බැදුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වෙලාද ?

බැදුම්කර මගඩියෙන් බලවත් ලෙස අගතියට පත් වුයේ මේ රටේ ඇති මහත් බහුතර ජනතාවයි.මේ මගඩිය නිසා රජයට සිදු වූ පාඩුවට අමතරව සේවක අර්ථසාධක අරමුදලට ද පාඩු සිදු විය.ආර්ථිකයේ පොලී අනුපාත ඉහළ යාම නිසා මෙය සියලුම ජනයාට අහිතකර ලෙස බලපෑ කරුණකි.මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ ගැන ජනාධිපති කොමිසමක් පත් කිරීම ගැන බොහෝ දෙනෙක් සතුටට පත් විය.ජනයා අපේක්ෂා කළ අරමුණු ඒ අයුරින්ම මේ කොමිසමෙන් ඉටු නොවුණත් ඉන් යම් මෙහෙයක් වූ බව අප පිළිගත යුතුව තිබේ. ඒ නිසා බැදුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය ගැන අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා වගකීම පැවරුණු ආයතන විසින් මහජනයා දැනුම්වත් කිරීම අවශ්‍ය කරුණකි.මෙය බහුතර රටවැසියා බලා සිටින කරුණකි. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව , මහ බැංකුව සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වැනි ආයතන ප්‍රධාන තැනක් ගනී.මේ අතරින් මහ බැංකුව පසුගියදා මේ සම්බන්ධයෙන් යම් කරුණු පැහැදිලි කිරීමක් කර තිබුණි. එය අගය කරන නමුත් තවමත් අපැහැදිලි කරුණු තිබේ.මහජනයා මුල්ක වශයෙන් අපේක්ෂා කරන කරුණු දෙකක් වන්නේ මේ බැදුම්කර මගඩියට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් එම මගඩිය නිසා සිදු වූ පාඩුව අය කර ගැනීමත්ය.මේ කියන බැදුම්කර කොමිසමෙන් පුර්ණ යුක්තිය ඉටු නොවන බව අප මීට පෙරද සදහන් කර ඇත.බැදුම්කර කොමිසම මුලදී ක්‍රියාත්මක වූ ආකාරය ගැන විශාල මහජන ප්‍රසාදයක් තිබුනත් පසුව සිදු වූ දේවල් නිසා මහජනයා තුළ නොයෙකුත් සැක සංකා ඇති විය.කොමිසම ඇතැම් සාක්ෂිකරුවන් ගැන වෙනස් පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් කොමිසම ඒ දිනවල විවේචනයට ලක් විය.කෙසේ වෙතත් කොමිසමෙන් ඉටු වූ අර්ධ යුක්තිය හෝ යථාර්තයක් බවට පත් කර ගැනීමට නම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක විය යුතු අතර ඉදිරියේදී වෙනත් රජයක් යටතේ හෝ තවදුරටත් යුක්තිය ඉටු කර ගැනීමට අවැසි ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.

මහ බැංකුවේ ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනු පිළිබද සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් යෝජනා කි‍්‍රයාත්මක කිරීම, නීතිමය තත්ත්වයන් සහ බාහිර කටයුතු පිළිබදව සොයා බැලීම සදහා වන සාකච්ජාවක් එම වාර්තාව නිකුත් වීමෙන් පසු බැදුම්කර කොමිසන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඒ ගැන ජනාධිපති මාධ්‍ය අංශය එවකට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මෙසේ සදහන්ව තිබිණි.

' නීතිපති, මහ බැංකු අධිපති, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරින් එක්ව සිටි මෙම සාකච්ජාවේදී බැදුම්කර කොමිසන් සභා වාර්තාව මගින් සිදුකරන ලද නිර්දේශ ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබද පහත අංශ යටතේ අවධානය යොමු කෙරිණි.

බැදුම්කර කොමිසමේ නිර්දේශ ප‍්‍රධාන වශයෙන් කොටස් හතරකි. ඒ, වැඩිදුරටත් විමර්ශන පැවැත්වීම, ඇතැම් තැනැත්තන්ට එරෙහිව නෛතික කි‍්‍රයාමාර්ග ගැනීම, පවතින නීති සංශෝධනය කිරීම සහ අවශ්‍ය පරිදි නව නීති සම්පාදනය මෙන්ම අනාගතයේදී මෙවැනි අක‍්‍රමිකතා, දුෂණ හෝ අපරාධ සිදුවීම වළක්වා ගැනිම සදහා ගතයුතු වෙනත් කි‍්‍රයාමාර්ග වශයෙනි.

