ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක අවශ්‍යතාව



පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා තෙක් පැවති යහපාලන රජය ඔවුන්ට ලැබී තිබු බහුතර මහජන බලය වේගයෙන්අහිමි
අහිමි කරගනිමින් සිටියේය.2015 ජනවාරි 08 දින පත් වූ යහපාලන යයි කියා ගත්රජයේ පාලනය තුළ මාසයකුත් සති තුනක් යාමටත් පෙර පළමු බැදුම්කර මගඩිය සිදු විය.ඒ 2015 පෙබරවාරි 27 වෙනිදාය.ආණ්ඩුව රක ගැනීමටත් වඩා අර්ජුන මහේන්ද්‍රන් රැකීමට ප්‍රමුඛත්වයක් ලබා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවක් දක්නට ලැබිණි.පසුව දෙවන බැදුම්කර මගඩිය ද 2016 මාර්තු මාසයේදී සිදු විය.එහෙත් සුපුරුදු ලෙසම බැදුම්කර හොරු රකින පිළිවෙත වෙනස් නොවීම රටේ මෙන්ම එම යහපාලන රජයේම විනාශයට හේතු විය.බැදුම්කර මගඩිය මෙන්ම තවත් හේතු රැසක් නිසා යහපාලන රජය වේගයෙන් පිරිහීමට ලක් වූ බව රහසක් නොවේ.ඒ සියල්ල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හොදටම දැනගත්තත් ඔහු දිගටම ඉවසීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි බවක් පෙනිණි.ඒ ඉවසීම පසුගිය ඔක්තෝබර් 26 වෙනිදායින් අවසන් වී මෛත්‍රී - මහින්ද නව අන්තර්කාලීන රජය බිහිව තිබේ.එහි මුදල් හා ආර්ථික කටයුතු ඇමතිවරයා ලෙස පත්ව සිටින්නේද මහින්ද රාජපක්ෂ අගමතිවරයාමය .ඔහු ඊයේ (31) උදේ මුදල් අමාත්‍යංශයේදී නව මුදල් සහ ආර්ථික කටයුතු ඇමතිවරයා ලෙස වැඩ භාර ගත්තේය.මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු ඇමතිවරයා ලෙස ඊයේ උදේ වැඩ භාර ගන්න පුවත මට මුදල් අමාත්‍යංශයෙන් දන ගන්නට ලැබුණේ උදේ 7.50ට පමණය.විජයානන්ද හේරත් මහතාගෙන් එය තහවුරු කරගෙන එම අවස්ථාවට සහභාගී වීමට මේ ලියුම්කරුටද අවස්තාව ලැබිණි.මා මුදල් අමාත්‍යංශයට 9.30ට පමණ යන විටත් අතිවිශාල සෙනගක් එහි රැස්ව සිටියේය. මහින්ද රාජපක්ෂ මහතාව දැක ගැනීමට මුදල්ම අමාත්‍යංශයේ නිලධාරීන් විශාල
පිරිසක් පැමිණ සිටිනු දැකගත හැකි විය.මහින්ද රාජපක්ෂ මහතා සුබ මොහොතින් රන්දොර ශ්‍රවනාගාරයේදී නව ඇමති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව මුදල් අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය අමතා කතා කළේය.මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ එම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් මෙන්ම මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් එස්.ආර්.ආටිගල මහතා ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.මහින්ද රාජපක්ෂ මහතාගේ කතාවේදී ඉදිරි ආර්ථික ප්‍රතිපත්තිය ගැන මුලික අදහස් ද ඉදිරිපත් විය.ඒ පිළිබදවත් මේ ලිපියෙන් අපි සාකච්ජා කරමු.

