කොමිස් මුදල් ඉල්ලු චෝදනාව බොරුවක් - ඇමති මලික් කියයි
ගරු කතානායකතුමණි,

යම්යම් සමාජ මාධ්‍ය ජාල හා විශේෂයෙන් එක්තරා විද්‍යුත් මාධ්‍ය නාලිකාවක් මගින් මා අපකීර්තියට ලක්කිරීම සඳහා ඉලක්කගත උත්සාහයක යෙදෙන බව ඔබට දැනුම්දීමට කැමැත්තෙමි.
දින දහයකට පමණ ඉහතදී මා ජර්මණියේ නිල සංචාරයක යෙදෙන අතරතුර, අධිවේගී දුම්රිය නිපදවීමට හා අපනයනය කිරීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කළ සිලෝන් හයිස්පීඩ් රේල්වේ නම් සමාගමක අධ්‍යක්ෂවරයකු විසින් එම ව්‍යාපෘතිය අනුමත කරගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25 ක කොමිස් මුදලක් මා සහ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටි බවට චෝදනා කර ඇති බව දැනගන්නට ලැබිණ. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවකි. ඇත්ත වශයෙන්ම මා කිසිවිටකත් මෙම චෝදනා නගන පාර්ශවය හමුවී නොමැතිවාක් මෙන්ම ඔවුන් සමග කිසිදු කතාබහක් හෝ සිදුකර නොමැති අතර ඔවුන් කවුරුන්ද යන්න හෝ නොදන්නා බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
මෙහිදී ආයෝජන මණ්ඩලයට ඉදිරිපත්කරනු ලබන ව්‍යාපෘති යෝජනා එම මණ්ඩලය සහ ආයෝජන අනුමැතිය සඳහා වන තනිකවුළු කමිටුව (Single Window Investment Approval Committee) මගින් අනුමැතිය ලබාදීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටිය පිළිබඳ දීර්ඝ වශයෙන් විස්තර කිරීමට අදහස් නොකරන්නේ ව්‍යාපෘති යෝජනා ඇගයීම සහ අනුමැතිය ලබාදීම පිළිබඳව ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් දැනටමත් සවිස්තරාත්මකව කරුණු දක්වා ඇති හෙයිනි. මෙම අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලියේ කිසිදු අදියරකදී ඇමතිවරුන්ගේ මැදිහත්වීමක් නොමැති බව අවධාරණය කළ යුතුය. මෙම තත්ත්වය යටතේ අදාල ව්‍යාපෘති යෝජනාව සම්බන්ධ වාර්තාවක් ලබා දෙන මෙන් ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙන ලද අතර එසේ ලබාගත් වාර්තාව සභාගත කිරීමට කැමැත්තෙමි.
එසේ ඉදිරිපත් කොට ඇති වාර්තාවේ එහි අන්තර්ගත මූලික කරුණු කිහිපයක් පෙන්වාදීමට අදහස් කරන අතර එමගින් මෙම ගරු සභාවේ ගරු මණ්ත්‍රීතුමන්ලා හට මෙම වාර්තාව අනුමත කළ හැකි මට්ටමේ එකක්ද යන්න තේරුම්ගත හැකි වනු ඇත. (කරුණාකර ඇමුණුම බලන්න)
මීට අමතරව පසුගිය සතියේදී පෙරකී මාධ්‍ය ආයතන විසින් මාගේ බැංකු ගිණුමට රුපියල් මිලියන 150 ක් (රුපියල් ලක්ෂ 1,500 ක්) බැරකිරීම සඳහා ලැබී ඇති බවත් මහ බැංකුව විසින් එම මුදල තහනම් කොට ඇති බවටත් චෝදනා එල්ල කරන ලදී.
මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවකි. මේ සම්බන්ධයෙන් මා විසින් ශ්‍රී ලංකා මහ බැකුවෙන් විමසීමක් කළ අතර එවැනි කිසිදු මුදලක් කිසිදු කැබිනට් ඇමතිවරයකුගේ ගිණුමකට ලැබී නැති බව මා හට දැනුම් දෙන ලදී.
කෙසේ වෙතත් එසේ මුදල් ලැබුණු කැබිනට් ඇමතිවරයකු සිටී නම් ඔහුට විරුද්ධව හැකි ඉක්මණින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඉන්ස්පෙක්ටර් ජනරාල්වරයා ගෙන් ලිඛිතව ඉල්ලා සිටි අතර එම ලිපිය මේ සමග සභාගත කරමි.
ගරු කතානායකතුමණි, අප අපේක්ෂා කළ මාධ්‍ය නිදහස මෙයද? මෙය වල්බූරු නිදහස මිස වෙන යමක් නොවේ.

මෙම තත්ත්වය තුළ මා ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ වගකීමකින් තොර මාධ්‍ය මගින් මෙසේ අසත්‍ය පුවත් මවා පාමින් පාර්ලිමේන්තු මණ්ත්‍රීවරුන් අපකීර්තියට හා අපහාසයට ලක්වීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. එසේ නොවුව හොත් කිසිදු ශිෂ්ඨසම්පන්න පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට නොඑනු ඇත.
Views
21
2018-10-10 15:49:19
ජනප්‍රිය පුවත්