ජනපතිගේ ආරාධනයට ජවිපෙත් බැහැ කියයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ ද තීරණය කර තිබේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස මහතා මේ බව කීවේය.

ඒ පිළිබදව ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම කථානායක කරු ජයසූරිය මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවී සිටිමට තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ(17) නිවේදනයක් නිකුත් කරමින් සියලුම පක්ෂවලට මෙම සමුළුවට සහභාගිවන ලෙස දැදුම් දුන්නේය.

පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට මෙම තීරණයට එළඹ තිබේ.

ඒ හේතුවෙන් සියලූ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේය.



Views
212
2018-11-18 05:45:58
දේශපාලන පුවත්