දේශපාලන අර්බුදයේ ආර්ථිකය විපාක ...


අපේ පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල සිදු වූ අප්‍රසන්න සිදු වීම් ගැන රටවැසියා දනී.කුමන දේශපාලන මත තිබුණත් මේ තත්වය රටට හොද නැත.දෙපැත්තේම ඉන්න මන්ත්‍රීවරුන්ගේ හැසිරීම කනගාටුදායකය.පාර්ලිමේන්තුවට පිහි රැගෙන ඒමත්කතානායක පුටුවට වතුර වක් කිරීමත් හොද නැත. ඒ සියල්ලටම වඩා කතානායකගේ හැසිරීම කිසිසේත්ම ස්වාධීන බවක් පෙනෙන්නට ද නැත.අතීත කතානායකවරුන්ට සාපේක්ෂව වර්තමාන කතා නායකවරයාගේ මේ හැසිරීම ඉතාමත් ගැටළුසහගත බව කිව යුතුව තිබේ.මේ පසුබිම තුළ මේ පාර්ලිමේන්තුව මේ ආකාරයට තවදුරටත් ඉදිරියට යාමට අපහසු තීරණාත්මක තත්වයකට දැන්පත්ව තිබේ.ඒ නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අප නම් දුටුවේ හොද තීරණයක් ලෙසටය.මහ මැතිවරණයකින් මෙහා මේ දේශපාලන අර්බුදය විසදිය නොහැකි තත්වයට පත්ව අවසන්ය.යම් විසදුමක් ඇති කරගත්තත් එය තාවකාලික පිළියමක් පමණක් වනු ඇත.ඒ තුළින් සිදුවනුයේ පවතින දේශපාලන අස්ථාවරත්වය තවත් ඉදිරියට ඇදෙමින් රට සහ ආර්ථිකය තවත් ව්‍යාකුල තත්වයට පත් වීමයි.පෙරේදා නැවත රජයට එරෙහිව විශ්වාසභංගයක් අදත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබිණි. එහෙත් වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලය මහින්ද රාජපක්ෂ මහතාට නැත්නම් ඒ ගැන ජනාධිපතිවරයාට ව්‍යවස්තානුකුලව පියවරක් ගත හැකිය.ගාලගෝට්ටි මැද පාර්ලිමේන්තුව පෙරේද සවස කල් තබනු ලැබීය. අද මේ ආණ්ඩුව සම්බන්ධයෙන් තිබෙන්නේ 2015 දී පැවති ජනමතය නොවේ. ඒ අනුව පත්ව සිටින පාර්ලිමේන්තු ඔලු ගෙඩි ගණනින් බහුතරය බලනවාට වඩා මහජනයාගේ ඔලු ගෙඩි ගණනේ බහුතර බලය මේ අවස්ථාවේ පරීක්ෂා කර බැලීම වඩාත් වැදගත් බව අපගේ අදහසයි.එසේම ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ තීරණය ඇතුළත් ගැසට් නිවේදනය ගැන මීට වඩා වැඩි පුර්ණ විනිසුරු මණ්ඩලයකින් විභාග කිරීමට ඉල්ලා සිටින බව නිමල් සිරිපාලද සිලවා ඇමතිවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණි.මෙය ඉතාමත් තීරණාත්මක සමස්ත රටවසියාටම බලපාන කරුණක් නිසා එවැනි යෝජනාවක් ද වඩා හොදය.මේ දේශපාලන කණ්ඩායම්ක දෙකේම කිසිවෙක් පරිපුර්ණ නැත.රටට අවම හානියක් වන විකල්පයකට යාම හැර වෙන කරන්නට දෙයක් ද නැත.මේ පසුබිම තුළ දේශපාලන අර්බුද හමුවේ අස්ථාවර වන ආර්ථිකය සම්බන්ධයෙන් අපි සාකච්ජා කරමු.

