ආර්ථිකය අකර්මන්‍ය නොවීමට නම් ....


දැන් රටේ ආණ්ඩුවක් නැති තත්වයක් තිබේ.ඒ අභියාචනාධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 03 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් නිසාය.අග්‍රාමාත්‍ය ධූරය හා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනාගේ අමාත්‍ය ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් එදින අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර එය නඩු විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන බවද එම නියෝගයේ සඳහන්ව ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරීම ඇතුළු අනෙකුත් ඇමතිවරුන්ගේ ධූර දැරීම තාවකාලිකව බල රහිත වී තිබේ. තත්වය හමුවේ නිලධාරීන් වුවත් වෙනදා මෙන් තීන්දු තීරණ ගනිමින් ක්‍රියාත්මක වනු ඇතැයි සිතීමට අපහසුය.රටම කිසියම් මට්ටමකට් අකර්මන්‍ය තත්වයකට පත්ව තිබේ. මෙලෙස දැනට උත්සන්න වී පවතින දේශපාලන අර්බුදය නිසා දිගින් දිගටම රටට සහ ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල වෙමින් තිබේ.කෙසේ වෙතත් පසුගිය යහපාලන රජයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු කියන්නට උත්සාහ කරන්නේ මේ සියල්ල සිදු වුයේ පසුගිය ඔක්තෝබර 26 වැනිදායින් පසුව බවය.එහෙත් එය සත්‍යයක් නොවේ.ඒ වන විටත් ආර්ථිකය බලවත් අහිතකර තත්වයකට පත්ව තිබිණි. යහපාලන රජය පැවතියදී ද දේශපාලන ස්ථාවරත්වයක්ක් තිබුණේ නැත,පසුගිය ඔක්තෝබර 26 වැනිදායින් පසුව ඒ තත්වය තවත් උත්සන්න වූ බව නම් ඇත්තය.රුපියල ද දිගින් දිගටම පිරිහෙමින් තිබේ. පසුගිය දිනවල ඇමරිකානු ඩොලරයක අගය රු.182 ද ඉක්මවා ගොස් පසුව නැවත රු.180 දක්වා තරමක් ශක්තිමත් වී යළි ගිය සිකුරාදා(07) දිනයේ ඇමරිකානු ඩොලරයක අගය 181.02 දක්වා පිරිහීමට ලක්ව ඇත.මේ අනුව තවමත් විනිමය අනුපාතයේ ස්තාවරත්වයක් ඇතිව තිබෙන බවක් නොපෙනේ. මහින්ද රාජපක්ෂ අගමැති සහ මුදල් හා ආර්ථික කටයුතු ඇමති වීමෙන් පසුවත් රුපියල පිරිහෙන තත්වය සමනය වුයේ නැත..ඒ සදහා ගත හැකිව තිබෙන කෙටි කාලීන පියවර හෝ නිසි පරිදි කඩිනමින් ගත් බවක් ද නොපෙනුණි . දැන් නම් ආණ්ඩුව අක්‍රියව පවතින නිසා ඒ ගැන රජයට දොස් කීමටද පුළුවන් කමක් නැත.


සංචාරක ඇමති ලෙස පත් කළ වසන්ත සේනානායක දෙපැත්තට පැන පැන සිටියා හැරෙන්නට කළ එකම දෙය සංචාරක ඇමති ලෙස පත් වූ වහාම විදෙස් සංචාරයකට යාමයි.එහෙත් මේ දේශපාලන අර්බුදය හමුවේ බොහෝ සංචාරක පැමිණීම් අවලංගු වෙමින් පවතින බව සංචාරක අංශයේ අය කියති.අඩු තරමේ දෙපැත්තට පැන පැන සිටියා හැරෙන්නට ආණ්ඩුවේ සිටි දින කිහිපයේ හෝ විදෙස්සංචාරකයන්ගේ විශ්වාසය තහවුරු කිරීමට මේ වසන්ත සේනානායක රට සවාරියක් ගියා හැරෙන්නට කිසිම දෙයක් නොකළේය. මේ නිසා වහාම අලුත් සංචාරක ඇමතිවරයෙක් පත් කොට මේ අහිතකර තත්වය වළ ක්වා ගැනීමට කටයුතු කළ යුතුව තිබුණත් එයද සිදු නොවීය. රට බලවත් ලෙස විනිමය අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක සංචාරක අංශයට බලපා තිබෙන මේ අනතුරුදායක තත්වය වලක්වා ගැනීමට කඩිනම් පියවරක් ගැනීම අත්‍යවශ්‍ය වෙයි.එහෙත් අධිකරණයේ අතුරු තහනම් නියෝගය හමුවේ එය සිදු වනු ඇතැයි ද සිතිය නොහැකිය.මේ නිසා සංචාරක කර්මාන්තයට දිගින් දිගටම හානි සිදු වෙමින් තිබේ.ඉකුත් දෙසැම්බර් 06 වැනිදා කොළඹ ශැන්ග්‍රීලා හෝටලයේ පැවති සංචාරක සම්මාන උලෙළේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතව සිටියත් ඔහු එයට සහභාගී වුයේ නැත.එම උත්සවය පැවැත්වෙමින් තිබියදීම ජනාධිපතිවරයා ගත තීරණයක්ද දුරකථන කෙටි පණිවිඩ මගින් දැනගන්නට ලැබිණි.එනම් රජයේ උත්සව සහ රැස්වීම් රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහ ආයතනවල දී පමණක් සිදු කල යුතු බව සියලු රාජ්‍ය නිලධාරීන්ට දන්වා තිබෙන බවට වන පුවතකි,ඉන් කියවුනේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රමුඛ සියලූම රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන් සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපතිවරයා දැනුම් දී ‍ඇති බවයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබුණේ ජනපතිගේ උපදෙස් පරිදි රජය නිකුත් කළ චක‍්‍රලේඛයක් මඟින් සියලූ රාජ්‍ය නිලධාරින්ට අ මේ බව දන්වා තිබෙන බවයි.මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබිය දී, ඒවා භාවිත නොකර ඉතා අධික මිල ගණන් ගෙවා රජයේ උත්සව සහ වැඩසටහන් සුඛෝපභෝගී හෝටල්වල පැවැත්වීම මගින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම හා රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙන බවද එම පුවතේ සදහන් විය. ජනාධිපතවරයා මෙයට නොපැමිණියේ එය සුපිරි ශැන්ග්‍රීලා හෝටලයේ නිසාදැයි අප දන්නේ නැත.

