ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව කරූ ප්‍රතික්ෂේප කරයි



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.

වත්මන් පාර්ලිමේන්තුවේ පවතින ආර්බුදකාරී තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා සියලු පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණී.

එය අද පස්වරු 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින්ට සහ කථානායකවරයාට ආරාධනා කර තිබේ.

අද දිනයේ පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව සඳහා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ඇතුළු පක්ෂ සහභාගී වන බව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වන්නේය.

කෙසේවෙතත් කථානායක කරු ජයසූරිය මහතා මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇත.

කථානායක මාධ්‍ය අංශය පවසන්නේ කතානායකවරයා ජනාධිපතිවරයා සමඟ දුරකථනයෙන් මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.

එහිදි දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන අදාළ සාකච්ඡාව සදහා තමාගේ සහභාගීත්වයක් අවශ්‍ය නොවන බව කථානායකවරයා ජනාධිපතිවරයාට අවධාරණය කර තිබේ.
Views
355
2018-11-18 05:33:12