සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායන් වසර පහකට ආදායම් බද්දෙන් නිදහස්
සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායන් වසර පහකට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

එසේම දේශීයව කෘෂිකාර්මික භාණ්ඩ යොදා ගනිමින් සැකසුම් කටයුතුවල නිරතවීමෙන් ලබන ලාභය මත අය කරන බදු අනුපාතය ද සියයට 28 සිට සියයට 14 දක්වා අඩු කර ඇති බවද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ අනුව අපනයන සඳහා මෙන්ම දේශීය ආහාර පරිභෝජනය සහ කාර්මික අමුද්‍රව්‍ය වශයෙන් යොදාගැනීම සඳහා යන අරමුණු දෙක සාක්ෂාත් කරගැනීමට හැකිවන පරිදි තේ, කුළු බඩු, පොල්. රබර්, වී, පළතුරු, එළවළු ආදි ඕනෑම කෘෂිකාර්මික අංශයෙන් ලැබෙන ආදායම් විශේෂයෙන් සුළු පරිමාණ ව්‍යවසායකයින් වසර 5 ක කාලයක් සඳහා ආදායම් බදුවලින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි එම අමාත්‍යංශය කියයි.

මෙය හරහා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලෙන ගොවීන්ට මෙන්ම පාරිභෝගික ජනතාවට විශාල සෙතක් සැලසෙන බවද එම අමාත්‍යංශය කියයි.


තව ද කුඩා ව්‍යාපාර කටයුතුවල නිරත ව්‍යවසායකයින්ට දැඩි පීඩනයක් ඇති කරන ලද ආර්ථික සේවා ගාස්තුව අදාළ වන ආදායම් සීමාව කාර්තුවකට රු. මිලියන 12.5 සිට කාර්තුවකට රු. මිලියන 50 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

කෘෂිකාර්මික සංවර්ධනය තුළින් අපනයන මෙන්ම දේශීය ආහාර පරිභෝජනය ට ද ඉහළම ප්‍රමුඛතාව ලබාදිය යුතු බවට ජනාධිපතිතුමන්ගේ සහ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම සහන ක්‍රියාත්මක කෙරේ.

පෙර පැවති රජය මගින් බදු ක්‍රමය සඳහා සංශෝධන කිහිපයක් ඇතිකිරීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව, විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්ගේ නිරතවූවන්, වෘත්තීය සහ වෙනත් සේවාවන්හි සහ කෘෂිකාර්මික කටයුතුවල නිරත වූවන් ඉහළ බදු බරක් සහ සංකීර්ණ බදුකරණයකට මුහුණපාන ලදි. වැටුප් ආදායම සහ අනෙකුත් වේතන පොළි සහ බදු කුළී ආදායම් මත ඉහළ ආදායම් බදු පැනවීමට අමතරව, එකතු කළ අගය මත බද්ද (VAT), ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT), ආර්ථික සේවා ගාස්තුව (ESC) සහ රඳවාගැනීමේ බදු (WHT) ආදිය ක්‍රියාත්මක කිරීම සඳහා පැවති බදු නිදහස් සීමාව අඩුකිරීම සහ ඉහළ බදු අනුපාත පැනවීම තුළින් බදු බර තවදුරටත් ඉහළ නංවන ලදි. ජනතාවට අවශ්‍ය වන්නේ සරල පුළුල් වූ පදනමක් සහ අඩු බදු අනුපාත සහිත විනිවිද දැකිය හැකි බදු ක්‍රමයක් සහ සරල කරන ලද බදු පරිපාලන ක්‍රමවේදයකි.

වැවිලි අංශයේ මෙන්ම, වී, ධන්‍ය, පළතුරු සහ එළවළු වැනි වැවිලි නොවන කෘෂිකාර්මික කටයුතු යන අංශ දෙකෙහිම කෘෂිකාර්මික බෝග වගාව පූර්ණ පරිමාණයෙන්ම සිදුකිරීමට යෝග්‍ය ලෙස කාලගුණ තත්ත්වය අතිශයින්ම වාසිදායක බවට පත් වී ඇත. එබැවින්, රජය විසින් පොහොර මිල අඩු කිරීම, කෘෂිකාර්මික ණයවලට අදාළ පොළී සහ දඩ පොළී මුදල් ලියා හැරීම එවැනි ව්‍යවසායකයින් විසින් කෘෂිකාර්මික කටයුතුවලින් උපයන ආදායම මත ආදායම් බදු අනුපාත අඩුකිරීම වැනි ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇත.

