අගමැති සහ ඇමති මණ්ඩලයට එරෙහි තහනම් නියෝගය ඉවත් කරන්නැයි විශේෂ අභියාචනයක්


මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් වී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 17 දෙනෙකු විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස අභියාචනාධිකරණය වෙත අදාළ පෙත්සම ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල මන්ත්‍රීවරුන් 122 තිදෙනා නම් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කියා සිටින්නේ තම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති තහනම් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

මෙවැනි තරම් නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවද ඔවුන් පෙන්වා දෙති.

මේ හේතුවෙන් තම අභියාචනය පිළිබඳ විභාගයක් පවත්වා අභියාචනාධිකරණය නිකුත් කළ තහනම් නියෝගය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමා අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
Views
209
2018-12-11 13:49:08
දේශපාලන පුවත්