රනිල් වික්‍රමසිංහ අගමැතිකම දැරූ පසුගිය යහපාලන රජය බැදුම්කර මගඩි සිදු කරමින් ඒ බැදුම්කර හොරු රකිමින් වේගයෙන් තම බහුතර මහජන බලය අහිමි කර ගත බව අපි කියා සිටියෙමු.එය අතර එය හොදටම පැහැදිලි වුයේ පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලයෙනි.ඒ පුංචි මැතිවරණය ආණ්ඩු බලය වෙනස් කරන මැතිවරණයක් නොවුවත් එහි ප්‍රතිපලය විසින් පැවති යහපාලන රජයට බහුතර මහජන බලය අහිමි වී ඇති බව රටටම තහවුරු කරන ලද්දක් විය.එසේ වුවත් පසුගිය සිකුරාදා හදිසියේම අනපේක්ෂිත ලෙස මෙවැනි බලපෙරලියක් සිදු වනු ඇති බව රට දැනසිටියේ නැත.එය ඉතාම රහසිගතව සිදු වුවක් විය.කෙසේ හෝ කිසිවෙක් නොසිතු විරු ලෙස තිබුණු ජාතික ආණ්ඩුව අවසන් වී නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිව්රුම් දුන්නේය.එය අනපේක්ෂිත ලෙස හදිසියේ සිදු වූ නමුත් මේ ආණ්ඩුව වහකදුරු වී සිටින බහුතර ජනයාට ඒ පුවත් ඉමහත් සැනසිලිදායක පුවතක් විය.ඔවුන් ඒ පුවත දැනගත් වහාම රටම රතිඥා හඩින් ගිගුම් දෙන්නට පටන් ගත්තේ ඒ නිසාය.පසුදින (27) දින උදේ ජනයා කිරිබත් උයා කෑවේ ද තැන තැන කිරි බත් දන්සල් දුන්නේද ඒ නිසාය.ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ලොකු කතන්දර ඇති මහත් බහුතර පොදු ජනයා දන්නේ නැත.කෙසේ හෝ මහජන බලය අහිමි වී හිතුවක්කාරී ලෙස මහජනතාව පීඩාවට පත් කරමින් සිටි ජාතික ආණ්ඩුවේ පාලනය නිමා කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉකුත් 26 වැනිදා රටේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපත් මහින්ද රාජපක්ෂ මහතා පත් කර ඇත.එසේම ඊට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි.එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග ජාතික ආණ්ඩුව අවසන් වීම නිසා එතෙක් පැවති ඇමති මණ්ඩලය විසිරී ගියේය.අගමැතිධුරයද පුරප්පාඩු විය. වත්මන් අන්තර්කාලීන ආණ්ඩුව බිහි වුයේ එලෙසය.

නව ආණ්ඩුවේ අමාත්‍ය මන්ඩලයෙන් කොටසක් මේ වන විට පත් කර ඇත.එම අමාත්‍ය මණ්ඩලයේ මුදල් හා ආර්ථික කටයුතු ඇමතිවරයා ලෙස පත්ව සිටින්නේද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාමය.එය මුලින්බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට දීමට සුදානමක් තිබුණ බවට ආරංචියක් තිබේ. මුලින් ඒකාබද්ද විපක්ෂයේ නොසිටි වෙනත් මන්ත්‍රීවරයෙක් සහ එක්සත් ජාතික පක්ෂයෙන් සහාය දීමට සුදානමින් සිටි මන්ත්රීවරයෙක්ද මුදල් ඇමතිකම බලාපොරොත්තු වීම නිසා අවසානයේ එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටම ලබා දීම සිදුව ඇති බවද දැනගන්නට තිබේ.මෙවැනි බල පෙරලියක් සිදු වීම තවමත් සිතා ගැනීමට පවා අපහසුය.මෙවැනි වෙනසක් සිදු කිරීමේ තීරණය ගැන පැහැදිලි කරමින් පසුගිය ඔක්තෝබර් 28 දින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලැබූ විශේෂ ප‍්‍රකාශය සමස්ත රටවැසියාගේම ඉමහත් අවධානයට ලක් වූ එකකි.එහි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැහැදිලි කරන සුවිශේෂී ආර්ථික කරුණු කාරණා ද තිබේ.මේ ලිපියෙන් ඒ ගැනද අවදානය යොමු කිරීම වැදගත්ය.එහිදී ජනාධිපතිවරයා සිය කතාව ආරම්භයේදීම කියා සිටියේ පසුගිය 26 වනදා තමා විසින් ගනු ලැබූ තීරණය 2014 නොවැම්බර් මාසයේ 21 වනදා ගත් තීරණයටත් වඩා ප‍්‍රබල වූ අභියෝගාත්මක වූ අවදානම් සහිත තීරණයක් බව ජනතාව විශ්වාස කරනු ඇතැයි කියා තමා සිතනු ඇති බවයි.මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කියා සිටියේ ආර්ථික ප්‍රතිපත්ය තුළ කිසියම් නිශ්චිත බවක් තිබිය යුතු බවයි.එම ගුණය පසුගිය යහපාලන රජය තුළ තිබුණේම නැත.ඒ ගැන මේ ලියුකරු විසින් පසුගිය කාලය පුරාවටම ලියන ලද ලිපි රැසකින් කරුණු දැක්වූ බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ.ඒ ගැන මෛත්‍රීපාල සිරිසේන මහතාම කියා සිටියේ මෙසේය