රටක්‌ හමුවේ ආර්ථික අභියෝග නැති කාලයක් නැත.එහෙත් දේශපාලන අර්බුද හමුවේ වන්නේ එම අභියෝග තවත් සංකීර්ණ තත්වයට පත්වීමයි. අපේ රටේ පසුගිය කාලයේ මුහුණ දෙමින් සිටි මේ වන විට තවත් උග්‍ර වී තිබෙන රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට අහිතකර අභියෝග ගණනාවක්‌ තිබේ. ඒවා යහපාලන ආණ්ඩුවේ මෙන්ම වත්මන් අන්තර්කාලීන ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීත්වය සමඟ ද බැඳී ඇත.ඇත්තවශයෙන්ම මේ ආණ්ඩුවට බහුතර බලය නැත්නම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ ඇයි ? පාර්ලිමේන්තුවේ බහුතර බලය නැතිව ආණ්ඩුව ගෙනයාමට අපහසුය.එම උත්සාහය රටට මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නමටද හොද නැත.ඉදිරි ජාතික මැතිවරණයකින් ආණ්ඩු බලය ගැනීම වෙනම දෙයකි.එසේ නැතුව මෛත්‍රීපාල සිරිසේන මහතා ආරාධනා කළ පමණින් අගමැතිකම භාර ගත්තේ ඇයි ? මෙය මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් දේශපාලන පාර්ශවයන් පවා ප්‍රශ්න කරන කරුණකි.පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ වූ දේවල් පැමිණ සිටි විදෙස් තානාපතිවරුන්ද බලාගෙන සිටියේය.ඔවුන් රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇගිලි ගැසීම සුදුසු දෙයක් නොවුනත් අපට ලෝකය තුළ තනිව කටයුතු කිරීමට අපහසුය.අපට වෙනත් බලවත් රටවල් සමග කටයුතු කිරීමට අනිවාර්යෙන්ම සිදු වේ.ඒ ගැනත් අප සිතිය යුතුය.

පසුගිය කාලයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය යෝජනාවක් ඉදිරිපත් වුයේය. එම විශ්වාස භංග යෝජනාවෙන් ඒ අවස්ථාවේ අගමැතිවරයා ජයගනු ගත්තත් , ඒ අවස්ථාවේ එම ආණ්‌ඩුව තුළ බරපතළ දේශපාලන අර්බුදයක්‌ ඇති කිරීමට එය සමත්විය. එම ආණ්ඩුව බලවත් ලෙස දුර්වල කිරීමට ද එම විශ්වාසභංගය සමත් විය. මේ පසුබිම තුළ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි ගණනින් විශ්වාසභංගය ජය ගත්තත් ආණ්‌ඩුව කරගෙන යැමේ බරපතළ අභියෝගයකට ඒ මොහොතේ යහපාලන ආණ්ඩුව මුහුණ මුහුණ දුන්නේය. ඒ තුළින් ආණ්‌ඩුව තුළ මතු වු දේශපාලන අර්බුදය යම් ප්‍රමාණයකට කළමනාකරණය කර ගැනීමට ඔවුන් සමත් වුවත් ඒ අවස්ථාවේදී අප කීවේ අලුත් මහ මැතිවරණයකින් අලුත් පාර්ලිමේන්තුවක්‌, අමාත්‍ය මණ්‌ඩලයක්‌ සහ අගමැතිවරයෙක්‌ පත්කර ගන්නා තෙක්‌ම මේ දේශපාලන අස්‌ථාවරත්වයට මුහුණ දීමටත්, ඒ හරහා ආර්ථික ක්‍රියාකාරීත්වයට බලවත් අහිතකර බලපෑම් සිදුවීමත් වැළැක්‌විය නොහැකි වනු ඇති බවයි. පසුගිය ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉවත් කරන කර නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරන තෙක්ම අඩු වැඩි වශයෙන් එම අස්ථාවරත්වය දිගටම තිබුණි. එහෙත් අන්තර්කාලීන රජයටද මහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ නොමැති නිසා වත්මන් ආණ්ඩුව ද කරගෙන යාමට දුෂ්කර තත්වයට පත්ව තිබේ.මේ නිසා කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කියන අදහස්වල සත්‍යයක් තිබේ.

ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයෙන් පසුව පැවති දේශපාලන අස්ථාවරත්වය තවත් උත්සන්න වී තිබේ.එය රටේ ආයෝජක සහ ව්‍යාපාරික තීරණ ගැනීමේ ක්‍රියාවලියට තවත් අහිතක ලෙස බලපෑම වැළක්විය නොහැකිය.මේ තුළ බොහෝ දෙනෙක් සිතුවේ මහ මැතිවරණයක් පැවැත්වීම තුළින් මෙයට විසදුමක් ලැබෙනු ඇති බවයි. ඒ අනුව අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කළත් එයද උසාවිය හමුවේ අභියෝගයට ලක්ව තිබේ.ඒ අනුව දැන් 2019 ජනවාරි 05 වැනිදා මහා මැතිවරණය පැවැත්වීම ද සිදු නොවන්නකි.එහෙත් පසුව හෝ මහ මැතිවරණයකට යාමට අනිවාර්යෙන්ම සිදු වේ.එවිට ජනතා පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට මේ අර්බුදයට පිළියමක් ලබා දිය හැකිය.එවිට වර්තමාන ජනමතය අනුව ආණ්ඩුවට හිමි බහුතරය තීරණය වනු ඇත.එම ජනතා තීන්දුව කාටත් පිළිගැනීමටද සිදු වනු ඇත.ජාත්‍යන්තර ප්‍රජාවටද රටේ බහුතර ජනතාවගේ තීරණයට එරෙහි විය නොහැකිය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ඉකුත් නොවැම්බර 13 වැනිදාය. ඒ සමගම මහ මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් ද අධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කළේය.
මෙම තහනම් නියෝග ලබන දෙසැම්බර් මස 7 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4,5 සහ 6 යන දිනවල පැවැත්වීමටද අධිකරණය තීන්දු කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.13 දින පෙරවරුවේ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් එම වගන්තිය තුලින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවද නීතිපතිවරයා කීවේය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය අධිකරණය මඟින් අත්හිටුවීමක් සිදුකරනු ලැබූවොත් ඒ තුළින් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අත්හිටුවීමක් වීමක් සිදු වන බව ද නීතිපතිවරයා අධිකරණයට පෙන්වා දී තිබුණි.එහෙත් එම ජනපති ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අත්හිටෙව්වේය.එසේම එදින (13) උදය ගම්මන්පිල, ආචාර්ය චන්න ජයසුමන, නීතීඥ ප්‍රේම්නාත් දොලවත්ත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පාර්ශව හයක් විසින් මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සිදු කළ අතර එහෙදී ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණය හමුවේ පොදුවේ දන්වා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන නිවේදනය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි. එහෙත් දී ඇති අතුරු තහනම් නියෝගය අනුව එය උසාවිය පිළිගත් බවක්ද නොපෙනේ.ලබා දී ඇත්තේ අවසන් තීන්දුවක් නොවුනත් මේ සමගම මතුව තිබෙන දේශපාලන අර්බුදය තවත් කල් ඇදෙමින් රට තුළ අවිනිශ්චිත වතාවාරණයක් උද්ගතව තිබේ.අවසන් තීන්දුව ලැබෙන තෙක් සියලු දෙනාටම බලා සිටීමට සිදු වේ.එහෙත් එතෙක් පාර්ලිමේන්තු ක්‍රියාවලිය විශාල අර්බුදයකට පත්ව තිබේ.

මේ දේශපාලන අර්බුද නිසා සිදු වන්නේ රටේ දේශපාලන අස්ථාවරත්වය කල්ඇදෙමින් තිබීමයි.එහෙත් පැවති යහපාලන ආණ්ඩුව ආරම්භයේ සිටම රට තුළ පැවතියේ ද ස්ථාවර දේශපාලන වතාවරණයක් නොවන බව අපි දනිමු.දේශපාලන අස්තාවරත්වයට අමතරව රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙලේද කිසිදු නිශ්චිතභාවයක් නොතිබුණි.