දේශපාලන අර්බුදය හමුවේ පාර්ලිමේන්තු කටයුතු දිගින් දිගටම අවුල් වී තිබේ.අප දන්නා පරිදි මුදල් බලය තිබෙන්නේ
පාර්ලිමේන්තුවටය.ඒ නිසා විපක්ෂය පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් රජයේ වියදම් කපා හැරීමේ යෝජනා සම්මත කරගෙන ඇත.මේ අනුව ජන රජයේ අරමුදල් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඔවුන්ගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ වියදම් සඳහා භාවිත කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලයක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව ඡන්ද 122 කින් ඉකුත් නොවැම්බර් 30 දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ආණ්ඩු පක්ෂය එදින සභාවාරයට සහභාගී නොවූ අතර එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය. එසේම මීට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙනා යෝජනාවක්ද ඡන්ද 123 කින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.ආණ්ඩු පක්ෂය එදින සභාවාරයට සහභාගී නොවූ අතර එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබුණි. මේ අතර අද දින සභාවාරයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී වී නොසිටියද සභාවේ අසුන්ගෙන සිටි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.එම අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාය. පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම යෝජනාව ස්ථිර කර ඇත.ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කළේ මේ පාර්ලිමේන්තු රැස්වීම් නීති විරෝධී බවයි.මේ ප්‍රතිපාදන කපා හැරීමේ යොජනා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර කුමාර ජයකොඩි මහතා ද මාධ්‍ය හමුවකදී කීවේ මුදල් පනතක් සංශෝධනය කළ හැක්කේ තවත් පනතක් ගෙන ඒමෙන්ම පමණක් බවයි.

දැනට අතුරු තහනම් නියෝග දී ඇති නඩුවලට අවසානයේ කවර තීන්දු උසාවියෙන් ලැබෙනු ඇතිද යන්න දැන ගැනීමට ලැබෙනුයේ ඉදිරි අධිකරණ ක්‍රියාවලිය හරහාය.ඒ කෙසේ වෙතත් මේ පසුබිම තුළ රාජ්‍ය නිලධාරීන්ට තීරණ ගැනීම සදහා විශාල අවිනිශ්චිත තත්වයක් උද්ගතව ඇති බව නම් පෙනේ. ඔවුන්ට සාමාන්‍ය තත්වයකදී මෙන් තීරණ ගෙන ක්‍රියාත්මක වීමට කිසියම් අපහසු තත්වයක් මේ මොහොතේ ඇති වී තිබෙන බව පැහැදිලිය.ඉක්මනට මහ මැතිවරණයකට යාමට ඉඩ කඩ සැලසුනහොත් මේ තත්වය සමනය වනු ඇති බව කිව හැකිය.ඒ නිසා දැන් අවශ්‍ය කරන්නේ ජනතා පරමාධිපත්‍ය බලය හිමි මහජනතාවට තීරණයක් ගැනීමට ඉඩකඩ සලසා දීමයි. ජනමතයට ඉඩ දීමෙන් හැර මේ ප්‍රශ්නය උසාවියෙන් විසදා ගත හැකි වනු ඇතැයි ද සිතිය නොහැකිය.එනම් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි නම් වනුයේ මහ මැතිවරණයක් පවත්වන තෙක්ම මේ දේශපාලන අවුල දිග්ගැසෙමින් රටටත් ආර්ථිකයටත් විශාල අහිතකර තත්වයක් උදා වීමයි.

මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්විමෙන් පසුව ජනතාවට සෘජුව බලපාන සහන රැසක් මේ වන විට ලබාදී ඇති බවත්
එළඹෙන මාසය තුළ තවත් සහන රැසක් ලබාදීමට ආණ්ඩුව පියවර ගන්නා බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.මේ රජය දෙවරක්ම තෙල් මිලද අඩු කළේය.මේවාට ජනතාව කැමති වන නමුත් සහන වල පිරිවැය දරන්නේද අන් කිසිවෙක් නොව මහජනතාවම බව අප තේරුම් ගත යුතුය.මේවාට රජයට අදායම්ද අවශ්‍ය වෙයි.ඒ නිසා මේ ලබාදෙන සහන මුල්‍යකරණය කරන්නේ කෙසේද යන ප්‍රශ්නයද තිබේ.ඉදිරි මහ මැතිවරණයක් අපේක්ෂාවෙන් මේ සහන ලබා දෙනවා විය හැකිය.එහෙත් දේශපාලන වාසි තකා සහන දෙනවා වෙනුවට දැන් අවශ්‍ය කරන්නේ පසුගිය යහපාලන රජය යටතේ අහිතකර තත්වයට පත්වූ ආර්ථිකය යථා තත්වයට ගැනීමට ගත හැකි කඩිනම් පියවර ගැනීමයි.දේශපාලන අර්බුදය සහ උසාවි නියෝග හමුවේ දැන් ආණ්ඩුව අකර්මන්‍ය වී ඇති නිසා මේ සදහා ක්‍රියාත්මක විය හැකි බවක්ද පෙනෙන්නට නැත. මේ අවස්ථාවේ විදේශ විනිමය උපයන කර්මාන්ත දිරි ගැන්වීම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබේ.ඉදිරි අයවැයකින් හෝ ඒ ගැන අවදානය යොමු කළ යුතුය. අයවැයක් වෙනුවට දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන්නේ අතුරු සම්මත ගිණුමකි.එනම් අයවැය ඉදිරිපත් කරන තෙක් 2019 වසරේ මුල් මාස 4 සඳහා රුපියල් බිලියන 1,735 ක මුදලක් වෙන් කිරීම සඳහා මෙය ඉදිරිපත් කරන බව ප්‍රකාශ විය.අතුරු සම්මත ගිණුම සම්මත කර ගත නොහැකි වුවහොත් කරන්නේ කුමක්දැයි යන්නද පැහැදිලි නැත.

මහ බැංකුව පසුගිය සැප්තැම්බර මාසයේ විදේශ වෙළෙදාමේ ක්‍රියාකාරිත්වය ප්‍රකාශයට පත් කර තිබේ.මේ අනුව වෙළඳ හිඟය පුළුල් වීම සහ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් විවිධ කෙටිකාලීන ආයෝජන ආපසු රැගෙන යෑම්, මෙම මාසයේ දී ගෙවුම් තුලනය කෙරෙහි අහිතකර ලෙස බලපෑවේය. අඛණ්ඩව සිව්වැනි මාසයටත් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගියද, අපනයන ආදායමේ වර්ධනයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම වර්ධනය විය.
ගෝලීය මූල්‍ය වෙළඳපොළ ශක්තිමත් වීම හමුවේ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ආපසු රැගෙන යෑම් වාර්තා විය. මේ අතර, 2018 සැප්තැම්බර් මාසයේදී කොළඹ කොටස් වෙළඳ‍පොළෙහි ද විදේශීය ආයෝජන නැවත රැගෙන යෑම් දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, වසරේ පළමු මාස අට තුළ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 5.3 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල, දේශීය විදේශ විනිමය වෙළඳපොළේ පීඩනය පිළිබිඹු කරමින් සැප්තැම්බර් මාසයේ දී සියයට 4.6 කින් තවදුරටත් අවප්‍රමාණය විය.මෙම තත්ත්වයන් හේතුවෙන්, විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් අඩුකිරීම සඳහා විදේශ විනිමය වෙළඳපොළ වෙත මහ බැංකුවේ මැදිහත්වීම අවශ්‍ය විය. 2018 සැප්තැම්බර් අවසානය වන විට රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 3.8 කට සමාන වන පරිදි ඇමරිකානු ඩොලර් බිලියන 7.2 ක මට්ටමක පැවතුණි.
ඉකුත් නොවැම්බර් මස 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 15.1 කින් අවප්‍රමාණය විය. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපෙක්ෂවද අවප්‍රමාණය විය.සමස්තයක් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි ගෙවීම් වාර්තා වීම සහ ආනයන වෙනුවෙන් විදේශ විනිමය වෙළෙඳපොළ තුළ පැවති ඉල්ලුම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම කෙරෙහි වැඩිවශයෙන් බලපෑවේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන්ව තිබේ. මේ අනුව ඔක්තෝබර 26 දිනට පෙර සිටම ආර්ථිකයේ තිබු අහිතකර තත්වය මේ වන විට තවත් තීව්‍රර ඇති බව පැහැදිලිය.මේ නිසා ආණ්ඩුව අකර්මන්‍ය වී ඇති තත්වයෙන් වහාම මිදිය යුතුව තිබේ.ආර්ථික කටයුතු අකර්මණ්‍ය නොවීමට එය අත්‍යවශ්‍ය කරුණකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
204
2018-12-11 12:42:35