'ප‍්‍රධාන වශයෙන්ම සාමුහිකත්වයෙන් තොර වූ තනි තීන්දු තීරණ ගත් ඉතාමත් දරදඩු, මුරණ්ඩු ආකාරයට රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුව තුළ හැසිරුණා. ඒ තුළ බරපතළ දේශපාලන අර්බුදයක් ඇති වුණා. සාමුහිකත්වය නොමැති නිසා, සාකච්ජාව , සංවාදය නොමැති නිසා ඉතා සුළු පිරිසක් අපේ අතේ තියෙන ඇ`ගිලි ගාණටත් වඩා අඩු පිරිසක් ඔහුගේ සමීපතම සගයන් වී ඔවුන් සමග පමණක් සාකච්ඡුා කර තීන්දු තීරණ ගැනීම නිසා අපි රටක් විදියට අවාසනාවන්ත තත්ත්වකට පත් වුණා. මෙහි දී මා කියන්නට ඕන රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මා අතරේ ගෙවී ගිය අවුරුදු තුන හමාරකට වැඩි කාලය තුළ ප‍්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන වෙන් කිරීමක් මම දැක්කා. ප‍්‍රතිපත්ති ගැටුමක් මම දැක්කා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනයත්, මගේ දේශපාලන දර්ශනයත් අතරේ ප‍්‍රතිපත්තිමය ගැටුමක් ඇති වුණා. ඒ විතරක් නෙවේ, රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මා අතරේ බරපතළ සංස්කෘතික වෙනස්කම් මම දැක්කා. ඒ දේශපාලන ප‍්‍රතිපත්තිවල වෙනස්කම් වගේම සංස්කෘතික වශයෙන් අපේ කි‍්‍රයාකරිත්වය, චරිතවල සහ ගති ලක්ෂණවල තිබූ සංස්කෘතික දේශපාලනික වෙනස්කම් ඒ සියල්ල මේ දේශපාලන සහ ආර්ථික අර්බුදය බරපතළ වන්නට හේතු වුණා කියලා මම විශ්වාස කරනවා. අනෙකුත් ජේ්‍යෂ්ඨ නායකයන් සමග එකට වාඩි වී සිටින බොහෝ අවස්ථාවල මම එතුමාට කිව්වා අපි එකට වැඩ කරමු, අපි සාමුහිකත්වයෙන් කටයුතු කරමු. අපි ගන්නා තීන්දු තීරණ සාකච්ඡුා කරලා යහපාලන අරමුණු ඉෂ්ට කර ගන්න අපි කි‍්‍රයා කරමු කියලා. නමුත් හැට දෙලක්ෂ පනස්දහසකට වැඩි ජනතාවගේ ඒ උතුම් අභිලාෂයන් එතුමා නොසලකා හැරියා. "

මේ කියන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාමය.ඒ නිසා මෙවැනි පසුබිමක් තුළ ආර්ථික ප්‍රතිපත්ති නොව කිසිදු ප්‍රතිපත්තියක් හරි හැටි ස්ථාවර ලෙස ක්‍රියාත්මක කිරීම අපහසු බව අමුතුවෙන් කිව යුතු නොවේ.වඩාත්ම බරපතල කරුණ බැදුම්කර මගඩියයි.මේ ආණ්ඩුවේ පැවැත්ම බිද දැමු කරුණු අතර ප්‍රබලම සිදුවීම එයයි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය හොදින්ම වටහාගෙන සිටියේය. ජනාධිපතිවරයා ඒ ගැන ජනාධිපති කොමිසමක් පත් කළේද ඒ නිසාය.එය පත් නොකරන්නට බොහෝ කරුණු යටපත් වන්නට ඉඩ තිබිණි.මේ සියල්ල ජනාධිපතිවරයා කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කරමින් ඉතාම අභියෝගාත්මක පරිසරයක බවට කිසිම සැකයක් නැත.සිය කතාවේදී ජනාධිපතිවරයා කියන මේ අදහස අනුව එය අපට පැහැදිලිය.

