ආනයන සීමා කළාම ඔක්කොම හරිද ?



ආර්ථිකය සම්බන්ධයෙන් රටේ මේ දිනවල ප්‍රධාන වශයෙන් අවධානයට ලක්ව ඇති කරුණු දෙක වන්නේ රුපියල පිරිහීම සහ තෙල් මිල වැඩි වීම යන කරුණු දෙකයි.තෙල් මිල වැඩි වීමද හේතු වන්නේ රුපියලට ඇති පීඩනය තවත් වැඩි කිරීමටය.ලෝක තෙල් මිල ගණන් අපට පාලනය කළ නොහැකි සාධකයකි.එසේම ජාත්‍යන්තර වෙළෙදපොලේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීමත් අපේ පාලනයෙන් බැහැර සාධකයකි.මේ සාධක දෙකෙන්ම අපේ විනිමය අනුපාතයට මේ දිනවල වැඩි පීඩනයක් එල්ල වී ඇති නිසා අපට දැන් ඒ සදහා මුහුන දීමට සිදුව තිබේ.ජාත්‍යන්තර වෙළෙදපොලේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම මේ දිනවල රුපියල පිරිහීමට බලපෑ ඇති සාධකයක් වුවත් එය ඒ සදහා බලපෑ ඇති එකම සාධකය නොවන බවද අප තේරුම් ගත යුතුය.මක්නිසාද යත් ජාත්‍යන්තර වෙළෙදපොලේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම අපේ රුපියල පිරිහීමට බලපෑ ඇති එකම සාධකය නම් ඊට පෙර අපේ රුපියල පිරිහෙන්නේ නැතිව තිබිය යුතුය.එහෙත් එවැන්නක් නැත.අපේ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව දිගටම පිරිහීමට ලක්ව ඇත. එසේම ලෝක තෙල් මිල ගණන්ද විවිධ කාලවලදී අඩු වැඩි වී ඇත.රුපියල එදා සිට අද දක්වාත් හෙට දිනයේත් පිරිහීමට බලපාන ප්‍රධාන පොදු සාධකය ඉතාම පැහැදිලිය.එනම් අපේ විදේශ විනිමය ලැබීම් වලට වඩා අපේ විදේශ විනිමය ගෙවීම් ප්‍රමාණය වැඩි අගයක් ගැනීමයි.වෙනත් වචන වලින් කියනවානම් රටට ලැබෙන ඇමරිකානු ඩොලර් ආදායම් වලට වඩා රටින් පිටට ගලා යන ඩොලර් වියදම් ඉහළ අගයක් ගැනීමයි.එනම් ඉතාම සරලව කියන්නේ නම් විදේශ විනිමය හිගයක් තිබීමයි.ඒ නිසා කළ යුතුව ඇත්තේ මේ විදේශ විනිමය හිගයට පිළියම් යෙදීමයි.ආනයන යනු මේ සදහා බලපෑම් ඇති කරන එක සාධකයක් පමණි. එහෙත්ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට පෙරේදා උපදෙස් දුන් පුවතක් මාධ්‍ය වාර්තා කර තිබූ අතර කැදවා ඇති එම වාර්තාව අනුවම පැහැදිලි වන්නේ රටේ විදේශ විනිමය හිගයට බලපා තිබෙන මුලික දෝෂ වලට පිළියම් යෙදීමේ වැඩපිළිවෙලක් වෙත යොමු වනවාට වඩා තාවකාලීන පිළියම් වෙත රජය යොමු වීමට හදන බවය. එසේ නැත්නම් ජනාධිපතිවරයා කැදවිය යුතුව තිබු වාර්තාව එය නොව විදේශ විනිමය හිගයට ගත හැකි පිළියම් පිළිබදව සොයා බලා වාර්තාවක් කැදවීමටයි.එවැන්නක් ජනාධිපතිවරයා කැදවා නැත.එහෙත් එම මුලික ප්‍රශ්නය ගැන රජය දැන් අවධානය යොමු කර නැති බවක් අප කියන්නේ නැත.මේ මොහොතේ තාවකාලික පිළියම්ද අවශ්‍ය බව ඇත්තය.එහෙත් ඒ අතරම ප්‍රශ්නය ආනයන නම් වූ එක කොනකින් පමණක් අල්ලාගෙන මේ ප්‍රශ්නයට දිගුකාලීන තිරසාර විසදුමක් නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කනගාටුවෙන් වුවත් කීමට සිදු වේ.


ලෝක වෙළෙඳ පොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථීක අභියෝගයන්ට විසඳුම් ලෙස, ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට පසුගිය 16 වැනිදා උපදෙස් දී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජාතික ආර්ථීක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී ය. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සමඟ මතුව ඇති ආර්ථීක අභියෝගයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමා කොට ඒවා දේශීය වශයෙන් නිෂ්පාදනය දිරිගැන්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජාතික ආර්ථීක සභාවේ විශේෂ අවධානයක් යොමු කර ඇති අතර දැනට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ අතරින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති සීමා යාවත්කාලීන කොට පාරිසරික වශයෙන් මෙන්ම දේශීය කර්මාන්තයන්ට අයහපත් බලපෑමක් කරනු ලබන පොලිතින් ආනයනය සීමා කිරීම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක්ව ඇත. පෙරේදා ආර්ථීක සභාවේ දී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම පාලනය කිරීම මඟින් සහ ආනයනය කරන භාණ්ඩ සඳහා නිසි පරිදි රේගු බදු අය කිරීම මඟින් රටේ වෙළෙඳ ශේෂයේ හිඟය පියවිය හැකි බව ද මෙහිදී ජනාධිපතිවරයා ජාතික ආර්ථීක සභාවට ප්‍රකාශ කළ බවද මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම මෙන්ම අනවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කිරීමේ වරදක් නැත.එහෙත් ආනයන පාලනයෙන් පමණක් මේ ප්‍රශ්නයට පිළියම් යෙදිය නොහැකිය.එසේම වෙළෙද ශේෂයේ තිබෙන්නේ ආනයන සහ අපනයන පමණි. එහෙත් මෙහිදී වෙළෙද ගිණුමත් ඇතුළත් වන ජංගම ගිණුම ගිණුමේ හිගය ගැන අප වඩාත් අවධානය යොමු කළ යුතු වේ.ආනයන අපනයන වලට අමතරව රටේ විදේශ විනිමය හිගයට බලපාන තවත් කරුණු එහි තිබේ.