ඒ අනුව සිදුකර ඇති අපරාධවලට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම, රජයට සහ සේවක අර්ථ සාධක අරමුදලට සිදුව ඇති අලාභය පියවා ගැනීම පිණිස සහ නිත්‍යානුකූල නොවන කි‍්‍රයාවන්හි යෙදුණු තැනැන්තන්ට එරෙහිව සිවිල් නඩු පවරා වන්දි ලබා ගැනීමට කටයුතු කිරිම මෙන්ම විවිධ රාජ්‍ය ආයතනවල සේවය කරන ලද මෙම අපරාධයට සම්බන්ධ නීත්‍යානුකූල නොවන කි‍්‍රයාවන්හි යෙදුණු පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගැනීමට ද නිර්දේශ කෙරිණි.

අපරාධ නඩු පැවරීම නීතිපතිතුමා සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදු කෙරෙන අතර මෙම අපරාධයට ඝෘජුව හා වක‍්‍රව සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය, පොදු දේපළ පනත, ස්කන්ධ ආඥා පනතෙහි සදහන් වරදවල් සහ මුදල් විශුද්ධිකරණ පනත වැනි පනත් සහ නීති උපයෝගි කරගනු ඇත.

තවද බැදුම්කර කොමිසම හමුවේ ඉදිරිපත් කර තිබෙන සාක්ෂි සහ පවත්වන ලද විමර්ශණයේදී අනාවරණය වූ කරුණුවලින් වෙනස් සහ වැඩිමනත් වරදවල් අනාවරණය වන්නේනම් ඒවා සිදුකරන ලද පුද්ගලයන්ට එරෙහිව ද කි‍්‍රයාමාර්ග ගනු ඇත.

සිදුව ඇති අපරාධ පිළිබද වැඩිදුර විමර්ෂණය කිරීමේදී නීතිපතිතුමාගේ උපදෙස් ප‍්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට ද ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහ විනිමය පාලකවරයාගේ සහයෝගය ලබාගැනීම ද නිර්දේශ වී ඇති අතර, ශී‍්‍ර ලංකා මහ බැංකුව මාර්ගයෙන් වෝහාරික විගණනයක් පැවැත්වීමට ද නිර්දේශ වී තිබේ.

විමර්ෂණ කටයුතු සිදුකිරීමේදී අදාළ ආයතන සියල්ල අතර මනා සම්බන්ධීකරණයක් හුවා දක්වමින්, ජනාධිපති කොමිසන් වාර්තාවේ සදහන් විමර්ශනාත්මක ද්‍රව්‍ය හා සාක්ෂි ඝෘජුව සළකා බැලීමට හැකිවන පරිදි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභා පනත සංශෝධනය කිරීමට නිර්දේශ වී තිබේ.අපරාධ කි‍්‍රයාවලියෙහි වගකීම සම්බන්ධයෙන් ඒ ඒ පුද්ගලයින්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට මෙන්ම යම් යම් සමාගම්වල සිදුව ඇති අපරාධ පිළිබද නෛතික වගකීම සලකා බැලීමට ද නිර්දේශ විය.

රජයට අයවිය යුතු අලාභය සහ වන්දි අය කර ගැනීම සදහා සිවිල් නඩු පැවරීම නිර්දේශ කර ඇති මුත් සිවිල් නඩු සදහා දිගු කාලයක් ගතවන බැවින් මෙවැනි නඩු සදහා සිවිල් නඩු විධිවිධාන කාර්ය පටිපාටියෙහි යම් සංශෝධනයක් ගෙන ඒම පිළිබද නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවනු ඇත.එහිදී, දැනට පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සහ ඊට අනුබද්ධ සමාගම්වල සහ වෙනත් තැනැත්තන් විසින් බැදුම්කර ගනුදෙනු හරහා නීත්‍යානුකූල නොවන ලෙස එකතුකර ගන්නා ලද දේපළ අප‍්‍රමාදීව තහනමට ලක් කිරීමට නීතිපතිවරයාගේ අවධානය යොමු කර තිබේ.

නඩු කි‍්‍රයාමාර්ගවලට අදාළ ආවේණික ප‍්‍රමාදය හේතුවෙන්, රජයට සහ සේවක අර්ථ සාධක අරමුදලට අයවිය යුතු මුදල් පියවා ගැනීම සදහා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ළංඝනය නොවන පරිදි, පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීම එනම් ව්‍යවස්ථාදායක බලය භාවිතා කළ යුත්තේ ද යන්න සොයා බැලීමට කොමිසම නිර්දේශ කර තිබේ. ඒ පිළිබදව සොයා බැලීමේ කාර්ය නීතිපතිවරයාට පැවරිණ.'