යහපාලන ආණ්ඩු සංකල්පය, ආණ්ඩුව පිහිටුවලා මාස 03 ක් යන්නටත් කලින් බිද දැමුවා. මහ බැංකු මුදල් මංකොල්ලයෙන් අපේ රට ප‍්‍රබල ආර්ථික අගාධයකට ඇද වැටුණා. ලංකා ඉතිහාසයේ රාජ්‍ය වත්කම්, මුදල් පිළිබදව මෙවැනි මහා මංකොල්ලයක් ඔබ දන්නවා මීට පෙර අප අසා තිබුණේ නැහැ. ඒ පිරිසිදු යහපාලන සංකල්ප ,දුෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ගෙන යෑමට ජනතාව දුන්නා වූ ප‍්‍රතිඥාව ඒ සියල්ල අමු අමුවේ ඝාතනය කළා. මගේ මතකයේ තිබෙනවා ආදරනීය දෙමව්පියනි, දරුවනි මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් රටේ ඇති වූ ජනතා උද්ඝෝෂණ සහ හ`ඩ, විපක්ෂයේ හ`ඩ, දේශපාලන පක්ෂවල හ`ඩ, සමාජ වගකීම් දරන්නන්ගේ, සිවිල් සංවිධානවල හ`ඩ ආපු වෙලාවේ ආණ්ඩුව තුළ මොනතරම් අභ්‍යන්තර අර්බුදකාරි තත්ත්වයක් ඇති වුණා ද කියලා. ඒ අවස්ථාවල දී ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා හරිම නොසන්සුන් විදියට, හරිම කලබලකාරී විදියට හැසිරුණා. මහ බැංකුවේ කාර්ය මණ්ඩලය හමුවෙන්න යන්න මා ඒ අවස්ථාවේ තීරණය කළ විට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හදිසියේ ම මගේ නිල නිවසට දුවගෙන ඇවිත් බොහෝ කලබලකාරී ස්වභාවයෙන් මට කිව්වා ,මහ බැංකුව අයිති වෙන්නේ මටයි, ඒ නිසා ඇයි ඔබ මහ බැංකුවට යන්නේ, කියලා මගෙන් ඇහුවා. මම ඒ වෙලාවේ එතුමාට කිව්වා ,ඔබට ගැසට් නිවේදනයකින් භාරකාරිත්වය දී තිබෙන බව ඇත්ත, නමුත් මම ජනාධිපති, මට එතනට යන්න අයිතියක් තියෙනවා නේද, කියලා මම එතුමාට කිව්වා. මම කිව්වා මම තව ස්වල්ප වෙලාවකින් පිටත් වෙනවා කියලා. ඒ සමග ම එතුමා මගේ නිවසින් නික්ම ගියා. මම සුළු වේලාවකින් මහ බැංකු ගොඩනැගිල්ලට ඇතුළු වන විට මේ සිද්ධිය නිසා නිවාඩු දමා ඉවත් වී සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා බුලත් හුරුල්ලක් දී මා පිළිගන්න ඉදිරියට පැමිණියා. මම පුදුමයට පත් වුණා ඔහු කොහොමද මෙතනට ආවේ කියලා. ඒ නොසන්සුන්කාරි වාතාවරණය, කලබලකාරීව හැසිරුණු ආකාරය, ඔවුන්ගේ නොසන්සුන් මානසිකත්වය මම ඒ වෙලාවේ දැක්කා. අවසානයේ රටේ බරපතළ ආර්ථික අර්බුදයක් ඇති වුණා.'

ජනාධිපතිවරයා හෙළි කරන මේ කරුණ සම්පුර්ණ සතයක් බව රටවැසියා දනී.ජනාධිපතවරයා කියන එම බැදුම්කර මංකොල්ලය මුලින්ම හෙළි කරමින් ඒ නිසාම ඇති වූ ආර්ථික අර්බුදය ගැන අප දිගටම මේ රටේ ජනයාට දැනුම් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , වත්මන් අගමැති මෙන්ම මුදල් හා ආර්ථික කටයුතු ඇමති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඒවාට සම්බන්ධ අයත් එසේම මේ රටේ මහජනතාවත් හොදටම දන්නා කරුණකි.මේ බැදුම්කර මංකොල්ලය මේ ලියුම්කරු මුල සිටම හැදින්වුයේ 'බැදුම්කර මගඩිය ' ලෙසය. 'බැදුම්කර මගඩිය ' යන නමින්ම මේ ලියුම්කරු ලියු ග්‍රන්ථය ද එදා අප පිළිගන්වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටය.එදා මේ ගැන ලිවීමට බොහෝ දෙනෙක් බය වූ වකවානුවක මෙය අපි දිගින් දිගටම හෙළි කරමින් රටටත් ආර්ථිකයටත් වූ අන්තරාය කියා සිටියෙමු.එය ලිවීමේදී එදා නොයෙකුත් බලපෑම් වලට මුහුණ දීමට අපට සිදු විය.අද නම් මේවා ගැන කතා කරන්නට ඕනෑ තරම් අය සිටී.එහෙත් අප කියන්නේ බැදුම්කර ජනාධිපති කොමිසමෙන් පවා මේ මගඩිය ගැන පරිපුර්ණ විමර්ශනයක් සිදු නොවූ බවයි. ඒ නිසා එම මගඩිය නිසා රටට සිදු වූ පාඩුව ඊට වගකිවයුත්තන්ගෙන් අය කර ගත යුතුව තිබේ.ඒ නිසා මේ සම්බන්ධයෙන් මහජනයාට පුර්ණ යුක්තිය ඉටු කිරීමට ගත හැකි හැම පියවරක්ම ගත යුතු බව අපගේ අදහසයි.මේ මගඩියේ දේශපාලන මහමොලකරුවන්ට ගැලවීමට ඉඩ දිය යුතු නැති බව අපි මේ රටේ රටවැසියා වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන දෙපලටම අවධාරණයෙන් කියා සිටිමු.එහිදී ජනදිපතිවරයා සිය කතාවේදී කරන පහත සදහන ඉතාම වැදගත්ය.මෙය රනිල් වික්‍රමසිංහ මහතාත් සිතට ගත යුතුය.


