. මේ අනුව සිදු වෙමින් තිබෙන්නේ ඔක්තෝබර් 26 දිනට පෙර සිටම ආර්ථිකයේ තිබූ අහිතකර තත්ත්වය දිනෙන් දින තවත් තීව‍්‍රර වීමයි. මේ නිසා කවර ආණ්ඩුවක් හෝ අකර්මණ්‍ය වී ඇති තත්ත්වයෙන් මිදිය යුතුව ඇති අතර ආර්ථික කටයුතු අකර්මණ්‍ය නොවීමට එය අත්‍යවශ්‍යය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com
Views
144
2018-12-12 21:22:01
ජනප්‍රිය පුවත්