අගවිනිසුරුට ලිපියක් යැව්වේ නෑ - කරූගේ මාධ්‍ය අංශය කියයි
කථානායකවරයා විසින් අගවිනිසුරු නලින් පෙරේරා මහතා අමතා යොමු කරන ලද බවට සඳහන් වන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත් එය සාවද්‍ය ලිපියක් බවත් කථානායක මාධ්‍ය අංශය අද නිවේදනය කළේය.

2018.11.20 දින මෙම ලිපිය නිකුත් කර ඇති බව ද සදහන්ව තිබේ.

මෙය මුළු මනින්ම සාවද්‍ය ලිපියක් වන අතර, එවැන්නක් අගවිනිසුරුවරයාට කතානායකවරයා විසින් යොමු කර නොමැති බවත් කථානායක මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.

එම සාවද්‍ය බවට ප්‍රචාරය වන ලිපිය කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යන ලිපි ශීර්ෂය යටතේ කථානායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් ද යුතුව සකසා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37.2 අනු ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ ස්වකීය ධූරයේ බලතල, කාර්ය සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමට හා පත් කිරීමට තාවකාලිකව නොහැකි වී ඇත්දැයි මෙහිදී කථානායකවරයා අගවිනිසුරුගෙන් විමසා ඇති බව එම සාවද්‍ය යැයි කියන ලිපියේ සඳහන් වෙයි.

ඒ අනුව අගවිනිසුරුගේ මතය ලිඛිතව දැනුම් දෙන ලෙසත් එසේම අනවශ්‍ය ජන කැලඹීමක් උදෙසා අදාළ කටයුතු අවසන් වෙන තෙක් මෙම ලිපිය ප්‍රසිද්ධ නොකරන ලෙසත් එම ලිපියේ සඳහන්ව තිබේ.

සාවද්‍ය බවට පළ වු සම්පූර්ණ ලිපිය මේ සමග දැක්වේ.
Views
209
2018-11-21 05:43:15
දේශපාලන පුවත්