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ඉහළම ප්‍රමුඛතාව ලබාදිය යුතු බවට වන ජනාධිපතිතුමන්ගේ සහ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ එකඟත්වය අනුව, තේ, කුළු බඩු සහ අනෙකුත් අපනයනය කළ හැකි බෝග යනාදී අපනයන සඳහා මෙන්ම දේශීය ආහාර පරිභෝජනය සහ කාර්මික අමුද්‍රව්‍ය වශයෙන් යොදාගැනීම දිරිමත් කිරීමට පහත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කෙරෙන බවද මුදල් හා ආර්ථික කටයුතු අමාත්යංශය පවසයි.

අ. තේ, කුළු බඩු, පොල්. රබර්, වී, පළතුරු, එළවළු ආදි ඕනෑම කෘෂිකාර්මික ආදායම් විශේෂයෙන් සුළු පරිමාණ ව්‍යවසායකයින් වසර 5 ක කාලයක් සඳහා ආදායම් බදුවලින් නිදහස් කළ යුතු වේ.

ආ. දේශීයව කෘෂිකාර්මික භාණ්ඩ යොදා ගනිමින් සැකසුම් කටයුතුවල නිරතවීමෙන් ලබන ලාභය මත බදු අනුපාතය සියයට 28 සිට සියයට 14 දක්වා අඩුකිරීම.

ඇ. පෙර පැවති රජය විසින්, ආර්ථික සේවා ගාස්තුව 0.25% සිට 0.5% දක්වා ඉහළ නංවා ඇති අතර, එහි බදු නිදහස් සීමාව රු. මිලියන 12.5 දක්වා අඩු කර ඇත. මෙමඟින් කුඩා ව්‍යාපාර කටයුතුවල නිරත ව්‍යවසායකයින්ට දැඩි පීඩනයක් ඇති කරන ලදි. එබැවින්, ආර්ථික සේවා ගාස්තුව අදාළ වන ආදායම් සීමාව කාර්තුවකට රු. මිලියන 12.5 සිට කාර්තුවකට රු. මිලියන 50 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

ඈ. පරිසර හිතකාමී, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් බලශක්ති උත්පාදනය කිරීමට මෙම රජය විසින් දෙන ලද ප්‍රමුඛතාවයන් හඳුනාගෙන, තේ, රබර්, පොල්, සහල් සහ අනෙකුත් කෘෂිකාර්මික සැකසුම් කර්මාත්නශාලා සඳහා යොදාගන්නා සූර්ය කෝෂ පැනල සවිකිරීම ඇතුළුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත සංක්‍රමණය වීම සඳහා දැරිය යුතු පිරිවැය, එම කර්මාන්තවල බදු අය කළ හැකි ලාභය ගණනය කිරීමේදී, අඩු කළ හැකි වියදමක් ලෙස හඳුනාගැනීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනා කරනු ලබයි.

ඉ. පෞද්ගලික අංශයේ ණය පහසුකම් තියුණු ලෙස අඩුකිරීම, ඉහළ පොළී අනුපාත ප්‍රතිපත්ති, සියලුම මට්ටම්වලදී ඉහළ බදු අනුපාත වැනි පසුගිය අවුරුදු 3 තුළ සිදු වූ ආර්ථික ක්‍රියාකාරකම්වල වෙනස්කම් හේතුවෙන් බොහෝ ව්‍යවසායකයින්ට විශේෂයෙන්ම, නිවෙස් ආශ්‍රිත සුළු ව්‍යවසායකයින්ට ඔවුන් විසින් බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලබාගන්නා ලද ණය ක්‍රමවත් පරිදි සේවාකරණය කිරීම අසීරු වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ණය ගැණුම්කරුවන් පමණක් නොව, ඔවුන්ගේ ඇපකරුවන්ද, ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ණය පැහැර හරින්නන් වශයෙන් ලැයිස්තුගත වී ඇති අතර, එය, බැංකු විසින් එම ණය ගැණුම්කරුවන් සහ ඇපකරුවන් වෙත ණය පහසුකම් ලබාදීම අඩු කිරීමට හෝ අත්හිටුවීමට හේතු වී ඇත. එබැවින්, කෙටිකාලයේදී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ලබාදෙමින් ඔවුන්ගේ ව්‍යාපාර නැවත ප්‍රාණවත් කිරීම සඳහා සහය විය හැකි වැඩසටහනක් නිර්මාණය කරන මෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී ඇත.

ඊ. පාරිභෝගිකයින්ට සහනයක් වශයෙන්, 'වටානා' මත බදු කිලෝග්‍රෑමයකට රු. 10 කින් ඉවත් කිරීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් බලය ලබා දී ඇත. ඊට අමතරව, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන වියදම අඩුකිරීම සඳහා රජය විසින් දැනටමත්, ඉන්ධන මිල පහත දැමීමට සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ කිහිපයකම මිල සහ බදු පහත හෙලීමට කටයුතු කර ඇත.

Views
329
2018-11-23 09:15:20
ආර්ථික පුවත්