'පසුගිය කටුක අත්දැකීම් ගත් විට මෙහි දී මා නැවත සදහන් කරන්නට ඕන, ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා වගකීම භාරගත යුතුයි අර්ජුන මහේන්ද්‍රන් මහතා අපේ රටට ගෙන්වා ගැනීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට. ඒ අන් කිසිවක් නිසා නොව මේ රටේ කවුරුත් දන්නා පරිදි අර්ජුන මහේන්ද්‍රන් මහතා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉතාම සමීප වූ කිට්ටු මිත‍්‍රයෙක් නිසයි. '

මීළගට මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මුදල් ඇමති ලෙස කළ කතාවේ වැදගත් කරුණු කිහිපයකට අපි අවධානය යොමු කරමු.මෙහිදී කලින් කලට වෙනස් නොවන කිසියම් ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ගැන කිසිම සැකයක් නැත.අද ජනයා බදු බරින් මිරිකී සිටින බව රහසක් නොවේ.ව්‍යාපාරිකයින් පවා අමාරු තත්වයකට අද වැටී අවසන්ය.ඒ නිසා මේ සියල්ල නිවැරදි කළ යුතුව තිබේ.සියල්ල ක්ෂණිකව කළ නොහැකි බව ඇත්තය.එහෙත් ඉක්මනින් ගත හැකි තීරණ ඉක්මනින් ගත යුතුවද තිබේ. සුත්‍රයක් මගින් මාසෙන් මාසෙට තෙල් මිල වැඩි කරන ක්‍රමය වෙනස් කළ යුතු බවට මහින්ද රාජපක්ෂ මහතා කීවේ එසේ ඉක්මනින් ගත යුතු තීරණයක් ගැනය.මහින්ද රාජපක්ෂා මහතා සිය කතාවේදී කියන ලද වැදගත් කරුණු අතර ඉහළ මට්ටමක පවතින පොලී අනුපාතය ,විනිමය අනුපාතය ස්ථාවර කරගතයුතු බව , සමස්ත ජනතාවටම ප්‍රතිලාභ ලැබෙන ආර්ථික ප්‍රතිපත්තියක අවශ්‍යතාව, ග්‍රාමීය ආර්ථිකය පසුබෑමකට පත්ව තිබීම, බදු ක්‍රමය සරල කිරීම, මිනිසුන් හුරාගෙන නොකා ඔවුන්ගේ ගෙවීමේ හැකියාවද සලකා බලමින් බදු පැනවීම, ජීවන වියදමට සහන සැලසීම,විදේශ විනිමය රටට ගලා එන ආර්ථික වැඩපිළිවෙලකට යොමු වීම වැනි කරුණු ප්‍රධාන තැනක් ගනී.එහෙත් වඩාත් වැදගත් වන්නේ මේ සියල්ල යතාර්ථයක් බවට පත් කර ගැනීමට හැකි ක්‍රියාත්මක වැඩපිළිවෙලක් නිර්මාණය කර ගැනීමයි. අජිත් නිවාඩ් කබ්රාල් මහතාට මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට ආරාධනා කර ඇති බවක්ද දන ගන්නට ඇත.කෙසේ හෝ අගමැති අර්බුදය ඉක්මණින් විසදගෙන රට තුළ ඉක්මනින් දේශපාලන ස්ථාවර බවද ඇති කර ගත යුතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

දිවයින - 2018.11.01
Views
231
2018-11-01 05:15:04