මේ නිසා වඩාත් වැදගත් වන්නේ ජංගම ගිණුමේ හිගයක් ඇති වීම වළක්වා ගැනීමයි.අනිත් අතට ජනාධිපතිවරයා කියන පරිදි
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම පාලනය කිරීම මඟින් සහ ආනයනය කරන භාණ්ඩ සඳහා නිසි පරිදි රේගු බදු අය කිරීම මඟින් රටේ වෙළෙඳ ශේෂයේ හිඟය පියවිය හැකි වන්නේ නැත.ආනයන යම් මට්ටමකට සීමා කර ගත හැකි බව ඇත්තය.එහෙත් එහි සීමාවක් තිබේ.එසේම අපනයනවලට බලපාන ආනයනද තිබේ.දැනට අපනයන මේ දෙගුණයක් විශාල ආනයන වියදමක් රටේ තිබෙන බැවින් කෙතරම් ආනයන සීමා කළත් අපනයන වැඩි කර ගැනීමෙන් තොරව වෙළෙද ශේෂයේ හිගය පියවිය නොහැකි බවද ජනාධිපතිවරයාට සිහිපත් කළ යුතු වේ. අපේ වෙළෙද ගිණුමේ ඇති වර්තමාන වටිනාකම් දෙස බලු විය කෙතරම් උපරිමයක් දක්වා ආනයන සීමා කළත් වෙළෙද ශේෂය පියවිය නොහැකි බව ඉතා පැහැදිලිය.බොහෝ අපනයන කර්මාන්ත වලට බලපාන ආනයන තිබෙන නිසා අපට භාණ්ඩ ආනයන නොකර සිටීමටද නොහැකිය.කෙසේ වෙතත් අහිතකර බලපෑම් ඇති නොවන පරිදි සීමා කළ හැකි ආනයන භාණ්ඩ හදුනාගෙන ඒවා සීමා කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැත.එහෙත් අපනයන වැඩි කර ගැනීමෙන් තොරව එමගින් පමණක් වෙළෙද හිගය පියවා ගත හැකි වනු ඇතැයි සිතන්නේ නම් එය මුලාවකි.එසේම රටක් තමන්ගේ මුදල් ඒකකයේ වටිනාකම් ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඇත්තේ එක ක‍්‍රමයක් පමණි. එනම් රටට ලැබෙන විනිමය ආදායම රටින් පිටට යන විනිමය වියදමට වඩා වැඩි කර ගැනීමයි.එය වෙළෙද ගිණුමේ හිගය එහි ප්‍රධාන සාධකයක් වුවත් වෙළෙද හිනුමේ හිගයෙන් පමණක් ප්‍රශ්නයට විසදුම් නොලැබේ.වෙළද ගිණුමට අයත් නොමැති තවත් සාධකයක් වන්නේ සංචාරක ඉපයුම්ය.අපේ සංචාරක කර්මාන්තය ගැනත් දැන්වත් මීට වඩා සිතිය යුතුය.මෙලෙස සමස්තයක් ලෙස අපේ විනිමය හිගයට පිළියම් යොදන්නේ නැතිව මේ ප්‍රශ්නයෙන් තිරසාර ලෙස අපට ගොඩ ඒමක් නැත.

ඉහත කී ජාතික ආර්ථීක සභාවේ සාකච්ජාවට අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, ආචාර්ය සරත් අමුණුගම, දුමින්ද දිසානායක. මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටි අතර, දේශීය කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් ද මෙවර කැඳවා තිබුණි. අප කියන දේ ඇමතිවරුන් කෙසේ වෙතත් මේ නිලධාරීන් සහ විද්වතුන් නොදන්නවා නොවේ.එනම්, තමන්ගේ රටවැසියන් ඉල්ලා සිටින ඩොලර් ප‍්‍රමාණයට ප‍්‍රමාණවත් තරමින් ඩොලර් ප‍්‍රමාණයක් උපයා ගැනීම
අවශ්‍ය බවයි. රටක් විදේශ විනිමය උපයා ගන්නේ තමන්ගේ භාණ්ඩ පමණක්හා නොව සේවා මෙන්ම සංචාරක සේවා යනාදි ය විදේශයන්ට අලෙවි කිරීමෙනි . ඒවා පුළුල්අ අර්ථයෙන අපනයන ලෙස හැඳින්විය හැකිය. එසේම අපනයන නොවන තවත් ආදායමක් ද තිබේ . ඒ පිටරට සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් රටට එවන විදේශ විනිමය ප්‍රේෂණ ආදායම් ය.ඒ නිසා තාවකාලිකව ආනයන පාලන ක්‍රියාමාර්ග ගන්නා අතරම අපනයන වැඩි කිරීම ඇතුළු මේ හැම පැත්තක්ම ගැනම සිතා ක්‍රියාමාර්ග ගත යුතු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත









Views
355
2018-10-19 16:10:28