මේ නිවේදනයේ සදහන් වූ මේ සියල්ලම හොදය. මේ නිවේදනය තවමත් www.president.gov.lk යන වෙබ්අඩවියේ අන්තර්ගතව තිබේ.එහෙත් මේවා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය කවරේද ? අපට ඇති ප්‍රශ්නය එයයි. මහජනයා බලා සිටින්නේ ඒ ගැනය.ඉහත සදහන් කළ ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ බැදුම්කර කොමිසමේ වාර්තාවේ ඇති තවත් නිර්දේශයක් ගැන සදහන් විය.

'රාජ්‍ය ව්‍යවසාය පිළිබද පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකත්වය දරණ ඇතැම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු එම කමිටුව මගින් භාණ්ඩාගාර බැදුම්කර සහ පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අදාළ විමර්ෂන පවත්වමින් සිටින කාලය තුළද එම සමාගමේ ප‍්‍රධානී අර්ජුන් ඇලෝසියස් මහතා සමග සන්නිවේදනය කර තිබෙන බව හෙළි වී තිබේ. එම විෂමාචාර හැසිරීම සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීමට කතානායකතුමාගේ අවධානය යොමු කෙරෙණු ඇති අතර. එම කමිටුවෙහි මන්තී‍්‍රවරු හට විශේෂ ආචාර ධර්ම පද්ධතියක් පැනවීම කෙරෙහි ද කතානායකතුමාගේ අවධානය යොමු කිරීමට නිර්දේශ කෙරි තිබේ.'

පාර්ලිමේන්තු මන්ත්රීවරුනේගේ මේ විෂමාචාර හැසිරීම සම්බන්ධයෙන් කොමිසමේ නිර්දේශ පරිදි කතානායකවරයා ගත පියවර මොනවාද ? කොමිසම කියා ඇති පරිදි රාජ්‍ය ව්‍යවසාය පිළිබද පාර්ලිමේන්තු කමිටුවේ ( කෝප් ) සාමාජිකත්වය දරණ මන්ත්‍රීන් හට විශේෂ ආචාර ධර්ම පද්ධතියක් පැනවීමට පියවරක් ගෙන තිබේද ?අපේ අදහස නම් භාණ්ඩාගාර බැදුම්කර සහ පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අදාළ විමර්ෂණ පවත්වමින් සිටින කාලය තුළ එම සමාගමේ අය සමග දුරකථන සාකච්ජා පවත්වා ඇති බවට දැනටමත්ම හෙළිදරව් වී ඇති මන්ත්‍රීවරුන්ට වහාම එම කමිටුවෙන් ඉල්ලා අස්වීමට සදාචාරයක් නැත්නම් ඔවුන් වහාම ඉවත් කළ යුතුව ඇති බවයි.දැනටමත් ඔවුන් සහභාගී වී සිදු කළ බැදුම්කර ගනුදෙනු පිළිබද කෝප් කමිටුවේ විමර්ශනය මේ පසුබිම තුළ අවිශ්වාසනීය තත්වයට පත්ව ඇති බව කනගාටුවෙන් වුවත් කීමට සිදුව තිබේ. අනිත් ආයතන ගන්න ක්‍රියාමාර්ග වලට පෙර රටේ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ගැන දැන ගැනීමට මේ රටේ මහජනයා කැමති වනු ඇත.


මේ මගඩියට කවර ය සම්බන්ධ වී සිටියත් මහා බැංකුවේ සහය නැතුව මෙය කළ නොහැක්කකි.මේ නිසා එවකට සිටි මහ බැංකු අධිපතිවරයා අද රටෙත් නැත.එහෙත් එය අර්ජුන මහේන්ද්‍රන් තනියම දුන් සහයක් නොවන බවද අප තේරුම් ගත යුත්තකි.එයට සහාය දුන් මහා බැංකු නිලධාරීන් තවමත් මහා බැංකුවේ සිටී,ඇතැම් අය දැන් විශ්‍රාම ගොස් සිටිනවාද විය හැකිය.කොමිසමේ නිර්දේශ පරිදි ඒ අය සම්බන්ධයෙන් ද පියවර ගත යුතුව තිබේ.ඒ ගැන පැහැදිලි කළ යුතුව ඇත්තේ මහා බැංකුවයි. ඒ අනුව 2015.02.01 සිට 2016.03.31 දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන්
පිළිබඳ ව පරීක්ෂා කිරීම, විමර්ශණය කිරීම සහ වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්ළේශ ක්‍රියාවට නැගී ම පිළිබඳ ව ප්‍රගතිය මැයෙන් වූ පුවත්පත් නිවේදනයක් මහ බැංකුව විසින් ඉකුත් ඔක්තෝබර 15 වැනිදා නිකුත් කර තිබුණි.එහි මෙසේ සදහන්ය.


' ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුකූල ව ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ මෙහෙයුම් අංශයන් හා බැඳුණු ක්‍රියාවලියන්හි විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර කිරීමේ අභිලාෂයෙන් ආරම්භ කරන ලද්දා වූ සහ ක්‍රියාවට නැංවූ පියවර පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක වන නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීම සඳහා, පියවර රැසක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත. මුදල් නීති පනතට සහ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම් ආඥා පනතට සංශෝධන මේ වනවිට සකස් කරමින් පවතී.

භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ ව නව වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දීම මඟින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලිය ශක්තිමත් කර ඇත. භාණ්ඩාගාර බිල්පත් සඳහා ද ඊට සමාන ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී. ලංසු තැබීමට පෙර පවත්වනු ලබන රැස්වීම නිරන්තරයෙන් පවත්වනු ලබන අතර, වෙන්දේසි දින දර්ශනය කල් තබා ප්‍රසිද්ධ කිරීමත් සම්පූර්ණ පිරිනමන මුදල ඉක්මවා ලංසු භාර නොගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමත් සිදු කර ඇත. නිකුතුව හා සම්බන්ධ ක්‍රියාවලියට අදාළ අභ්‍යන්තර පාලන ක්‍රම වේද වඩාත් ශක්තිමත් කර ඇති අතර මෙහෙයුම් අත් පොත යාවත්කාලීන කර ඇත.

සේවක අර්ථ සාධක අරමුදලේ අරමුදල් කළමනාකරණ කාර්යය හා සම්බන්ධ අභ්‍යන්තර පාලන ක්‍රමවේද වැඩි දියුණු කර, අවදානම් අවම කිරීම සහ විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීමේ ප්‍රතිපාදන ඇතුළත් වන නව ශක්තිමත් ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය, ආයෝජන සහ වෙළෙඳ මාර්ගෝපදේශය සහ යාවත්කාලීන කරන ලද මෙහෙයුම් අත්පොත දැනට භාවිතයේ පවතී.

නීති අංශය වඩාත් ශක්තිමත් කිරීම සඳහා සම්පත් වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර අවදානම්වලට නිරාවරණය වීම සලකා බලා අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ආවරණ පරාසය වඩාත් පුළුල් කර ඇත. දුෂ්කෘත නිවේදන ප්‍රතිපත්තියක් (Whistleblowing Policy) සහ චර්යා ධර්ම සංග්‍රහයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු ම සේවකයන්ට අදාළ වන ලෙස හඳුන්වා දී ඇත.

යම් අරමුදලක් විසින් කොටස් සහ භාණ්ඩාගාර බැඳුම්කරයන්හි සිදු කරන ලද ආයෝජන, භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට සහ අධීක්ෂණයට යටත් තෝරා ගත් ආයතනයන්හි තෝරා ගත් මෙහෙයුම් සම්බන්ධව වෝහාරික විගණන පරීක්ෂාවන් සිදු කිරීමට අදාළව ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනට ක්‍රියාත්මක කර ඇත. එකී වෝහාරික විගණන පරීක්ෂණ, ගෝලීය පරිචයක් සහිත ආයතන මඟින් සිදු කරවීමට අපේක්ෂා කරයි.

එක්තරා ප්‍රාථමික වෙළෙන්දෙකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් සහ සේවක අර්ථසාධක අරමුදල සමඟ සිදු කරන ලද ගනුදෙනු අනුසාරයෙන් ලැබූ අයුතු ලාභ නැවත අය කර ගැනීම සඳහා සිවිල් නඩුකර පවරා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත නීතිය බලාත්මක කරන ආයතන විසින් දැනට නීති කෘත්‍ය ආරම්භ කර ඇත.'