එනම් යහපාලන යැයි කියා ගත් පසුගිය රජය තුළ පැවති , ආර්ථික ක්‍රියාකාරීත්වයට ඉතාමත් අහිතකර ප්‍රධාන ලක්‍ෂණයක්‌ වූයේ නිශ්චිත ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක්‌ නොතිබීමයි. එසේම ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පවා විටින් විට වෙනස්‌ කරනු දැකගත හැකි විය. අඩු තරමේ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිවල පවා අඛණ්‌ඩත්වයක්‌ ද දක්‌නට නොලැබිණි. මෙය ආයෝජකයින්ට තම ආයෝජන තීරණ ගැනීමට බාධාකාරී තත්ත්වයකි. මේ නිසා දේශීය ආයෝජකයන් පමණක්‌ නොව විදෙස්‌ ආයෝජකයින් ද මෙරට ආයෝජන සිදුකිරීමට මැළි වෙති. ආයෝජකයන් පමණක් නොව ව්‍යාපාරිකයන් පවා එවැනි අස්‌ථාවර දේශපාලන වාතාවරණයක්‌ දිගින් දිගටම පවතින විට සිදුකරනුයේ නැවතී බලා සිටින ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමයි. මින් සිදු වන්යේ රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය අඩපණ වීමයි. පසුගිය කාලය පුරාම මෙය අපට දැක ගත හැකි විය.ගිය වසරේ (2017) ආර්ථික වර්ධනය සියයට 3.3 දක්වා පහත වැටුණි. මේ වසරේ (2018) සමස්ත ආර්ථික වර්ධනය සියයට 3.6ක් දක්වා අඩු වනු අති බව මහ බැංකු අධිපති අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය බදාදා (14) මහා බැංකු මාධ්‍ය හමුවේදී කීවේය.එහෙත් මහ බැංකුව මේ වසර මුලදී කීවේ මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 5ක් දක්වා ඉහළ යනු ඇති බවයි. මේ අතර පසුගිය ඔක්තෝබර් 31 සිට ඉකුත් නොවැම්බර් 07 දක්වා කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 9.99 ක විදෙස් ආයෝජන, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවත් වී තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන්ය. එනම් 2018 ඔක්තෝබර් 31 දිනට රජයේ සුරැකුම්පත්වලින් විදෙස් ආයෝජකයින් සතුව පැවති ආයෝජනවල වටිනාකම රුපියල් මිලියන 221,134 වූ අතර එම ප්‍රමාණය නොවැම්බර් 07 වන විට රුපියල් මිලියන 211,140 ක් දක්වා රුපියල් මිලියන 9,994 කින් අඩු වී තිබේ.එසේම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉකුත් නොවැම්බර 15 වැනිදා රු.178.1073 දක්වා ඉහළ ගොස් තිබුණි. මේ නිසා ආර්ථිකයේ තිබෙන්නේ හොද තත්වයක් නොවේ.පවතින දේශපාලන අර්බුද විසදා ගන්න තෙක් මේවට තිරසාර විසදුම් ඇති කර ගන්නේ කෙසේද ?

පසුගිය යහපාලන රජය ශ්‍රී ල.නි.ප. සහ එජාපය ඒකාබද්ධව පිහිටුවා තිබූ ආණ්‌ඩුවක්‌ නිසා මේ පක්‍ෂ දෙකේ ප්‍රතිපත්තිමය විසංවාදයන් නිශ්චිත තීන්දු තීරණ ගෙන ආණ්‌ඩුව තුළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක්‌ ඉදිරියට ගෙන යැමට බාධාකාරී විය. මේ තත්ත්වය පොදුවේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට, ආයෝජන ප්‍රවර්ධනයට මෙන්ම සංචාරක පැමිණීම් වර්ධනය කර ගැනීමට ඉතා අහිතකර විය.දැන් සිදුව ඇත්තේ එම තත්වය තවත් නරක අතට හැරීමය.මෛත්‍රීපාල සිරිසේන මහතා ආරධනය කළත් තම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතර බලය නැත්නම් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ අමතිවරණය තෙක් හෝ ආණ්ඩුව ගෙන යන්නේ කෙසේද ? මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරය භාරගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන පාර්ශවයන් පවා දැනුවත් නොකර හදිසියේ බවද පැවසේ. ඔහු අගමැතිකම ගත්තේ තමන්ට බහුතර නැති බව දැන දැනමද ?මෙය නුවණැති දේශපාලන තීරණයක් ද ? මේ ආණ්ඩුවට එරෙහිව විශාල ජන මතයක් තිබුණත් අනවශ්‍ය ලෙස කළබල වී හදිසි තීරණ ගැනීමෙන් දේශපාලන වශයෙන් රට තුළ විශාල අර්බුදයක් ඇතිව තිබේ.
. එසේම ජාත්‍යන්තර වශයෙන්ද රටට අහිතකර ප්‍රතිරූපයක් ජනිත වී තිබේ.ඒ නිසා කුමන ආකාරයෙන් හෝ මේ දේශපාලන අර්බුදය සමනය කරගෙන රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය යළි පන ගැන්විය යුතුව ඇති බව අවසාන වශයෙන් සටහන් කරමි.
නැතහොත් රටටත් රටේ ආර්ථිකයටත් බලවත් අහිතකර විපාක අත්විදීමට සිදු වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Views
232
2018-11-18 10:25:15