අපනයන සැකසුම් ගම්මාන පන්දහසක් රට පුරා අරඹනවා - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

ගෝලිය අවශ්‍යතාවයන්ට ගැලපෙන වැඩි ආර්ථික වාසි සැලසෙන අපනයන ගම්මාන පන්දහසක් දිවයින පුරා ආරම්භ කිරීමට කටයුතු කරන්නේ යැයි අන්තර්ජාතික වෙළදාම හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම අපනයන සැකසුම් ගම්මාන රජය හා ජනතාව ඒකාබද්ධව ජනතාවට වැඩි අයිතියක් සැලසෙන ලෙස ස්ථාපිත කිරීමට අදහස් කෙරේ. එහිදී ගෝලීය වෙළදපලට අවශ්‍ය නිෂ්පාදන හා සේවා සපයන අපනයන ගම්මාන ලෙස ප්‍රමිතියෙන් ඉහල අපනයන සැකසුම් ගම්මාන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය හා මගපෙන්වීම තම අමාත්‍යංශය ලබා දෙන්නේ යැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ඵලකළේ අන්තර් ජාතික වෙළදාම හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට අලුතින් එක්වී ඇති වාණිජ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් එම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හමු වූ අවස්ථාවේදීය.
වානිජ දෙපාර්තමේන්තුව තව දුරටත් සාම්ප්‍රධායික රාමුවෙන් බැහැරව මෙරට අපනයන ආර්ථිකය සවිමත් කිරීමට කටයුතු කළයුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.වානිජ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ යෝජනා ද සැලකිල්ලට ගනිමින් අපනයන ආදායම කඩිනමින් ඉහල නැංවීමේ වැඩපිළිවලක් සකසන බවද අමාත්‍යවරයා පැවසීය.

තව දුරටත් අදහස් දැක් වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 8 මට්ටමක නොවෙනස්ව පවත්වාගෙන යාමට නම් ආයෝජන අනුපාතය සියයට 40 වැඩි ප්‍රමාණයකින් පවත්වාගෙන යා යුතුය. එය රජයට පමණක් කිසිසේත් කළ නොහැකි බවත් පෞද්ගලික අංශයේ දායකත්වය වැඩි වශයෙන් ලබාගත යුතු බව සදහන් කලේය.මෙම වර්ධන වේගයන් අත්පත් කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් ඉතා ඉක්මනින් සකසන බවත්, ඒ සදහා කෘෂි නිෂ්පාදකයින්,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් , ස්වයං රැකියාවන්හි නිරත වුවන්,මහා පරිමාණ අයෝජකයින් හා විදේශයන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද මීට එක් කරගැනීමට අපේක්ෂා කරන බවද පැවසීය.
මෙරට ආර්ථිකය ගොඩනැගීමේදී තම රජය ස්වදේශික ජනතාව කෙරෙහි වැඩි විශ්වාසයක් තබන බවත්, ස්වදේශිකයන් සදහා ලබාදිය හැකි සෑම දිරිගැන්වීමක්ම ලබාදීමට කටයුතු කරන බවද සදහන් කළේය.
ශ්‍රී ලංකාවේ බහුතරය ගොවිජනතාව බවත් , ඔව්න්ගේ නිෂ්පාදන අපනයන තත්ත්වයට උසස් කිරීමට අවශ්‍ය දැනුම හා පහසුකම් ලබාදීමට රජයේ අවධානය යොමුකරවන බවද ගුණවර්ධන මහතා පැවසීය.සෘජු විදේශ ආයෝජන කෙරේ පමනක්ම බලාපොරොත්තු තබා නොගනිමින් මෙරට ජනතාවත් ආර්ථිකයේ කොටස් කරුවන් කරගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.
මෙම අවස්ථාවට අන්තර් ජාතික වෙළදාම හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර,එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සිරිකුමාර ගුණසිංහ,වානිජ අධ්‍යක්ෂ ජනරාල් සොනාලි ජයරත්න,අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නිමල් කරුණාතිලක යන මහත්ම මහත්මීන්ද මෙහිදී අදහස් දැක්වූහ.

Views
201
2018-11-18 11:54:21