මෙවැනි වූ හෝ කරුණු පැහැදිලි කිරීමක් කළ එක ගැන අප මහ බැංකුවට ස්තුති කරමු.අර්ජුන මහේන්ද්‍රන් දැන් නැතත් ඔහුට මේ මගඩිය සදහා සහය දුන් මහ බැංකුවේ සිටින කොමිෂන් වාර්තාවේ නම් සදහන්ව ඇති අනිත් ලොකු කුඩා නිලධාරීන් ගැන ගෙන ඇති පියවර කවරේද ? ඒ ගැන කිසිවක් සදහන් නොකිරීමට මහ බැංකුව පරිස්සම් වී ඇත.මෙවැනි දේ නිසා සිදු වනුයේ මහ බැංකුව කෙරෙහි බිද වැටී ඇති විශ්වාසය යළි ගොඩනගා ගැනීමට බොහෝ ප්‍රමාද වීමයි.ඒ අනුව කොමිෂන් සභා වාර්තාවේ සදහන්ව ඇති කරුණු කිහිපයකට මහ බැංකුවේත් මුදල් මණ්ඩලයේත් මේ ගැන උනන්දුවක් දක්වන මහජනතාවගේත් අවධානය යොමු කිරීමට අප කැමතිය.එහි සදහන්ව ඇති කරුණු කිහිපයක් මෙසේය.

* ‘We have held that , Deputy Governors Silva and Weerasinghe were negligent and were in breach of their responsibilities as Deputy Governors of the CBSL when , during their visit to the PDD with Mr,Mahendran,they remained silent and did not counsel Mr.Mahendran to desist from the aforesaid course of
action or at the very least, rcord their opposition to the direction he issued to the PDD to accept Bids to the value of Rs.10.058 billion - ( 890පිටුව)


* We have held that Deputy Governor Samarasiri was grossly negligent and in grave breach of theduty and responsibility he had, as the Chairman of the Tender Board, to ensure that the Tender Board reached an independent and considered decision, when he supinely obeyed the instructions given by Mr,Mahendran to accept Bids to the value of Rs.10.058 billion.thereby, Mr. Samarasiri negated the whole purpose for which the Tender Board was constituted. - ( 890 පිටුව)


* As stated in Section 19.2.8 of chapter 19 , we have held that , Mr,Mahendran and Deputy Governor Samarasiri have deliberately and mala fide misled the Hon Prime Minister and suppressed material facts and misrepresented the factuel position when, sometime in early March 2015, Mr. Mahendran and Deputy Governor Samarasiri reported the facts and events relating to the Treasury Bond Auction held on 27th february 2015, to the Hon Prime Minister, prior to his making a statement in Parliament on 17th March 2015 - ^902 පිටුව)

මේ අනුව බැදුම්කර කොමිෂන් සභා වාර්තාව මගින් එම ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදු වූ කාලයේ සිටි නියෝජ්‍ය අධිපතිවරු තිදෙනාම සිය වගකීම් කඩකර ඇති අවස්ථා ඇති බව සදහන් කර තිබේ. මේ අය මහ බැංකුවේ ඉහළම නිලධාරීන්ය. කොමිසම එසේ නිගමනය කර යම් නිර්දේශ සිදු කර ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් යම් පරීක්ෂණයක් මහ බැංකුව විසින් කළේද ? අපට ආරංචි වී ඇත්තේ මහ බැංකුවේ අදාළ පහළ නිලධාරීන් සම්බන්ධයෙන් නම් යම් විනය ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවය. එය සත්‍යයක් නම් අප කියන්නේ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ප‍්‍රකාරව මහ බැංකුවේ එම ලොකු කුඩා සියලූ නිලධාරීන් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් පරීක්ෂණයක් කර සුදුසු පියවර ගත යුතුව ඇති බවයි. මේ නිසා යළිත් කිව යුතු වන්නේ මහ බැංකුව විසන් තමන්ට අදාළව බැදුම්කර කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය පැහැදිලි කළ එක හොද දෙයක් වුවත් ඊට ඊට සම්බන්ධ හෝ එහිදී නිසි ලෙස වගකීම් ඉටු කර නැති තම නිලධාරීන් ගැන ගෙන ඇති පියවර ගැනද මහජනයා දැනුම්වත් කරන්නේ නම් ඉතා මැනවයි අපි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට කියා සිටිමු. එසේම බැදුම්කර කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ වගකීමට යටත් අනිත් ආයතන සම්බන්ධයෙන් ද අප කියන්නේ කොමිසමේ නිර්දේශ ප‍්‍රකාරව තම වගකීම් නිසි ලෙස තමන්ට පඩි ගෙවන මහජනතාව වෙනුවෙන් ඉටු කරන ලෙසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Shyam.divaina@gmail.com
Views
373
2018-10-25 10:08:35