භාරකාර ආණ්ඩුව දිගටම


පාර්ලිමේන්තුව විසුරුවා හරියත් භාරකාර ආණ්ඩුව දිගටම ක්‍රියාත්මක බව රජය කියයි.

ඒ අනුව කැබිනට් අමාත්‍යවරු දිගටම සිය ධූර දරමින් කටයුතු කරන බවත් රජයේ අමාත්‍යවරු අද (10) සවස නාරාහේන්පිට රජයේ ප්‍රවුර්ති දෙපාර්තමේන්තුවේදී පවතී මාධ්‍ය හමුවකදී කීවේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර සමස්ත කැබිනට් මණ්ඩලම ඊයේ (09) රාත්‍රිය වන විට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබුණේය.

ඒ අනුව ව්‍යවස්ථා ප්‍රකාරව මහ මැතිවරණය තෙක් අමාත්‍යංශවල කටයුතු නිල වශයෙන් සිදු වන්නේ මෙම පත්කෙරුණු අමාත්‍යවරු යටතේයී.

ඊයේ උදෑසන වන විට කැබිනට් අමාත්‍යවරුන් 22 දෙනෙකු දිවුරුම් දී තිබූ අතර පාර්ලිමේන්තුව ඊයේ රාත්‍රියේ විසුරුවා හැරීමට පෙර සෙසු අට දෙනෙකුද සමගින් 30 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය දිවුරුම් දී අවසන්ව විය.

ව්‍යවස්ථාවට ගෙන ආ 19 වන සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී පත් කළ හැකි උපරිම කැබිනට් අමාත්‍යවරු ගණන 30ක්.

ඊයේ දිවුරුම් දී අවසන් කළ අමාත්‍යවරුන් අතරට ආරක්ෂක අමාත්‍යාංශය දරණ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශය දරණ අග්‍රාමාත්‍යවරයාද අයත්.

ඊයේ දිනයේ අමාත්‍යවරුන් 8 දෙනකු පත් කෙරුණු අතර පළමුවෙන්ම නිවාස හා සමාජ සුබ සාධන අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසත් , ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා වෙළෙඳ හා පාරිභෝගික කටයුතු,සමූපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබුවාය.

ගාමිණි ලොකුගේ මහතා කම්කරු,විදේශ රැකියා සහ ඛනිජතෙල් සම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා දිවුරුම් දුන්නේ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසයි.

වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස එස්.එම්.චන්ද්‍රසේන මහතා දිවුරුම් දීය.

සී.බී.රත්නායක මහතා ඊයේ දිවුරුම් දුන්නේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා දිවුරුම් දුන්නේය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 වන ව්‍යවස්ථාවේ 1 වන වගන්තියේ සඳහන් වන ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු ක්‍රියාකළ අමාත්‍ය මණ්ඩලය අඛණ්ඩව මහ මැතිවරණය අවසන් වන තුරුම එම අමාත්‍ය ධුරවල ක්‍රියාත්මක වේ.
Views
222
2018-11-10 12:43:46
කාලීන පුවත්