වෙළෙදපොළ සංවේදී කරුණක්‌ නිසා තෙල් මිල සූත්‍රය ලබාදීම සුදුසු නැහැ - මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති
ශ්‍යාම් නුවන් ගනේවත්ත

දැන් තියන තෙල් මිල සූත්‍රය වෙළෙඳපොළ සංවේදී දෙයක්‌ නිසා එය ලබාදීම සුදුසු දෙයක්‌ නොවන්නේ යෑයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වීරසිංහ මහතා 'දිවයින'ට කීවේය.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ද කීවේය.

මම නම් දකින්නේ මේ වගේ තෙල් මිල සූත්‍රයක්‌ දිය යුතු නැහැ. තෙල් මිල සූත්‍රය දෙනවා දැන් ඉන්දියාව වගේ දවසින් දවස වෙනස්‌ වෙනව නම්. දැන් තියන මිල සූත්‍රය ඇත්තටම වෙළෙඳපොළ සංවේදී දෙයක්‌නේ. මාසෙකට කලින් තෙල් මිල සූත්‍රය හැමෝම දන්නව නම් එතකොට ලබන සතියේ තෙල් මිල කීයකින් වැඩි වෙනව ද කියන එක දැනගන්න පුළුවන්. එතකොට තෙල් විකුණන අයට යම් කිසි අයුතු ලාභයක්‌ ගන්න පුළුවන්නේ.

මේක හරියට විනිමය අනුපාතය වගේ තමයි. මම කියනව නම් ලබන සතියේ විනිමය අනුපාතය රු. 180 වෙනවා කියල. එතකොට දැන් හැමෝම ඩොලර් එකතු කරලා තියාගන්නවා. ඒ නිසා මම නම් හිතන්නේ තෙල් මිල සූත්‍රය කියන එක දිය යුතු නැහැ කොහෙත්තම කාටවත්. එක රහසිගතව තියාගෙන ක්‍රියාත්මක කිරීම තමයි කරන්න ඕන. ඒකට යම් කිසි ආකාරයකට විනිවිදභාවයක්‌ දෙන්න ඕන එකෙන් යම් කිසි ආකාරයකට අයුතු ලාභයක්‌ ගන්න බැරි මට්‌ටමකට ආවහමයි. දැන් ඉන්දියාවේ තෙල් මිල දවසින් දවස වෙනස්‌ වෙනවා.

එතකොට අද තෙල් මිලට වඩා හෙට තෙල් මිල ශත 50 කින් වෙනස්‌ වෙන්න පුළුවන්. එහෙම දිනපතාම වෙනස්‌ වෙනව නම් එතකොට ගණනය කරන එක දැනගත්තට කමක්‌ නෑ. එවිට අයුතු ප්‍රයෝජනයක්‌ ගන්න බෑනේ. ඒ නිසා මිල සූත්‍රය එළියට දැම්ම ගමන් එකේ වටිනාකමක්‌ නෑ. ඒක ක්‍රියාත්මක කරන්නත් බෑ. එවිට වෙන්නේ යම් කිසි කොටසක්‌ අයුතු වාසියක්‌ අරන් ජනතාවට පාඩුවක්‌ වීමයි. ඒ නිසා මිල සුත්‍රය දිය යුතු නෑ කව්රු ඉල්ලුවත්. ඒක දෙන්න ඕන යම් කිසි ආකාරයකට දියුණු කරාට පස්‌සේ. මිල සූත්‍රය අනුව දිනපතාම වෙනස්‌ වෙනව නම් එතකොට මේක අයුතු විදිහට භාවිත කරන්න බෑ. එවිට දුන්නට කමක්‌ නෑ.

Views
23
2018-10-06 02:59:58
ජනප්‍රිය පුවත්