පාර්ලිමේන්තු අර්බුදය විසදීන්න ජනාධිපතිවරයාට සහයෝගය ලබාදිය යුතුයි - හිටපු ඇමැති රාජිත පවසයි.

පාර්ලිමේන්තුව තුල මතුව ඇති අර්බුදය විසදීම සදහා ජනාධිපතිවරයාට සහයෝගය ලබාදිය යුතු බව හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

යම් පිරිසක් එම උත්සාහය කඩාකප්පල් කිරීමට ක්‍රියා කළ ද මෙම ගැටලුව කඩිනමින් විසදා ගැනීම ජනතාවගේ අපේක්ෂාව බව ඔහු සදහන් කරයි.

මාධ්‍යවේදීන් පිරිසක් සමග කළ සාකච්ඡාවක දී අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද කීවේය.
- රටම අරාජික තත්ත්වයට පත්වෙලා. පාර්ලිමේන්තුව තුල පසුගිය දෙදින තුල ගැටලු ඇති කළේ සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් නැති අයයි. ඔවුන්ගේ රැකියාව කසිප්පු පෙරීම, කසිප්පු විකිණිම, මාළු විකිණීම, මුහුදු වැල්ලේ විවිධ රැකියා සිදු කළ අය තමයි මරු කල්ලියක් වී පාර්ලිමේන්තුව නොසන්සුන් කළේ ජනාධිපතිවරයා මේ පිළිබදව අවධානය යොමු කර තිබෙනවා. පසුගිය කාලයේ දී ශාන්තදාන්තව සිටි මෙම මන්ත්‍රීවරුන් කොටි පැටව් වගේ නටනවා. ඒ ඔවුන්ට එරෙහිව ඇති මනුෂ්‍ය ඝාතන, මුල්‍ය අපරාධ, නඩු විභාග වන නිසයි. එම නඩු වලින් බේරීම සදහා තමයි මෙම රජය හදාගත්තේ. ඔවුන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය, කථානායකවරයාගේ සම්ප්‍රදාය හොදින් දන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයාත් තම කිර්තිනාමය මෙමගින් විනාශ කර ගත්තා. ජනාධිපති ධූරය දරා අගමැති ධූරය දැරිමට උනන්දුවක් දක්වන්නේ කෑදරකම නිසයි. එම කෑදරකම මුළු ලෝකයටම පෙන්නුවා. බහුතරය ඔවුන්ට නැහැ. ව්‍යවස්ථාවට ගරු කරලා බහුතරය නොමැති අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙන්න කියා මම ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා වන අයුරින් කථා නායකවරයා කටයුතු කළා. පෞරුෂය තිබෙන්නේ චණ්ඩිකම් වල නොවෙයි. තම ගරුත්වය ආරක්ෂා කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව උගන්ඩාවේ පාර්ලිමේන්තුව සමග සංසන්දනය කරනවා. එය කණගාටුදායක තත්ත්වයක්. මෙම තත්ත්වය ජනාධිපතිවරයා කඩිනමින් විසදනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. සාකච්ඡා මාර්ගයෙන් එම ප්‍රශ්නය විසදා ගන්න පුළුවන්. දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්කි පෙරමුණ, අනෙකුත් දේශපාලන පක්ෂ ඒ සදහා සහයෝගය ලබාදෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Views
368
2018-11-18 11:36:53